නෙල්ලි (Phyllanthus emblica)
දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂි ස්ථානයකි.
Euphibiaceae කුලයට අයත් මීටර් 15ක් පමණ උස පතනශීලී ශාකයක් වන මෙහි පොත්ත අළු-දුඹුරු, රළු, අක්‍රමවත් ලෙස ඇත. පත්‍රය කුඩා පත්‍රිකා රාශියකින් යුක්තය. කහ පැහැති මල් පත්‍රයේ අග හට ගනියි. ගෝලාකාර ඵලය අමු අවධියේ කහ පැහැති වන අතර ඉදුණු විට රෝස පැහැති වේ. මෙය විටමින් C බහුල පලතුරකි. ආගමික වශයෙන් අටවිසි බෝධි වෘක්ෂයන්ට අයත් වන මෙම ශාකය ඵුස්ස බුදුරජාණන් වහන්සේට පිට දුන් බෝධිය ලෙස හැඳින්වේ.

සංස්කෘත භාෂාවෙන් ආමලකී, අමෘතා, ධාත්‍රී, වෘෂ්‍යා, වායස්ථා වැනි පර්‍යයාය නාම වලින් හැඳින්වෙන මෙම ශාකය ත්‍රිඵලා අතරින් එකකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව මධුර, අම්ල, කටු, තික්ත හා කෂාය යන පංච රසයෙන්ම යුක්ත නෙල්ලි ලඝු හා රූක්ෂ ගුණ, ශීත වීර්‍යය, මධුර විපාක හා පිත්ත ශාමක ප්‍රභාවෙන් යුතුය. ප්‍රමේහ, රක්තපිත්ත, නේත්‍ර රෝග, කුෂ්ට, අර්ශස්, සෝම රෝග, මූත්‍රකෘච්ඡ්‍ර වැනි රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත. මෙය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පමණක් නොව තුර්කි, සිද්ධ, ටිබෙට් වෛද්‍ය ක්‍රම තුළ ද හමුවන ඖෂධයකි.
2021 හි ප්‍රකාශිත Phyllanthus emblica: A comprehensive review of its therapeutic benefits, පර්යේෂණ පත්‍රිකාවෙහි හා Phyllanthus emblica (Medicinal Plant) Research: A Scientometric Assessment of Global Publications Output during 2008-17, ලෙස 2019 වර්ශයේ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකාවෙහි දැක්වෙන පරිදි මෙම ශාකය සතු දියවැඩියා මර්දන, ක්ෂුද්‍රජීවීනාශක, ප්‍රතිප්‍රදාහාත්මක, වේදනානාශක, විකෘති මර්දන (anti-mutagenic), ප්‍රතිඔක්සිකාරක, මූත්‍රකාරක, වාජීකරණ, UV ආරක්ෂක, ජ්වරනාශන, ප්‍රතිශක්තිමූර්ඡක, පිළිකා මර්දන, යකෘත් – ආමාශ -ස්නායු -හෘද- වෘක්ක ආරක්ෂක සහ රසායන හැකියාවන් පර්‍යේෂණාත්මකව තහවුරු වී ඇති බව දක්වයි. විකිරණ සහ රසායනික චිකිත්සාවේ අහිතකර බලපෑම අඩු කිරීමේ හැකියාව ද මෙම ශාකය සතු ය. තවදුරටත් මෙම ශාකය භාවිතා කිරීම තුළින් මතක ශක්තිය වර්ධනය, ශ්වසන – චර්ම – නේත්‍ර රෝග ශමනය හා සර්පවිෂ ඇතුළු ශරීරයේ විෂ ඉවත් කිරීම සිදු වන බව දක්වා ඇත.

Anticancer Properties of Phyllanthus emblica (Indian Gooseberry), 2015 පර්‍යේෂණය අනුව නෙල්ලි ඵලයේ සාරය පිළිකා ඇති වීම වැළැක්වීමේ හැකියාවෙන් මෙන්ම පිළිකා සෛලනාශක හැකියාවෙන් ද යුක්තය. Anti-diabetic activity of quercetin extracted from Phyllanthus emblica L. Fruit: In silico and in vivo approaches, 2017, පර්යේෂණය අනුව මෙම ශාකයට රුධිරගත සහ මූත්‍රගත සීනි (blood glucose and urine sugar) මට්ටම අඩු කිරීමේ හැකියාවත්, රුධිර ප්ලාස්මගත ඉන්සියුලින් හා හිමොග්ලොබින් ප්‍රමාණය වැසි කිරීමේ හැකියාවත් ඇති බව සායනික මීයන් ආශ්‍රයෙන් තහවුරු කර ඇත.
2022 හි ප්‍රකාශිත The Composition and Anti-Aging Activities of Polyphenol Extract from Phyllanthus emblica L. Fruit පර්යේෂණ පත්‍රිකාව අනුව මෙම ශාක ඵලයේ polyphenols මඟින් සිදු වන ප්‍රතිඔක්සිකාරක හා වයස්ථාපන හැකියාවන් ආහාර හා ඖෂධ කර්මාන්තයට ඉතා වැදගත් බව දක්වා ඇත. නෙල්ලි ශාකය මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති “ආමලකී රසායනය” ඖෂධය පිළිබඳ 2016 දී සිදු කරන ලද Effect of Amalaki rasayana on DNA damage and repair in randomized aged human individuals සායනික පර්යේෂණය අනුව වයස්ගත පුද්ගලයින් විසින් එම ඖෂධය ආහාරයට ගැනීමෙන් කිසිඳු අතුරු ආබාධයකින් තොරව DNA දාම බිඳීයාම් අලුත්වැඩියා කිරීම ස්ථාවරව පවත්වාගෙන යාම පෙන්නුම් කරන බව දක්වා ඇත.
උපදෙස් –
ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
