ජපන් ජාතිකයන්ගේ සිතන-පතන ආකාරය අවබෝධ කර ගැනීමට නම් ඔවුන්ගේ පෞරාණික සංස්කෘතිය ගැන තරමක අවබෝධයක් තිබිය යුතුය. දීර්ඝ ඉතිහාසයක් ඇති ඕනෑම රටකට මේ සාධකය බලපායි. ජපානයේ පෞරාණික සංස්කෘතිය හැඩගස්වනු ලැබුවේ ෂින්තෝ ආගම, බුද්ධාගම හා කොන්ෆුසියානු දහම විසින්ය. විශේෂයෙන් බුද්ධාගම ජපානයේ කලා, සංස්කෘති, සෞන්දර්ය, එනම් සාහිත්‍ය, නාට්‍යකලාව, කලාශිල්ප, ගෘහනිර්මාණ ශිල්පය හා උද්‍යාන සැකසුම් කලාව හා අත්‍යන්තයෙන් බැඳී පවතී. එබැවින් ජපන් ජන ජීවිතය ගැන දැනගැනීමට නම්, ජපන් බුද්ධාගම ගැන ද තරමක හෝ අවබෝධයක් තිබීම වැදගත් වේ. මෙවර ලිපිය කැප කරන්නේ එම අරමුණ ඉටුකිරීම සඳහාය. ඒ සමඟම ලංකාව හා ජපානය අතර ඇති වෙනස අවබෝධ කරගැනීමට ද මේ ලිපිය ඉවහල් වනු ඇත.
ලංකාවේ බුද්ධාගමේ දක්නට නොලැබෙන, ජපන් බුද්ධාගමේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විවිධ නිකායන්ට අනුව බුදුදහමේ ඉගැන්වීම් වෙනස්වී යාමත්, ඉහත සඳහන් කළ හා වෙනත් ආගම් සමග බුදුදහම මිශ්‍ර වී, සංකලනය වී තිබීමත් ය. ලංකාවට වඩා හාත්පසින්ම වෙනස්ව, නූතන ජපානයේ රජය හා ආගම අතර කිසිම සම්බන්ධයක් නැත. ආගම් සම්බන්ධ කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කර තිබේ. මේ නිසා, රජයේ පාසල්වල ආගම් ඉගැන්වීමක් හෝ ආගමික චාරිත්‍ර, පුදපූජා පැවැත්වීමක් සිදු වන්නේ නැත. රජයේ ආයතනවල ද එවැනි උත්සව ආදිය පවත්වන්නේ නැත. මේ නිසා රජයේත්, ආගම්වලත් ස්වාධීනත්වය හොඳින් රැකී තිබේ.
ජපානයට බුද්ධාගම පැමිණියේ කෙසේද?
ජපානයට බුද්ධාගම පැමිණියේ චීනය හා කොරියාව හරහායි. බුද්ධාගම 1 වන සියවසේදී පමණ චීනයට ඇතුළු වූ බව කියනු ලැබේ. එනම් මහායාන බුද්ධාගම ඉන්දියාවේ ජනප්‍රිය වෙමින් පැවති කාලයේ දීය. චීනයට හඳුන්වා දුන් සූත්‍රවල මුල් ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් තිබුණත්, මේවා චීනයේ එකින් එක චීන භාෂාවට පරිවර්තනය කෙරුණු අතර, එකම සූත්‍රයේ විවිධ පරිවර්තන ඇති වී ව්‍යාකූලත්වයක් ද ඇති විය. 6 වන ශතවර්ෂයේ අවසානයේ චීනයේ ටියැන්ටායි කන්ද මතින් ආරම්භ වූ තෙන්දයි බුද්ධාගමට මූලික වූයේ සද්ධර්මපුණ්ඩරික සූත්‍රයේ ඉගැන්වීම් සහ ඉන්දියානු බෞද්ධ දාර්ශනිකයෙකු වන නාගර්ජුනගේ මාධ්‍යමික දර්ශනයයි.

