හට්ෂෙප්සුට් (Queen Hatshepsut) රැජිණ උපත ලබන්නෙ ක්‍රිස්තු පූර්ව 1507 පමණ වකවානුවක පුරාණ මිසරයේ ය. ඇගේ නාමයේ අර්තය වන්නේ කාන්තාවන් අතර ඉහලම තැනැත්තිය යන්නයි. පළමු තුත්මෝස් රජුට (Thutmose I) හා අහ්මෝස් රාජිණියට (Ahmose) උපත ලැබූ ඇගේ කුඩා කල ගෙවී ගියේ සිය පියාගේ දැවැන්ත යුධ මෙහෙයුම් මධ්‍යයේ බව වාර්තා වේ.

ඇය කලක් රජවාසලෙන් පිට කනක් (Karnak) නම් ප්‍රදේශයේ වාසය කල අතර එහිදී අධ්‍යාපනය හා සටන් කලාව හදාරා තිබුනි. පසුව ඇය එවකට ඊජිප්තුවේ අගනුවර ලෙස සැලකුනු තීබ්ස් (Thebes) වෙත පැමිණ තිබේ. ඉතාමත් තරුණ වියේදී හට්ෂෙප්සුට් රැජිණ ඇගේම පියාගේ තවත් බිසවකගේ පුතෙකු වූ දෙවන තුත්මෝස් (Thutmose II) සමග විවාහ වූ නමුත් මෙම විවාහය පිලිබදව ඉතිහාසඥයන් මත කිහිපයක් පලකර තිබෙනවා.
ප්‍රකට ඉතිහාස ගවේෂකයෙක් වන පීටර් රොබර්ට්ස්ගේ (Peter Roberts) මතය වන්නේ දෙවන තුත්මෝස් රාජකීය කුමරෙකු නොවූ බවත් ඔහු තුත්මෝස් රජුගේ අනියම් සම්බන්ධයකින් උපන් පිත්‍රයෙක් බවයි. මේ නිසා ඔහුට අවශ්‍ය රාජකීය උරුමය ලබාගැනීම සදහා හට්ෂෙප්සුට් කුමරියව ඔහු බලහත්කාරයෙන් විවාහ කරගෙන ඇති බවයි ඔහුගේ මතයයි. දෙවන තුත්මෝස් රජුට හා හට්ෂෙප්සුට් රැජිණට නෙෆරුරේ (Neferure) නම් දියණියක් සිටි අතර දෙවන තූත්මෝස් රජුට ඔහුගේ තවත් බිසවකගෙන් තුන්වන තුත්මෝස් (Thutmose III) නම් කුඩා පුතෙකු ද සිටීයි.
හට්ෂෙප්සුට් රැජිණගේ විවාහයද හුදෙක් බලය ලබාගැනීම සදහා සිදුවූවක් බැවින් ඇයට රජු කෙරෙහි කිසිදු ආලයක් තිබුනේ නැත. නමුත් මිසර ඉතිහාසඥයන් විග්‍රහ කරන ආකාරයට ඇය තරම් සුන්දර රැජිණක් මිසර ශිෂ්ඨාචාරයේ බිහිවීද නැත.
ඇය ඉතාමත් සුරූපී, තියුණු දෑස් ඇති, බැල්මෙන් ඕණම අයෙක් වසගයට ගන්න පුලුවන් කාන්තාවක් ලෙසයි ඔවුන් විග්‍රහ කරන්නේ. ඇය නිතරම ඇගේ සුන්දරත්වය පෙනෙන ලෙස ඇදුම් ඇද තිබෙන අතර මේ නිසා රජු සමග ඇය මහජනතාව බැහැ දැකීමට යාමේදී කිසිවෙක් රජු දෙස බලා නොසිටි බවත් සියල්ලන්ගේම ඇස යොමුවී තිබුනේ හට්ෂෙප්සුට් රැජිණ දෙස බවත් මිසර පුරාතන කතා පුවත් වල සදහන් වේ.
