බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය බරණැස ඉසිපතනාරාමයෙහි මිගදායේ වැඩ සිට වස් පවාරණයෙන් අනතුරුව උතුම් සද්ධර්මයෙහි පණිවුඩය ගම් නියම්ගම්හි සන්නිවේදනය කරවනු වස් ප්‍රථම රහත් සැටනම පිටත් කළ සේක. අනතුරුව උන්වහන්සේ එකළාව උරුවෙල් දනවුව බලා වැඩම කර වදාළේ උරුවෙල් කාශ්‍යප ඇතුලු තුන්බෑ ජටිලයන්ට ධර්මය අවබෝධ කරවීම සඳහාය. ඒ අතරමග ඇට්ටේරියා වනයක් තුළ විවේකීව වැඩ සිටි උන් වහන්සේට භද්දවග්ගිය නම් කුමාරවරු තිස් දෙනෙක් හමු විය.
විනෝදය සඳහා තම බිරින්දෑවන් සමග වනයට ගිය ඔවුන් අතර සිටි එක් කුමාරයෙකුට බිරියක් නොසිටි බැවින් මුදල් ගෙවා තරුණියක් කැඳවාගෙන ගියහ. ඇය ඔවුන්ගේ ප්‍රමාදයක් බලා ඔවුන්ගේ වස්තුවද රැගෙන ඉන් පලා ගියාය. ඇයව සොයමින් වනය පීරමින් සිටි ඔවුන්ට ඇට්ටේරියා වනයේ සමාධි සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දක්නට ලැබූ අතර උන්වහන්සේ සමීපයට ගොස් තරුණිය පිළිබඳ විමසා සිටියහ. එහිදී උන්වහන්සේ පිළිතුරු දෙනු වෙනුවට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූහ. එම ප්රශ්නය අප සියල්ලන්ටම වැදගත් වන තම තමා විසින් තමන්ගෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි. එහිදී උන්වහන්සේ ඇසුවේ, තරුණියක් පිළිබඳ සෙවීමට වඩා තමා පිළිබඳ සෙවීම වැදගත් නොවන්නේ ද යන පැනයයි. එම තරුණ කුමාරවරු එම පැනයෙන් තම ජීවිතයේ ඇති අර්ථය මැනවින් වටහා ගත්හ. අනුන් පිළිබඳ සෙවීමට වඩා තමන් පිළිබඳ සෙවීමෙන් සියලු ප්රශ්නයන් විසඳාගත හැකිය යන්න ඔවුහු අවබෝධ කර ගත්හ. එම සියල්ලෝ ම එහිදීම සෝවාන් ඵලයට පත්ව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා මෙසස්නෙහිදී ම ලොවුතුරා සුවය ලදහ.
මෙයින් අපට මහත් වූ ආදර්ශයක් ලබා ගත හැකිය. සාමාන්‍ය මිනිසුන් පුරුදුව සිටින්නේ නිරතුරුව ම අනුන් පිළිබඳ විමසිලිමත් වීමටයි. අනුන් පිළිබඳ සෙවීමෙන් තමන්ට කිසිදු ආකාරයක යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ හේතු යුක්ති සහගතවය. අනුන් පිළිබඳ සොයන විට අපගේ සිත් තුළ ප්‍රධාන වශයෙන් ම ඇති විය හැකි මනෝභාවයන් දෙකක් ඇත. ඉන් එකක් බැඳීම වන අතර අනෙක ගැටීමයි. බැඳීම රාගයෙන්, තෘෂ්ණාවෙන් හා ලෝභයෙන් යුක්ත වන අතර ගැටීම ද්වේශයෙන් හා පටිඝයෙන් යුක්ත වෙයි. මෙම දෙකෙන්ම සිදු වන්නේ සසර ගමන තව තවත් දිගු කර ගැනීමට අවශ්‍ය හේතු කරණා සම්පාදනය කර ගැනීමයි. එහෙත් සිහියෙන් යුතුව තමා දෙසම බලන්නා වූ දකින්නා වූ කෙනෙකුට තමාගේ අඩුපාඩු දුර්වලකම් ආදී සියල්ල මැනවින් දර්ශනය වන අතර එමගින් තමා කවුරුන් ද යන්න පිළිබඳ හඳුනාගෙන තමා තුළ ඇති දුර්වලතා ද මග හරවා ගෙන ඉදිරියට යා හැකි අතර එය ඔහුව නිවන කරා ම මෙහෙයවයි.