ක්‍රි.පූ. යුගයේ සිට ඉන්දියාවේ බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් බිහිවූ අතර, ඒවායින් බොහොමයක් චීනයට ගෙන ගොස්, එම බෞද්ධ අදහස් කොරියානු අර්ධද්වීපය හරහා ජපානයට 6 වැනි සියවසේදී පමණ ළඟා විය. ජපානයට පැමිණි බොහෝ සූත්‍ර මහායාන සූත්‍ර වන අතර මේ සියල්ල ශාක්‍යමුණි ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒවා බව ජපන් ජාතිකයෝ විශ්වාස කරති. බෞද්ධ අධ්‍යයනයේදී නම් මේවා මහායාන බෞද්ධ න්‍යායන් ලෙස පිළිගනු ලැබේ.
බෝධිසත්ව වන්දනාව
ජපන් බෞද්ධයෝ බෝධිසත්වයන් ඔවුන්ගේ ආදර්ශය ලෙස ගනිමින්, තමන්ම බුදුන් බවට පත්වීම මූලික අරමුණ කර ගත්හ. එබැවින් මහායාන බුද්ධාගමේ සියලුම විශිෂ්ට යතිවරු බෝධිසත්ත්වයන් ලෙස හැඳින්වනු ලැබූහ. මේ සම්ප්‍රදාය තුළින් යකුෂි (භෛෂාජ්‍යගුරු), අමිදා (අමිතාභ), අෂුකු (අක්ශෝභ්ය) ආදි බොහෝ බුදුවරු උපත ලැබූහ. තවද, මොන්ජු (මන්ජුශ්‍රි), කන්නොන් (අවලොකිතේශ්වර), මිරොකු (මෛත්‍රෙය) වැනි මහා බෝධිසත්වවරුන් ද වඳිති. එවන් බෝසතාණන් වහන්සේලා බුදු වුවත්, නිවණට නොගොස් මිනිසුන් ගලවා ගැනීමට ඔවුන්ගේ කටයුතු දිගටම කරගෙන යති. මහායාන බුද්ධාගම අවබෝධ කර ගැනීමේ වැදගත්ම මූල පදය වන්නේ මේ බෝධිසත්ව සංකල්පයයි. තමන්ගේ විමුක්තියට පමණක් සීමා නොවී අන් අයගේ විමුක්තිය සඳහාත් වැඩ කිරීම ජපන් චින්තනයේ හා චර්යාවේ වැදගත් අංගයක් වී ඇත්තේ මේ බෞද්ධ සංකල්පයේ බලපෑමෙන් යයි මට සිතේ.
හෙයියන් යුගයේදී (ජපන් ඉතිහාසයේ ක්‍රි.ව. 794 සහ 1185 අතර කාලය හෙයියන් යුගය ලෙස හැඳින්වේ. අධිරාජ්‍ය අගනුවර 794 දී නාරා නගරයේ සිට හෙයියන්-ක්යෝ (වර්තමාන කියෝතෝ) වෙත ගෙන යන ලද බැවින් එතැනින් හෙයියන් යුගය ආරම්භ විය.), හියෙ කන්ද පදනම් කරගත් සයිචෝ නම් භික්ෂූන් වහන්සේ තෙන්දයි නමැති ගුරුකුලයේ ද, කෝයා කන්ද පදනම් කර ගත් කුකායි නම් භික්ෂූන් වහන්සේ ෂින්ගොන් නිකායේ ද අදහස් වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන්ගේ අදහස් ජපන් බුද්ධාගමේ පදනම විය. සයිචෝ සහ කුකායි යන දෙදෙනාම කඳුවලට දැඩි ඇල්මක් දැක්වූ භික්ෂූන් වහන්සේලාය. බෞද්ධ ලෝකයත් දේශපාලන ලෝකයත් අතර ඇති සම්බන්ධයෙන්, එනම් බලය හා ආධිපත්‍යය කෙරෙන් ඈත් වී නව ආගමික දර්ශනයක් නිර්මාණය කිරීමට ඔවුහු උත්සාහ දැරුවෝය.

කූකයි භික්ෂුවගේ කතාව හා සේවාව
කෝබෝ දයිෂි නමැති වෙනත් නමකිනුත් ගෞරවාදරයට පාත්‍ර වූ කූකයි භික්ෂුව ක්‍රි.ව. 804 දී චීනයට ගොස් ඉන්දියාවේ වජ්රබෝධි තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවකගෙන් වජ්‍රයානය හා ගූඪවාදය ඉගෙනගෙන 808 වසරේදී ජපානයට ආපසු පැමිණ කෝය-සන් කන්ද මූලස්ථාන කරගෙන ගූඪවාදී බුදුදහම ප්‍රචාරය කිරීමට තම ජීවිතය කැප කළේය.
