විලාසිතා කරන්න අපි කවුරුත් කැමතියි. විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වය. කාන්තාවන් ඇදිය යුතු ඇඳුම් නොඇදිය යුතු ඇඳම් මොනවද කියලා සිංහල බෞද්ධාගමේ නීති පනවලා නැහැ. නමුත් ඇතැම් ආගම්වල කාන්තාවන් ඇඳුම් ඇදිය යුත්තේ කෙසේද යන්නත් ඇතැම් ආගමික නායකයින් දේශනා කරල තියෙන්නේ කාන්තාවන්ගේ ඇඳුම් සමාජයට එතරම් වැදගත් වන නිසා වෙන්නත් පුළුවන්.
අද සමාජයේ තරුණ තරුණියන් ඇදිය යුතු ඇඳුම් තීරණය කරන්නේ තමන් විසින්මයි. ඒකේ වරදක් දකින්නේ නැහැ. තමන් කැමති ඇඳුමක් අදින්න සිංහලයන්ට තහනමක් නැහැ. තමන් අදින ඇඳුම තමන්ට සුදුසු ද කියලා තමන් තීරණය කරනවා හැර තමන් අදින ඇඳුම ගැන අනිත් අය හිතන විදහ තමන්ට අදාළ නැහැ කියන මතයේ අද බොහෝ තරුණ තරුණියන් සිටිනවා. සැබවින් ම විලාසිතා කියන්නේ ප්‍රබල නිර්වාචික සන්නිවේදනයක්. එනම් ඇඳුම කියන්නෙ වචනයෙන් තොරවම යම් අදහසක් තවත් පුද්ගලයෙක්ට සන්නිවේදනය කරනු ලබන සංකේතයක්. ඇඳුම පමණක් නෙවේ ඇඳුමේ වර්ණයන් තුළින් පවා විවිධ අර්ථ හැඟවෙනවා. ඇඳුම ඔබ ගැන යම් අදහසක් නිහඩවම කියාපාන මෙවලක්.
මම සත්‍ය කතාවක් කියන්නම්. එක් තරුණියක පිළිගත් පෞද්ගලික බැංකුවක රැකියා අවස්ථාවක් සඳහා අයදුම් කර තිබුණා. මෙම බැංකුවේ කළමනාකරු මෙම තරුණිය හදුනන හිමි නමකගේ ඉතාම සමීප දායකයෙක්. මේ නිසා මෙම තරුණිය තමන්ට මෙම තනතුර ලබා ගැනීම සදහා උදව් කරන ලෙස හිමිනම හමුවී ඉල්ලීමක් කරනවා. හිමි නම දුරකතනයෙන් බැංකු කළමනාකරු අමතා තරුණියට මෙම තනතුර ලබා ගැනීමට ඉල්ලීමක් කරනවා. ඇයට සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලැබෙනවා. ඔවුන් අපේකෂා කරන සුදුසුකම් සියල්ල ඇය සපුරා තිබුණා. නමුත් ඇය මෙම ආයතනයට බඳවා නොගැනීමට ආයතනය තීරණය කරනවා. බැංකුවේ කළමනාකරු හිමි නමට දුරකතන ඇමතුමක් රැගෙන පවසා ඇත්තේ ඇය සියලු සුදුසුකම් සපුරා තිබුණ ද ඇයගේ බෙල්ලේ ඇති පච්චයක් (ටැටූ) නිසා ඇය තම ආයතනයට බඳවා ගත නොහැකි බවයි. විලාසිතා කියන්නේ ම වචනයෙන් තොරව ම ඔබ ගැන කියාපාන නිහඩ මෙවලමක් කියා මුලින් මා සඳහන් කළ කාරණාවේ නිරවද්‍යතාවය දැන් ඔබට පැහැදිලි ඇති.
තරුණ කාලය පවතින්නේ සීමිත කාලයක්. ඒ කාලෙට ලස්සනට අදින්න ඕනේ තමයි. හැබැයි අපි විලාසිතාවල අර්ථ අවබෝධ කර ගන්න ඕනේ . එහෙම නැතුව තමන් කැමති විලාසිතාවක් තමන් කැමති ඕනම තැනකට ඇදපැළඳ ගෙන යාමෙන් හාස්‍යයට ලක්වන්නේ ඔබමයි. ඔබ අඩ නිරුවත් විලාසිතාවකින් පෞද්ගලික වාහනයකින් තරු පහේ හෝටලයක සාදයකට යාමෙන් ඔබ කිසිසේත් හාසයයට ලක්වන්නේ නැහැ. හැබැයි ඔබ ඒ ඇඳුම ම පොදු වාහනයක ඇද ගෙන යාමෙන් ඔබ නොසිතු පරිදි හාසයට උපහාසයට මෙන්ම පීඩාවකට වුව ද ලක් වෙන්න පුළුවන්.