දෙවන තුත්මෝස් රජු වැඩි කාලයක් ජීවත් නොවූ අතර ඔහුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිලිබදව මතබේද රැසක් තවමත් පවතී. ඔහුගේ මරණයෙන් පසු රජකමට පත් කිරීමට කිසිවෙකු නොසිටි අතර එවකට දෙවන වියේ පසුවූ තුන්වන තුට්මෝස් කුමාරයා රජු බවට පත්වීමට තරම් වයසක නොමැති වුවද් ඇගේ දරුවෙක් නොමවූ නමුත් මේ කුඩා කුමාරයාව ඉතා ප්‍රවේසමෙන් හදා වඩා ගැනීමට හට්ෂෙප්සුට් රැජිණ වගබලා ගත්තා.
මේ නිසා කුමරා නිසි වයසට එනතුරු ඇයට රාජ්‍ය බලය මෙහෙයවීම සදහා අවශ්‍ය බලතල ලැබුණු අතර ඇය පූර්ණ ලෙස රාජ්‍ය පාලනය ඇගේ භාරයට ගත් බව වාර්තා වේ. මිසර ශිෂ්ඨාචාරයේ හමුවන දෙවන පාරාවෝ රාජිණිය වන්නේ ඇයයි. එලෙසම ඊජිප්තුවේ 18 වන රාජවංශයේ හයවන පාරෝවෝ පාලිකාව ලෙසත් ඇයව හදුන්වයි.
ඇය රාජ්‍යත්වය ලබාගත් කාල වකවානුව පිලිබදව වාර්තා වල නොගැලපීම් රැසක් පවතින නිසා ඇය ආසන්න ලෙස ක්‍රිස්තු පූර්ව 1479 වර්ෂයේදී පමණ රාජ්‍ය පාලනය ලබාගන්නට ඇති බවයි ඉතිහාසඥයන් බහුතරයකගේ මතයයි.
වසර ගණනාවකට පසු මිසර පාලනය රැජිණක් අතට පත්වීම එවකට සිටි පුරුෂ සේනාධිපතිවරුන්ට හා මැති ඇමති වරුන්ට විශාල ගැටලුවක් බවට පත්වුනා. මේනිසා ඔවුන් කුමරාට රාජ්‍ය පාලනය ලබාදී ඒ වෙනුවට භාරකාර ඇමති මණ්ඩලයක් පත් කිරීමට උත්සහ කල අතර එයට කුමරාගේ මව් බිසවත් හවුල්වී තිබුනි. නමුත් හට්ෂෙප්සුට් රැජිණ මේ සියල්ල මැඩපැවැත්වූ අතර ඇය රාජ්‍ය පාලනය ඇරඹුවේ දිගු දැක්මක් සහිතවයි.

ඊජිප්තුව පුරා ඇය සංචාරය කල අතර රටේ ජනතාවගේ ජන ජීවිතය ඇය සියැසින් දැක ගත්තා. තමා රජවාසලේ සිටියදී සිතා සිටි රාජ්‍යයට වඩා රට තුල සාමාන්‍ය ජන ජීවිතය බොහෝ සෙයින් වෙනස් බව ඇය තේරුම් ගත්තේ ඉන් පසුවයි. හට්ෂෙප්සුට් රැජිණ පුරා වසර 22ක් මිසරය පාලනය කොට තිබේ.
ඇගේ පාලනය ආරම්භ වන අවදිය වන විට ග්‍රීසිය ආශ්‍රිත හික්සොස් වරුන්ගේ (Hyksos) ආක්‍රමණ ඊජිප්තුවට දැඩි ලෙස බලපෑම් කල අතර ඔවුන් ඊජිප්තුවේ වෙලද නෞකා වලට පහරදීම නිසා ඊජිප්තු වෙලදාම විශාල වශයෙන් කඩා වැටී තිබුනි. හට්ෂෙප්සුට් රැජිණ නැවත වෙලද හා නාවික කටයුතු ඇරඹූ අතර හික්සොස් වරුන්ට නැවත ඊජිප්තුවට පහර දිය නොහැකිවන ලෙස දරුණු ප්‍රහාරයක් එල්ල කර පලවා දැමූ බව වාර්තා වල සදහන් වේ.