කූකයි ඉපදී ඇත්තේ ක්‍රි.ව.774 ය. ඔහුගේ උපන්දිනයේ සිට අවුරුදු 1250 ක් පිරීම නිමිත්තෙන් නරා නගරයේ පිහිටා ඇති නරා ජාතික කෞතුකාගාරය විසින් පසුගිය මැයි මාසයේ සිට ජූනි 9 වැනිදා දක්වා [කූකයි] යන නමින් විශේෂ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. ඔහුගේ ජීවිත කතාව පිළිබඳව අපැහැදිලි තැන්, පොත්පත්වල සඳහන් නොවන තැන් බොහොමයක් ඇති නිසා මමත් මේ ප්‍රදර්ශනය බලන්න නාරා නගරයට ගියෙමි.
ජපන් ජාතිකයෝ සංස්කෘතියට සැබෑ ලැදියාවක් දක්වති
ප්‍රචාරක පත්‍රිකාවලට අනුව, ප්‍රදර්ශනයේ පරමාර්ථය වූයේ කූකයි චිත්‍රණය කළ ලෝකදර්ශනය හඳුන්වා දීමයි. තවද, චීනය, ඉන්දුනීසියාව හා ජපානයේ ඇති පැරණි කලාකෘති ඇසුරින්, ඉන්දියාවේ සිට ජපානයට ගූඪ වාදී බුදුදහම ගමන් කළ මාර්ගය පෙන්නුම් කිරීම ද මේ ප්‍රදර්ශනයෙන් සිදු විය. කූකයිගේ රචනා, කෘති, චිත්‍ර හා කෞතුකාගාර අධිකාරීන්ගේ සැලසුම් හා නිර්මාණ තුළින් හොඳ අවබෝධයක් ලබා ගත හැකි විය. එහෙත් මගේ පුදුමය හා විස්මය දැනවූයේ කෞතුකාගාරය ඇතුළේ දේවල් පමණක් නොවේ.
මම කෞතුකාගාරයට යන විට උදේ 9:30 යි. දිග පෝලිම් දෙකක් තිබුණි. එකක් ප්‍රවේශපත්‍ර මිලට ගෙන් ඇතුල්වෙන අයගේ පෝලිමයි. අනික ප්‍රවේශ පත්‍ර ඕඩර් කරලා මිලටගෙන සිටි අයගේ පෝලිම. කවර පෝලිමේත් 100කට වැඩි පිරිසක් පේළි හැදී ඉන්නවා. මේ විදියේ ඓතිහාසික, සංස්කෘතික, ශාස්ත්‍රීය ප්‍රදර්ශනයකට මේ තරම් මිනිස්සු රැස් වෙන්නේ ඇයි? හේතුව ජපානය පරිණත, මුහුකුරා ගිය සමාජයක් වීමයි. ඒ පරිණතබව කොතෙක්ද යයි කියන්නේ නම් කෞතුකාගාරය ඇතුළේ කූකයි භික්‍ෂුවගේ අත් අකුරින් ලියා ඇති ලියවිලි පුදුම උනන්දුවකින් මේ ගොල්ල කියවන්නේ. මට නම් කියවන්නත් අමාරු නිසා එහෙම තැන් පෝලිමේ ඉන්නේ නැතිව ඉක්මණින් බලාගෙන ගියෙමි. එසේ ගියද ප්‍රදර්ශනය බලන්නට පැය තුනකට වැඩිය ගත විය.
ගූඪවාදී බුදුදහමේ ගුප්ත ලක්ෂණ
මහායාන බුද්ධාගමේ ත්‍රිකාය (සංස්කෘත: “ශරීර තුනක්”) සංකල්පයක් තිබේ. බුදුන් වහන්සේගේ ශරීර තුන හෙවත් පැවැත්මේ ආකාර තුන පිළිබඳ සංකල්පයයි: ධර්මකාය (සැබෑ සත්‍යයේ, ප්‍රඥාවේ ශරීරය); සම්භෝගකාය (රස විඳීමේ ශරීරය, දිව්‍ය ලෝකයේ සිටින ස්වරූපය); සහ නිර්මාණකාය (පරිවර්තන ශරීරය, එනම් පෘථිවි ගෝලය තුළ පහල වෙන ස්වරූපය) යනුවෙනි. බුදුන් වහන්සේ පෘථිවියේ දර්ශනය වූයේ භූමික බෝධිසත්වයෙකු, භූමික රජෙකු, සිතුවමක් හෝ නෙළුම් මලක් වැනි ස්වභාවික වස්තුවක් ලෙසින් ය. ත්‍රිකාය සංකල්පය ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේට පමණක් නොව අනෙකුත් සියලුම බුදුවරුන්ට ද අදාළ වේ යයි කූකයි භික්‍ෂුව ජපන් සමාජයට හඳුන්වා දුන්නේය.
