සිංහල දෙමළ නව අවුරුදු උදාවත් සමඟ විවිධ ආකාරයේ අනතුරු නිසා ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් දැක ගක හැකි බව අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

රතිඤ්ඤා සහ ගිණිකෙළි භාණ්ඩ පරිභෝජනය වැඩි වීම, ගෘහස්ථ අනතුරු සහ මාර්ග අනතුරු වැඩිවීම මෙයට ප්‍රධාන හේතු ලෙස සලකන්න පුළුවන්.
නොසැලකිලිමත් බව, අනවශ්‍ය අවදානමක් ගැනීම හා නොදැනීම මේ සඳහා ප්‍රධාන කරුණු ලෙස දැක්විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වා දෙනවා.
මෙම අනතුරු නිසා ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථීර පෙනීම අඩු වීමක් සිදු විය හැකියි.
කුඩා පිරිමි දරුවන් සහ තරුණයින් බහුතරයක් අනතුරට ලක්වන්නන් වන අතර වඩාත්ම අනතුරු ඇති කර ඇත්තේ රතිඤ්ඤාවලින් . එය 32%ක් වන අතර අහස් කූරු , බඹරචක්‍ර ,රොකට් හැඩයේ ද්‍රව්‍ය සහ නිලාකූරුවලින් ද අනතුරු සිදුවේ.
ඇස යනු ඉතා සංවේදී සියුම් ඉන්ද්‍රියක් වන බැවින් ඇස මැනවින් ආරක්ෂා කර ගත යුතුවේ. වරක් හෝ සිදු වන අනතුරකින් ඇසට සිදු වන හානිය නැවත ප්‍රකෘතිමත් කර ගැනීම ඉතා අපහසුයි.
සමීක්ෂණ දත්ත අනුව ගිණිකෙළී ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් සහ ඇගිලිවලට සිදුවන අනතුරුයි. එය 46% ක් පමණ වෙයි. මේ අනතුරු තුවාලවලින් 17% ක් ඇස්වලටත් තවත් 17% මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතව සිදුවේ.
ගිණිකෙළි නිසා අපට සිදුවන අනතුරු අතර වඩාත්ම බහුල වන්නේ පිීළිස්සුම් තුවාලයි. මේවා ඇසේ මතුපිට කොටස්වලට වැඩියෙන් බලපායි. ඇසිපියවලට ඇතිවන අනතුරු නිසා ඇසේ කුනිතයේ ආරක්ෂාවට කෙලින්ම බලපාන අතර දීර්ඝකාලීනව ඇසේ වියළි බව ඇතිවීම නිසා කුනිතයේ තුවාල පවා සිදු විය හැකිය.
මීට අමතරව පිපුරුම් තුවාල කුනිතයට කෙලින්ම බලපෑමෙන් කුනිතය සිදුර වීම හා පැලීම සිදු විය හැකිය.මෙය ඉතා භයානක වන අතර ඇස තුළ ඇති ද්‍රව්‍ය ඉන් පිටතට පැමිණීම නිසා සම්පූර්ණයෙන් ම ඇස අහිමි විය හැකිය. ඊට අමතරව කුඩා තුවාලවලින් වුවත් ඊට විෂබීජ ඇතුළු වීම නිසා ඇසේ කුනිතය තුවාල වී ඇස පැසවීමට ඉඩ තියෙනවා.
විශේෂයෙන් ම කුඩා ළමුන්ට මෙම තත්ත්වය වඩාත් භයානක වන අතර පසුව සියලු තුවාල සුවපත් වුවත් පෙනීම නොලැබී යාමට ඉඩ ඇති බැවින් මෙම අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයෙන් ඈත් වීම කාලෝචිත බවත් ඒ්වා සිදු කරන්නේ නම් පහත උපදෙස් පිළිපඳින ලෙසත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙනවා.

- සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිණිකෙළි ද්‍රව්‍ය භාවිත කළ යුතුවේ.
- දැල්වීම සිදු කළ යුත්තේ විවෘත ස්ථානවල වන අතර කිසිවිටක ගොඩනැගිලි තුළ රථවාහන අසල හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථානවල මේවා භාවිත නොකළ යුතුය.
- රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල්වූ වහාම අසලින් ඉවත් විය යුතුය.
- රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුය.
- කිසිවිටක දැල්වූ රතිඤ්ඤා පුද්ගලයෙකු සිටින දෙසට වීසි නොකළ යුතුය
- කිසිවිටක මෙම රතිඤ්ඤා හෝ ගිණිකෙළි සේවා නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතුය.
- නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතුය.
- ගිණිකෙළි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබා ගත යුතු අතර පිළිස්සුම් සඳහා ප්රථප්රථමාධාර පිණිස මෙන්ම නොදැල්වුණු රතිඤ්ඤා ආදිය ගිල්වීම සඳහා භාවිත කළ හැක.
- නොවැළැක්විය හැකි අනතුරකට ලක් වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතු අතර අත්බෙහෙත්වලින් වැළකී සිටිය යුතුය.
තාවකාලිකව සතුටක් ලබා සදකාලිකව දුකට පත් වීමට පෙර මෙම තත්ත්වය අවබෝධ කර ගෙන සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ජාතික අක්ෂි රෝහල් නිලධාරීන් සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දියුණු රටවල දත්ත අනුව සෞඛ්‍ය අධ්‍යාපනය හා මහජනතාවගේ වැඩි අවබෝධය හා අවධානය නිසා ගිණිකෙළි අනතුරු වසරක් පාසා අඩුවෙමින් පවතිනවා. අප ද මේ පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කර ගිණී කෙළි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරමු.
ජාතික අක්ෂි රෝහල හා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ඇසුරෙනි.

ඉරේෂා මධුරකාවිනී