වර්තමානය වන විට අප කොතරම් අංශයන්ගෙන දියුණු වී සිටිය ද අනුන් පිළිබඳ සෙවීමේ, කතා කිරීමේ හා විවේචනය කිරීමේ රුචිකත්වය අඩු වී නැත. අද බොහෝ දෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය මේ පිළිබඳ කදිම සාක්ෂියකි. මෑත කාලය වන විට අවම වශයෙන් සතියකට වරක් කවරෙකු හෝ සම්බන්ධ වීඩියෝ පටයක් හෝ හඬ පටයක් සමාජ මාධය හරහා ජනප්‍රියත්වයට පත් වීම මීට කදිම උදාහරණයකි.
ඒවාට ජනතා ආකර්ෂණය ද නො අඩුව ලැබෙන බැවින් එම තත්වය ඉතා නරක අතට හැරී ඇත. සමාජයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති කෙනෙකු සම්බන්ධයෙන් මෙවැන්නක් පළවීම එම ආකර්ෂණය දෙගුණ තෙගුණ වීමට හේතු වෙයි. ඒ අතරට ප්රභූවරු, දේශපාලකයෝ, ආගමික පූජ්‍ය පූජක උතුමන්ලා, නළු නිළියෝ, ක්‍රීඩ ක්‍රීඩිකාවෝ, ධනවත්තු පමණක් නොව ඇතැම් රූමත් කාන්තාවෝ ද අයත් වෙති. මෙවැනි කෙනෙකු පිළිබඳ කුමක් හෝ නරක කතාවක් සමාජ මාධ්‍යයට නිරාවරණය වුවහොත් දින ගණනාවක් රස කරමින් නිර්දය විවේචන එල්ල කිරීමට බහුතරයක් දෙනා සැදී පැහැදී සිටිති. එහි හරි වැරැද්ද, සත්‍ය අසත්‍යතාව හෝ එය සිදු වූයේ ඇයිද යන්න පිළිබඳ කතා කරන්නට කිසිවෙක් නැත. මෙහි ඇති අනෙක් අභාග්‍ය සම්පන්න කරුණ නම් කිසිවෙකු කරන යහපත් කටයුත්තක් පිළිබඳ මෙවැනි පුළුල් ප්‍රචාරයක් හෝ කතිකාවක් සිදු නොවීමයි.
ඇත්ත වශයෙන් ම සමාජය තුළ මෙසේ අනුන් පිළිබඳ සිදු වන්නා වූ විවේචන තුළින් අප පෞද්ගලිකව ලබා ගත් භෞතික දියුණුවක් හෝ අධ්‍යාත්මික දියුණුවක් තිබේද? එසේම රටක් වශයෙන් පොදුවේ ලබා ඇති දියුණුවක් තිබේද? මේ ප්‍රශ්නවලට ඇති එකම පිළිතුර නැත යන්න පමණි.
එසේ නම් තව දුරටත් අනුන් පිළිබඳ විමසීම, අනුන් පිළිබඳ සෙවීම නිරර්ථක, නිෂ්ඵල ක්‍රියාවක් බව අප අවබෝධ කර ගත යුතුය. යම් දිනක මිනිසා පෞද්ගලිකව තමන් තුළ ඇති අඩු ලුහුඬු කම්, දුර්වලතා ආදිය දකියි ද එදිනට ඔහු අධ්‍යාත්මික දියුණුවක් ලැබූ ශිෂ්ට සම්පන්න කෙනෙකු බවට පත්වන්නේ ය. යම් දිනක අපි පොදුවේ අප තුළ ඇති අඩු ලුහුඬු කම්, දුර්වලතා ආදිය දකින්නෙමු ද එදිනට අපි අධ්‍යාත්මික දියුණුවක් ලැබුවා වූ ද ශිෂ්ට සම්පන්න වූ ද සංවර්ධිත රටක් ගොඩ නගන්නෙමු.
සම්පාදනය –
ආචාර්ය පූජ්‍ය දම්පේ විජිතරතන ස්ථවිර
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
මානෙල්වත්ත, බොල්ලෑගල
කැළණිය.