හට්ෂෙප්සුට් රැජිණ පුන්ට් (Land of Punt) නමින් හදුන්වන දේෂයක් වෙත තම දූතයන් පිටත් කර හැරිය අතර එහි සිට රත්‍රන්, ඇත්දල හා වටිනා දැව වර්ග ඊජිප්තුවට ගෙන එනු ලැබුවා. ඒ සමගම පුරාණ ඊජිප්තුවේ පැවති රූපලාවණ්‍ය නිෂ්පාදනය නැවත නිෂ්පාදනය කිරීම ඇය ඇරඹූ අතර වෙලදුන් ලවා ඒවා ලොවපුරා රටවල් ගණනාවකට බෙදා හැරීමටද ඇය කටයුතු කොට තිබේ.

එලෙසම ඇය වෙනත් රට වලට සිය දූතයන් පිටත් කර හැර ඇති අතර රාජ්‍ය රැසක් සමග සිය ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමට කටයුතු කොට ඇති අතර පුන්ට් දේෂයෙන් ඇයට එම රටට ඒකදේෂික ශාකයක් ලෙස වාර්තා වන ශාකයක් ත්‍යාගයක් ලෙස ලැබී තිබෙන බව ද සදහන් වේ. ඇය මෙම ශාකය ඇය විසින් නිර්මාණය කල දේවස්තානයක් ඉදිරිපිට රෝපණය කර තිබී ඇති අතර මෙම අවස්ථාව එක් රටකට ආවේණික ශාකයක් තවත් රටකට ත්‍යාගයක් ලෙස ලැබී රෝපණය කරන ලද ලොව ප්‍රථම අවස්තාව ලෙසයි පුරාවිද්‍යාවේදීන් සලකන්නේ.
එමෙන්ම ඇය පුන්ට් දේෂයෙන් කට්ටකුමංජල් ගෙන්වා ඒවා අදුන් සමග මිශ්‍රකර රූපලාවණ්‍ය ආලේපයක් සෑදූ බව වාර්තා වේ. මෙය ඇගේ රාජකීය වෛද්‍යවරුන් විසින් සාදන ලද්දක් බවයි වාර්තා වේ. මෙවැනි රූපලාවණ්‍ය ආලේප නිෂ්පාදනය පිලිබදව ලෝක ඉතිහාසයේ හමුවුන පැරණිම වාර්තාව ලෙසත් මෙය විදෙස් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරනවා. අදටත් ඊජිප්තුව නැරඹීමට යන විට බොහෝ දෙනෙකුගෙ දෑස් සොරාගන්නා නිර්මාණ රැසක් බිහිවූයේ ඇගේ පාලන සමයේදීයි.
ඇය උතුරු ඊජිප්තුවේ සිට දකුණු ඊජිප්තුව දක්වා ඇති සෑම ප්‍රදේශයකම කුමන හෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කල බව ද සදහන් වේ.
ලෝක ප්‍රකට හට්ෂෙප්සුට් දේවස්තානය (Hatshepsut Temple), කනක් දෙවොල (Karnak Temple), මුට් ප්‍රතිමාව (Precinct of Mut) හෙවත් පැරණි මිසර දෙව්දුවගේ ප්‍රතිමාව, පැඛට් දේවස්ථානය (Pakeht at Beni Hassan) හා කාර්කැන්හී රතු දෙවොල හෙවත් Chapelle Rouge) දෙවොල ද ඉදිකරන ලද්දේ ඇය විසින්.