කාන්තාවන් අවබෝධ කර ගත යුත්තේ මෙම තත්ත්වයයි. අද බොහෝ තරුණ තරුණියන් මෙන්ම කාන්තාවන් ද මෙම විලාසිතා අනවබෝධයෙන් සිදු කිරීම නිසා විවිධ අපහසුතාවන්ට පත් වෙනවා. මේ දරුවන්ගේ දෙමව්පියන් නැතිද මෙහෙමත් ඇදුම් ඇදලා එවනව ද මේ එවැනි අපට නිතර අසන්නට ලැබෙන දේවල්. ඇදුම් සම්බන්ධයෙන් අපවාදයට ලක් වීමට සිදුව ඇත්තේ කාන්තාවන්ටමය. ඇතැම් පූජනීය ස්ථානවල සංවර ඇදුමින් පැමිණෙන ලෙස පුවරු සවි කිරීමට සිදු වීම ද කාන්තා අප ලැජ්ජාවට පත් විය යුතු කරුණක්. විලාසිතාවක් කිරීමේදී විලාසිතාව තමන්ගේ වයසට ගැළපේද? තමන් යන ගමනට සුදුසුද ? තමන් භාවිත කරන ප්‍රවාහන ක්‍රමයට( පොදු/ පෞද්ගලික) ගැළපේද යන්න පිළිබඳ ස්වයං අධ්‍යයනයක් කරන්න. තමන්ගේ නිවසේ වෙනත් සාමාජිකයෙක්ගෙන් හෝ හිතවතෙක්ගෙන් වුවත් විමසීමක් කරන්න . අපේ රටේ විලාසිතා පිළිබඳ අර්ථ තේරුම් ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසකි. විලාසිතාකරණයන් කළ යුතු අවස්ථාවන් හා ස්ථානයන් ගළපා ගැනීමට නොහැකි වීම විශාල වරදක්. ඔබ කෙතරම් ප්‍රිය කරන විලාසිතාවක් වුවත් ඒ විලාසිතාව යොදා ගත යුත්තේ එය ඔබේ වයසට ඔබ යොදා ගන්නා ගමනට සුදුසුම නම් පමණක් බව අමතක කරන්න එපා. අද අපේ බොහෝ කාන්තාවන් සමාජයේ නින්දාවට මෙන්ම හාස්‍යයට ලක්වන්නේ මේ නොදැනුවත්කම නිසාමය. මේ නිසා තම දරුවන්ගේ පාසල්වලට පාසල් සමිති යනාදියට ද නුසුදුසු ඇඳුම් ඇඳගෙනයාමට පෙළඹී ඇති බැවින් විදුහල්පතිවරුන්ට මවුවරුන්ගේ ඇඳුමට පවා නීති පැනවීමට සිදු වී තිබීම කනගාටුවට කරුණක්. විලාසිතාවල අර්ථය තේරුම්ගත් උසස් අවබෝධයක් ඇති කාන්තා පාර්ශ්වයක් අප සමාජය තුළ ඇති නම් විවිධ සමාජ තලවල ඇඳුම්වලට සීමා මායිම් දැමීමට සිදු වන්නේ නැහැ. පාසලේ පන්සලේ කාන්තා පාර්ශ්වයට ඇඳුම් පිළිබඳ තහංචි වැටීම එ් අනවබෝධයේ ප්රතිඵලයයි. ඇඳුම් පිීළිබඳ පිරිමි පාර්ශ්වයට තහංචි වැටෙන අවස්ථා අල්පය. ඇඳුම සම්බන්ධයෙන් පිරිමි පාර්ශ්වය සමාජයේ හාස්‍යයට ලක් වන අවස්ථා ද නැති තරම්ය. එහෙත් ගෙදර බුදුන් අම්මා යන විරුදාවලිය ලත් කාන්තාව ඇඳුම් නිසාම බොහෝ පිරිමින් විසින් පීඩාවට පත් කරනු අයුරු හාස්‍යයට ලක් කරන අයුරු පිරිමි මිතුරන් තම කළණ මිතුරන් කරගෙන ඇති කාන්තාවන් පැහැදිලිව ම දන්නවා ඇති.

විලාසිතා කිරීම වරදක් නෙවේ. ඒ්ත් එය නිසි ආකාරයෙන් සිදු නොවීම මෙතන තියෙන බරපතල ගැටලුවය.
විලාසිතා නිසා කාන්තාවන්ට අතවර සිදු වනවාද යන්නත් සමාජයේ කතා බහට ලක් වෙන කරුණක්. විලාසිතාවල අවසන් ප්‍රතිඵලය ලිංගිකත්වය යැයි මනෝ විද්‍යා උපදේශක ගාමිණී හපුආරච්චි මහතා වරෙක ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ කාන්තා ඇදුම්වල පපුව උකුල ආදී ස්ථාන කැපී පෙනෙන ලෙස ඇදුම් නිර්මාණය කර ඇති ආකාරය ඹබ දැක ඇති . සැබවින් ම මිනිසුන් විලාසිතා කරන්නේ ආකර්ෂණයටය. ලොව පැවැත්ම රදා පවතින්නේ ආකර්ෂණය මතයි. එය ඇතැම් විට ලිංගික ආකර්ෂණයක් විය හැකියි. නමුත් ඒ තුළ කාන්තාව හිංසනයට පීඩනයට ලක් වනවා නම් කාන්තා ඔබ ඒ ගැන අවධානය යොමු කළ යුතු නොවේද?

දියණියක් මවක් බිරිදක් වශයෙන් ඔබ මේ තත්ත්වය අවබෝධ කර ගෙන අන් අයගේ හිංසනයට පීඩනයට මෙන්න අපවාදයට ලක් නොවීමට තරම් බුද්ධිමත් වන්න.
ඉරේෂා මධුරකාවිනී