මේ අනුව මහායාන හෝ වේවා ථේරවාද හෝ වේවා අප බුදුදහම ලෙස පිළිගෙන සිටින්නේ නිර්මාණකාය හෙවත් භූමික ගෞතම බුදුරදුන්ගේ ඉගැන්වීම් ය. එනම් ශ්‍රාවකයින්ගේ නැණ පමණින් වටහා ගන්නට බුදුන් වදාළ ධර්මයයි. ධර්මකාය හෙවත් සැබෑ සත්‍යය වන්නේ ගූඪවාදී බුදුදහමයි. Esoteric Buddhism හෙවත් ගූඪවාදී බුදුදහමෙන් උගන්වන්නේ දයිනිචි න්‍යොරයි-Dainichi Nyorai හෙවත් වෛරෝචන යනු ප්‍රධාන බුදුන් බවත්, අනෙකුත් සියලුම බුදුවරුන් වෛරෝචන බුදුන් විසින් වෙළාගෙන යටපත් කර ගෙන ඇති බවත්, වෛරෝචන බුදුන්ගේ ගුණසමුදාය හා පුණ්‍ය සම්භාරය අප විසින් උකහාගත යුතු බවත්ය.
ඔබ ඔබේ මනසින් වෛරෝචන බුදුන් දැක, මන්ත්‍ර හා චාරිත්‍ර නිසි ලෙස පවත් වන්නේ නම් නම්, ඔබ බුදුන් සහ බෝධිසත්වයන් සමඟ ඒකාත්මික වී වහාම බුදු බව ලබා ගන්නා බවත් විශ්වාස කෙරේ. මෙම පුහුණු ක්‍රමයේ පදනම වන්නේ ප්‍රධාන බුදුන්ගේ රූපය පිළිගෙන කය, වචනය සහ මනස යන තුන් අංගයෙන් එය සමඟ ඒකාබද්ධ වන තුන් ආකාර සංයෝගයයි.
මෙම ඇදහිල්ල වනාහි ලෝකයේ සෑම දෙයක්ම මූලික වශයෙන් ඒකාබද්ධ කරන බලවේගය වන බ්‍රහ්ම සංකල්පය සහ පුද්ගලයාගේ ඇතුළාන්තයේ අභ්‍යන්තර සාරය වන ආත්මය එකිනෙකින් වෙන් නොවන බව අවධාරණය කරන ඉගැන්වීමයි. එය භාරතීය අධ්‍යාත්මික ඉතිහාසයේ දිගු කලක් තිස්සේ පැවත එන අදහසකි. බ්‍රහ්ම දෙවියා සමඟ ඒකාබද්ධ වීමයි. එසේ නම් 7 වැනි සියවසේ අගභාගයේ ඉන්දියාවේ උපත ලද ගූඪවාදී බුද්ධාගම යනු හින්දුකරණයට, හින්දු බවට පත් වූ බුද්ධාගමේ ලක්ෂණයක් නොවේද? ඒ අතින් මෙම ඇදහිල්ල අතාර්කික හා අද්භූත බුද්ධාගමක් වන අතර එය ගෞතම බුදුන් විසින් අනුබල දුන් තර්කානුකූල, හේතුඵලවාදී බුදුදහමට ප්‍රතිවිරුද්ධය.
