ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට දරුවන් යොමු වීමත් සමග ඉන් ගැටලු රැසක් සමාජය තුළ පැන නැගෙන්නට විය. අවසානයේ දි ඒවා ජිවිත අහිම් වලට පවා හේතු වූ බව සඳහන් කල යුතුය.
එසේනම් අද අප සූදානම් වන්නේ ඔන්ලයින් අධ්‍යාපනය තුළින් ඇතිව තිබෙන සමාජීය ගැටළු කිහිපයක් හා එම ගැටළු නිරාකරණයට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයකු වන ආචාර්ය රඟමිණි වේරවත්ත මහතා සමග සාකච්ඡා කිරීමටයි.
බොහෝ මව්පියන් ඔන්ලයින් අධ්‍යාපනයට දරුවන් යොමු කරන්න මැලි කමක් දක්වන්නේ ඇයි?
සාමාන්‍යයෙන් බොහෝ රටවල දරුවෙකුට ජංගම දුරකථනයක් භාවිත කරන්න පුළුවන් නිශ්චිත වයස් සීමාවක් නිතීමය වශයෙන් වෙන් කරලා දීලා තියෙනවා. බොහෝ දුරට Recommend කරන්නෙ අවුරුදු 10ක් 12 ක් වගේ වයස් පරාසයක්.
නමුත් ලංකාවේ නම් මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි තියෙන්නේ.
මෙතනදී හැම දෙමාපියෙක්ම වගේ පුරුදු වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳලා දරුවාට ෆෝන් එක අතට දීලා දරුවන්ගේ බාධාවක් නොමැති වෙන විදියට නිවසේ දෛනික වැඩ ටික නිදහසේ කරගන්න.
දෙමාපියන්ගේ අවබෝධය මත හෝ අනවබෝධය නිසා සිදුවන මෙවැනි දේවල් තුළින් කුඩා දරුවකුගේ ස්වභාවිකව සිදු වන මොළයේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය විවිධ වෙනස් වීම්වලට ලක් වෙනවා.
විශේෂයෙන්ම තර්කානුකූල කටයුතු කිරීමට කථනයට ක්‍රියාශිලීත්වයට වලට පාවිච්චි කරන මොලේ යම් යම් කොටස් වල සිදුවන වෙනස් වීම් තුළින් දරුවාගේ ක්‍රියාශීලිත්වය නැති වීම, සිතුවිලි වෙනස් වීම සහ ඇබ්බැහි වීම් වලට පුරුදු වීම වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්.
මෙය ඉතා භයානක තත්ත්වයක්.
දරුවෙකු කුඩා අවධියේ මොළය පාවිච්චි කරන විදිහෙන් තමයි වැඩිහිටියෙක් බවට පත් වෙද්දී එයාගේ යම් යම් කුසලතාවයන් ඉස්මතු වෙන්න පටන් ගන්නේ.
උදාහරණයක් වශයෙන්,
වැඩිපුර ගණන් කරන ළමයෙක්ට තර්කානුකූලව කිරීමේ හැකියාව වැඩි වෙනවා.
මේ හේතුව නිසා කුඩා දරුවකුට ජංගම දුරකථනයක් හෝ digital device එකකට හුරු නොකරන්න දෙමාපියන්ගේ විශාල වගකීමක් තියෙනවා.
ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවෙකු අධ්‍යාපන කටයුතුවල නිරත වීමේදී දරුවා අනවශ්‍ය දේ සඳහා නැඹුරු වෙයිද? වයසට නොගැලපෙන වීඩියෝ පට , කතා , දර්ශන ආදිය නැරඹීමට පුරුදු වෙයිද? අනවශ්‍ය පුද්ගල සම්බන්ධතා ? යන්න පිළිබඳව දෙමාපියන් තුළත් විශාල බියක් හෝ සැකයක් මතු වනවා.
පසුගිය කාලවකවානුව තුළ ඔන්ලයින් අධ්‍යාපනය හා සම්බන්ධ විවිධ පුවත් පිළිබඳව අසන්නටත් ලැබුනා.
උදාහරණයක් වශයෙන් පොඩි ළමයි වැඩිහිටියොත් එක්ක සම්බන්ධ ඇති කර ගැනීම, විවිධ ජංගම ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිදුව ඇති මරණ, ලිංගික අපචාර වගේ දේවල්.
මේ හැම සිදුවීමක් එක්ක ලංකාවේ දෙමාපියන් තුළ ඇති වෙලා තියනවා ජංගම දුරකථන හෝ පරිගණක භාවිතයෙන් සිදුකරන අධ්‍යාපනය එතරම් හොඳ නෑ කියන එක.ඔන්ලයින් අධ්‍යාපනය හා සමාජ මාධ්‍ය සමග ඇති වී තිබෙන පටලැවිල්ල හේතුව නිසා තමයි වැඩිපුරම දෙමාපියන් ඔන්ලයින් අධ්‍යාපනයට දරුවන්ව යොමු කරන්න මැලි වෙන්නේ.
කොහොම වුණත් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේ දී දෙමාපියන් ඒ පිළිබඳව හොඳ අවධානයකින් පසුවිය යුතු අතර අන්තර්ජාලයට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීම එකවර සිදු කළ හැකි පහසු ක්‍රියාවක් නොවුනත් ඒ සඳහා මවුපියන් බුද්ධිමත්ව සහ උපක්‍රමශීලිව ක්‍රියා කළ යුතුව තිබේ.
එමෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයට පමණක් ජංගම දුරකථන සීමා කිරීමත් දරුවාව විවිධ ක්‍රීඩා , සෞන්දර්යාත්මක හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමත් තුළින් මේ තත්ත්වය ඉතා ඉක්මනින් ඔබට මඟ හරවා ගන්නට හැකි වේ.
දීර්ඝකාලිනව ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් තුළ ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු
සෞඛ්‍ය ගැටළු පිළිබඳ සඳහන් කිරීමේ දී මෙය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්.
1. මානසික සෞඛ්‍ය ගැටලු (mental health)
2. ශාරීරික සෞඛ්‍ය ගැටලු (physical health)
මානසික සෞඛ්‍ය ගැටලු
මානසික සෞඛ්‍ය ගැන කතා කිරීමේ දී ප්‍රධාන වශයෙන් පුද්ගලයන් සමග ඇති සහසම්බන්ධතාවයන් අඩු වීමේ ප්‍රවණතාවක් දරුවා තුළ දක්නට පුළුවන්. ඒ වගේම සාමාජීය ක්‍රියාකාරකම් අඩු වීමත් දරුවා හිතන පතන විදියේ වෙනස්කම් ඇති වීමත් මෙමගින් සිදු විය හැකි යි.
ඒ වගේම දරුවාට අවධානය යොමු කිරීමේ හැකියාව ද අඩු විය හැකි යි.
තවද ඉවසීම අඩුවීමත් ඉක්මන් කේන්තියත් හා
මානසික ආතතිය, විශාදය, කාංසාව වැනි භයානක තත්වයන්ද ඔන්ලයින් අධ්‍යාපනය දීර්ඝ කාලීනව නිරතවීමේ දී ඇතිවිය හැකි මානසික සෞඛ්‍ය ගැටළු කිහිපයක් ලෙස සදහන් කල හැකියි.
ශාරීරික සෞඛ්‍ය ගැටළු
ශාරීරික සෞඛ්‍ය ගැටළු පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන් අක්ෂි රෝග , හිසේ රුදාව, කැල්සියම් ඌනතාවය, හිරු එළිය නොමැතිකම නිසා විටමින් ඩී ඌනතාවය, ව්‍යායාම නොමැතිකම හා ක්‍රමවත් ඉරියව් භාවිතා නොකිරීම නිසා ශාරීරික අපහසුතා වැනි ශාරීරික සෞඛ්‍ය ගැටළු මෙමගින් ඇති විය හැකියි.
කෙසේවුවත් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රමය නිසා මෙවැනි අයහපත් බලපෑම් දරුවන් තුළ ඇති වුවද ඒවා අවම කරගත ගැනීමට පිළියම් තිබෙන බව ඔබට සදහන් කල යුතුය.
එම ගැටළු මගහරවා ගත හැකි වන්නේ කෙසේද?
ඉහත කී සෞඛ්‍යමය ගැටලු මගහරවා ගැනීමට පළමුව කල යුත්තේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වැළකී ඒ සඳහා ලැප්ටොප්, පරිගණක හෝ ටැබ්ලට් වැනි විශාල තිර භාවිත කිරීමයි.
ඇසේ වෙහෙස අඩු කිරීම සඳහා ලැප්ටොප් පරිගණකයේ හෝ ටැබ්ලටයේ තිරයේ දීප්තිය අවශ්‍ය පරිදි සකස් කර ගත යුතුය.
එලෙස තිරයේ දීප්තිය සකස් කිරීමත් සමඟම , කාමරයේ ආලෝකකරණය ද අවශ්‍ය පරිදි සකස් කළ යුතුය.
ඇසේ වෙහෙස අඩු කිරීම සඳහා කාමරයක ආලෝකය පරිගණක තිරයට වඩා අඩු විය යුතු අතර එමගින් දරුවන්ට තිරය බැලීම පහසු කරවයි.
මතකයේ රඳවා ගත යුතු කරුණ නම් කිසි විටෙකත් අඛණ්ඩව තිරය දෙස බලා සිටීම නොකළ යුතුයි.
ඔන්ලයින් අධ්‍යාපනය පැවැත්වෙන අතරතුර විවේකයක් ලබා ගත නොහැකි නමුත් ඇස් වෙහෙස අඩු කර ගැනීම සඳහා තත්පර 10 සිට 20 දක්වා ඔවුන්ට වෙනත් තැනක් බලා නැවත පරිගණක තිරය දෙස බලා සිටිය හැකිය.
(20/20 නීතිය අනුගමනය කරන්න.)
එමෙන්ම පරිගණකය දරුවාගේ ඇස්වලට සමීප නොවිය යුතුයි. පරිගණක භාවිත කරන විටදී එය ඇස් වලින් අවම වශයෙන් අඟල් 18 සිට 24 දක්වා ඈතින් තබා ගත යුතු වේ.
ඉහත සඳහන් කළ කරුණු වලට අමතරව දරුවාට කෙටි වවිවේකය ලබන කාලය තුළ දරුවාව නිර්මාණශීලි ක්‍රියාකාරකමක හෝ ක්‍රීඩාවකට දරුවාව යොමු කළ හැකි යි.
මෙමගින් ශාරීරික හා මානසික ගැටළු ඉතාමත් ඉක්මනින් මඟහරවා ගනිමින් දරුවාව ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට හැකිවනු ඇත.
සාකච්ඡා කළේ – ආචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. RangaminiWerawatta is a Professor of Technology Management and an expert in ICT, Cyber Studies and Management. He currently serves as the Director of the School of ICT at the Nāgānanda International Buddhist University.
සැකසුම – බිනාලි රාජපක්ෂ