ඔබිලිස්ක් (Obelisks) නමින් හදුන්වන විශාල ගල් කණු විශේෂය ඊජිප්තුවේ අනන්‍යතාවයක් ලෙස සැලකෙන අතර මෙවැනි ඔබිලිස්කයන් කිහිපයක්ම ඉදිකිරීමට ඇය මුල් වුනා. මීට අමතරව ඇය නයිල් නදියට නැගෙනිහිරින් කදුගැටයක රහසිගත භූගත දේවස්ථානයක්ද ඉදිකල බව වාර්තා වනවා. මේ දේවස්ථානය පසු කලෙක මිසරයේ ක්ලියෝපැට්‍රා රැජිණ අයත් වුනු ටොලිමියානු රාජ වංශයේ පාලක පාලිකාවන් පවා වන්දනාමාන කල සුවිශේෂී ස්තානයක් ලෙසයි සැලකේ.
ඇගේ නියෝගයෙන් ඉදි කෙරුනු නිර්මාණ නිසාවෙන් එවකට ඊජිප්තුව ඉතාමත් සුන්දරව දිස්වී තිබුනි. ඇය ගම්බිම් වලට ගොස් කෘෂිකර්මාන්තය පිලිබදව දෑසින් දැක සොයාබලා තීරණ ගත් කාන්තාවක් බවයි වාර්තා වේ. මේ නිසා ජනතාවට අවශ්‍ය ජලය සැපයීම සදහා ඇය නයිල් නදියේ ස්ථාන කිහිපයකින්ම අතු ගංගා නිර්මාණය කරනු ලැබීය. ඇගේ පාලන සමයේ ඊජිප්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සශ්‍රීක රාජ්‍යයක් වූ අතර ඇගේ කාලය වන් සමෘද්ධිමත් කාලයක් මිසර ශිෂ්ඨාචාරය තුල හමුවී නොමැත. එවකට බොහෝ විට ලොව ප්‍රබලම රට ලෙස ඊජිප්තුව පවතින්නට ඇතැයි අපට සිතන්නට පුලුවන්. රාජ්‍ය නායිකාවක් ලෙස ඇගේ වීරත්වය කැපී පෙනුන තවත් විශේෂ සිදුවීම් කිහිපයක් තිබේ.
ඇය අවස්ථා ගණනාවකදී ආක්‍රමණ වලට එරහිව නැගී සිටි අතර දරුණු ආක්‍රමණ රැසක් වැලැක්වීමට ඇය නායකත්වය සැපයූවා. ඇගේ විදේෂ ප්‍රතිපත්තිය බොහෝ විට සාමකාමීවී වූ නමුත් ඇය බිබ්ලෝස් (Babylos), සිනායි (Sinai) හා කනාන් (Cannan) ප්‍රදේෂ වලට එරහිව යුධ ව්‍යාපාර මෙහෙයවා තිබෙන අතර පලමු නුබියානු යුද්ධය නම් යුධ ව්‍යාපාරය ඇය විසින්ම මෙහෙයවූ බවට පුරාවිද්‍යාවේදීන් සොයාගෙන තිබේ. මේ නිසා ඇය දක්ෂ රණශූරියක් බව ඉතිහාසයේ සදහන් වේ.