“මණ්ඩල” යනු මොනවාද
මේ ගූඪ, ගුප්ත වජ්‍රඥාණය වචනවලින් විස්තර කිරීම අපහසුය. එබැවින් කූකයි හිමි ඒ සඳහා චිත්‍ර හා රුපසටහන් යොදා ගත්තේය. විශේෂයෙන් ඔහු යොදාගත් දෘශ්‍ය මාධ්‍යය නම් මණ්ඩලාකර, චක්‍රාකාර රූපසටහන්ය. ඔහු ඒවා හැඳින්වූයේ “මණ්ඩල” කියාය. මණ්ඩල ජපන් බෞද්ධ වචන කෝෂයට ඇතුළත් වී ඇත. මා ජපානයට පැමිණි මුල් කාලයේ මුහුණ දුන් එක් අත්දැකීමක් මගේ සිහියට නැගේ. ජපන් බෞද්ධ ව්‍යාපාරිකයෙක් මා සමඟ හිතවත් වී සිටියේය. වරක් ඔහු ‘මණ්ඩල ගැන දන්නවාද’ කියා මගෙන් ඇසීය. මා නොදන්නා බව පැවසූ විට ඔහු පුදුමයට පත් වී, ‘ඈ! මණ්ඩල දන්නේ නෑ ! ඔයා බෞද්ධයෙක්ද?’ කියා කිවේය. මණ්ඩල හා ගුප්ත ඥානය සැබෑ බුදුදහම යයි ඔහු සිතා සිටින්නට ඇත. එය ඔහුට විශේෂ වූ හැඟීමක් නොව සාමාන්‍ය ජපන් බෞද්ධ විස්වාශයයි. කෙසේ හෝ, “මණ්ඩල” යනු ගුප්ත බුද්ධාගමේ එන බුද්ධත්වය හා විශ්වයේ සත්‍යය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස බුදුවරුන්, බෝධිසත්වයන් යනාදිය මණ්ඩලාකාරව, ක්‍රමානුකූලව සකස් කර නිරූපණය කිරීමේ කලාවකි.
ඉන්දියාවේ උපන් ගූඪවාදී බුද්ධාගම 8 වන ශතවර්ෂයේදී චීනයට ද, පසුව කුකයි විසින් ජපානයට ද හඳුන්වා දෙන ලද අතර, ජපානයේ එය ෂින්ගොන් නිකාය ලෙස ස්වාධීන නිකායක් හැටියට ස්ථාපිත විය. තවද, 9 වැනි සියවසේදී චීන ගුප්ත ගූඪවාදී බුද්ධාගමත් 13 වැනි සියවසේදී භාරතීය ගුප්ත ගූඪවාදී බුද්ධාගමත් පරිහානියට පත් වූ නමුදු, එය මුල් ස්වරූපයෙන් ජපානයේ පවත්වාගෙන එන ලදී. හෙයියන් යුගයේ රදළයන් බල අරගලවල පැටලී, වඩ වඩාත් කනස්සල්ලට පත් වූ අතර, අවිනිශ්චිතතාව හා අනිත්‍යතාවය පිළිබඳ හැඟීමෙන් බරව තවදුරටත් අවුල් සහ තැවුල් සහගත කාන්සාවට පත් වූ ඔවුන් අතාර්කික ගුප්ත විශ්වාසයන් තුළ ගැලවීම සෙවූ අතර, එමගින් ගුප්ත ගූඪවාදී බුද්ධාගම ජනප්‍රිය වන්නට ඇති සැලකේ.
මේ අනුව බලන විට, අපේ සිහින බිඳවැටී, අවිනිශ්චිතතාව හා අනිත්‍යතාවය පිළිබඳ හැඟීම්, අපේක්ෂාභංග වීම් හා කාන්සාව රජයන වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ නව බුදුවරුන් හා නව බෞද්ධ වීරයන් පහළ වීම, නව බුද්ධාගම්, නව බෞද්ධ විශ්වාස හා නව බෞද්ධ ඇදහිලි පැතිර යන්නට පටන් ගැනීම ගැන පුදුම වියයුතු නැතැයි මට සිතේ. ලංකාව තුළ විමුක්තිය සොයා යාමත්, ලංකාවෙන් බැහැරව විමුක්තිය සොයා යාමත් බහුල වී ඇත. උපේක්ෂාවෙන් යුතුව සැබෑ තත්වය ගැන අවදියෙන් බැලීමෙන් හා අනාගත දුර දක්නා ඥාණයෙන් යුතුව කටයුතු කිරීමෙන් තොරව උදා කර ගත හැකි විමුක්තියක් නැත.
සටහන –
මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