සෑම රාජ්‍ය නායකයෙකුටම එරහිව බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණ මෙහෙය වනවා සේම හට්ෂෙප්සුට් රැජිණට එරහිවත් කුමන්ත්‍රණ රැසක් මෙහෙයවා තිබෙනවා. ඇයව ඝාතනය කිරීමට අවස්තා ගණනාවකදී රාජ්‍ය පාලනයට සම්බන්ධ පුද්ගලයන් උත්සහ දරා ඇති බවයි වාර්තා වේ. මේ අතර ඇයට කාලයක් එවකට සේනාධිපති වරයෙක්ව සිටි සෙනෙන්මුට් (Senenmut) නම් පුද්ගලයෙකු සමග රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් ඔහුගේ අරමුණ වී තිබී ඇත්තේත් හට්ෂෙප්සුට් රැජිණ හරහා රාජ්‍ය බලය ලබා ගැනීමයි. එය ඇගේ අතටම හසුවී තිබුනේ ඔහු විසින් හට්ෂෙප්සුට් රැජිණ ජීවත්ව සිටියදී ඇය මියගිය පසු මිහිදන් කිරීම සදහා ඉදිකරන ලද දැවැන්ත සොහොන් ගැබේ ඇගේ නම වෙනුවට ඔහුගේ නම යොදාගෙන තිබීමෙනි. එම සිදුවීම අතටම හසුවු පසු මේ ප්‍රේමය අහවර වූ බවයි වාර්තා වන්නේ. ඇය මිය ගිය වර්ෂය පිලිබදව ගැටලුකාරී මතිමතාන්තර රාශියක් පවතින නමුත් ඇගේ රාජ්‍යත්වයෙන් 22 වර්ෂයේ ඇය මිය යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.
වසර 22ක් රැජිණක් විසින් මෙතරම් සාර්තකව රාජ්‍ය පාලනයක් රැගෙන ගිය වෙනත් ඉතිහාසයක් ලොව කිසිම රාජ්‍යයක හමුවන්නේ නෑ. දෙවන එලිසබෙත් රැජිණ වසර ගණනාවක සිටි රැජිණ ලෙස සැලකුවත් ඇයට රාජ්‍ය පාලන බලතල කලක සිට හිමිවී නැහැ. ඇගේ මරණය පිලිබදව මත ගණනාවක් පවතින අතර ඇය විසින් රාජ්‍යත්වය සදහා හදාවඩා ගත් තුන්වන තුත්මෝස් කුමාරා නිසි වයසට පැමිණි පසු රාජ්‍ය කුමන්ත්‍රණ කරුවන්ගේ උසිගැන්වීම මත ඇයව ඝාතනය කරවූ බව ඉන් එක් මතයක්. නමුත් බහුතර පුරාවිද්‍යාවේදීන් පිලිගත් මතය වන්නේ ඇයට අධික ලෙස දියවැඩියාව වැලදී තිබූ බවයි. ඇගේ මමීකරණය කල සිරුර පිරික්සීමෙන් ඔවුන් මෙම නිගමනයට පැමිණ තිබුණා.

ලෝක ඉතිහාසයේ හමුවන විශිෂ්ඨතම රාජිණියක් වන මිසරයේ හට්ෂෙප්සුට් රැජිණ පිලිබදව කතා බහට ලක්වන්නේ ඉතාමත් අල්ප වශයෙන්. නමුත් පුරුෂ ආධිපත්‍යය පිරුණු මිසර ශිෂ්ඨාචාරය පුරාවට ඇයවන් සාර්ථක පාලනයක් ගෙන ගිය වෙන කිසිවෙක් හමුවන්නේ නැහැ. ඇය ඉතාමත් සාධාරණ මෙන්ම තම ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කල රැජිණක්. ඇය තරම් මිසර ශිෂ්ඨාචාරය ගොඩනැගූ, මිසරය සුන්දර කල වෙනත් නායකයෙක් නොමැති තරම්.
එහි බලපෑම හොදින්ම පැහැදිලි වන්නේ පසු කලෙක රාජ්‍යත්වයට පත් වූ බොහෝ පාරාවෝ රජවරු ඇගේ නිර්මාණ ඔවුන්ගේ නමින් වෙනස් කිරීමට උත්සහ දරා ඇති බව පුරාවිද්‍යාවේදීන් විසින් සොයාගැනීමෙනි. ඔබ යම් දිනක ඊජිප්තුවේ සංචාරයක නිරත වන්නේ නම් ඇය විසින් ඉදිකරවන ලද ස්ථාන රාශියක් ඔබට සියැසින් දැකගන්න හැකි වේවි.
සටහන – මනුජිත් අබේරත්න
