තාර්කික චින්තනය (logical thinking) යනු කුමක්ද?
තාර්කික චින්තනය (logical thinking) යනු යම් ප්‍රශ්නයක් පිළිබඳව ගැඹුරින් හිතා එය පහසුවෙන් තේරුම් ගැනීම හා විස්තර කිරීම සඳහා ක්‍රමානුකූලව, පිළිවෙළට කරුණු ඉදිරිපත් කිරීමේ කලාවයි. තර්කානුකූල විසඳුම් සෙවීම සඳහා තාර්කික චින්තන හැකියාව අවශ්‍ය වන අතර, වැදගත් තීරණ ගැනීමේදී හා ප්‍රශ්න විසඳා ගැනීමේදී එය බෙහෙවින් උපකාර වෙයි.

තාර්කික චින්තනය හා විචාරාත්මක චින්තනය අතර සමානකම් ඇති අතර වෙනස්කම් ද තිබේ. විචාරාත්මක චින්තනය කියන්නේ අදහස් ප්‍රකාශන හෝ තොරතුරු ප්‍රකාශන පිළිගැනීමට පෙර ප්‍රශ්න මතු කරමින් විග්රහාත්මකව සිතා බලා තව දුරටත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ගන්නා උත්සාහයේ ලක්ෂණයකි. (හැබැයි, එය විවේචනාත්මක චින්තනයට වඩා වෙනස් බව ද සැලකිල්ලට ගත යුතුය. විවේචනාත්මක චින්තනය කියන්නේ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නොව අන් අයගේ අදහස්-මත විග්රහ-විවේචන කිරීම සඳහාම ප්‍රශ්න මතු කරමින් ප්‍රතිවිරුද්ධ මත ප්රකාශනයට යොමු කරවන චින්තනයයි. විවේචනාත්මක චින්තනය ලංකාවේ බහුලව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ.)
තාර්කික චින්තනය නම් සාධක හා පෙරකොන්දේසි (evidence and truth conditions), ඒ වගේම ප්‍රකාශ අතර ඇති සම්බන්ධතාවල යුක්තිසහගතබව ඇගයුමකට ලක් කර තර්කානුකූල නීතිරීතිවලට අනුකූලව විධිමත්ව සලකා බලා නිවැරදි විසඳුම ලබා ගැනීමට දරන උත්සහයක් වන බැවින්, පෙර කොන්දේසි විවේචනයට ලක් කිරීම වැදගත් ඉල්ලකයක් නොවේ.
තාර්කික චින්තනය වැදගත් වෙන්නේ ඇයි?
ශාස්ත්‍රීය පර්යේෂණවලදී පමණක් නොව, දේශපාලන ලෝකයේ හා ව්‍යාපාරික ක්ෂේත්රයේ ද නව ප්‍රතිපත්ති, නව නිෂ්පාදන හා නව සේවාවන් ආරම්භ කිරීමේදී සහ හඳුන්වා දීමේදී, බුද්ධිමතුන්ටත්, පොදු මහජනතාවටත් කරුණු ඉදිරිපත් කිරීම සඳහා මේ තාර්කික චින්තනය ඉතා වැදගත් වේ. තවද තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ දත්ත වැදගත් කොට සැලකීමට පටන් ගත් නිසා, රැස් කර ගන්නා විවිධ දත්ත නිවැරදි නිගමනවලට එළඹීම සඳහා යොදා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයත් සමඟ තාර්කික චින්තනය තවදුරටත් වැදගත් තැනක් ගන්නට පටන් ගත්තේය.

2021වසරේදී රජය රසායනික පොහොර ආනයනය එකවරම නතර කිරීමට ගත් තීරණය තාර්කික චින්තනය මත පදනම් වූවක් නොවීය. කරුණු හෝ ප්‍රකාශ අතර යුක්තිසහගත සම්බන්ධතාවක් තිබුණේම නැත. කෘෂිකර්ම අංශයේ උගතුන් විසින් මේ බව මැනවින් පෙන්වා දී ඇති බැවින් මෙහිදී නැවත විස්තර කරන්නට අවශ්‍ය නැත. තාර්කික විමසා බැලීමක් කළේ නම්, එබඳු තීරණයක් හා ප්‍රතිපත්තියක් යහප්රතිඵල ගෙන දෙන්නේ නැති බව හේතු සාධක ඇතිව පෙනී යනු ඇත. හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත් තීරණ ගැනීමට නම්, තාර්කික චින්තනය අවශ්‍යම වේ.
එහෙත් මේ වැදගත්කම අවබෝධ කරගැනීමට හෝ රැක ගැනීමට අප අපොහොසත් වී ඇති බව පෙන්වන නිදර්ශන ලංකාවේ ශාස්ත්‍රීය, දේශපාලන හා ව්‍යාපාරික වේදිකාවලින් සුලබව අසන්නට ලැබේ. පසුගියදා ලංකාවේ අගනුවර ඉහළම පෙළේ රෝහලක අධ්‍යක්ෂකවරයෙකු වන විශේෂඥ වෛද්‍යවරයෙක් කළ ප්‍රකාශයක් උපුටා දක්වමි.
“බාල ඖෂධ කියා දෙයක් නැහැ- ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වන්නේද නැහැ” යන මැයෙන් පළ වූ එම ප්‍රවෘත්තියේ මෙසේ සඳහන් විය.
“සෞඛ්‍ය ක්ෂේත්රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු බවත් එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු පැවසීය.
බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ඖෂධ මඟින් සංකූලතාවයක් හෝ ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද වසර ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.”
ඒ මහතා පළ කළ මුල්කාරණය (පළමු වන ඡේදය) පිලිබඳ ප්‍රශ්නයක් නැත.
එහෙත් දෙවැනි ඡේදයෙන් ඔහු මහජනයාට ඒත්තු ගන්වන්නට ගන්නා උත්සාහය අතිශයින් අසාර්ථකය. එකක්, මාතෘකාවෙන් කියන කාරණය හා මේ දෙවැනි ඡේදයෙන් කියන කරණය අතර නොගැලපුමක් ඇත. ‘බාල ඖෂධ කියා දෙයක් නැහැ’යි මාතෘකාව කියයි. ඊළඟට මේ ඡේදයේදී වෛද්‍යවරයා ‘බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරන බව’ කියයි. තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ ලාබ භාණ්ඩ ලෙස හඳුන්වා දීමට ලෝකයේ කිසිම නිෂ්පාදකයෙක් පෙළඹෙන්නේ නැත. ඒනිසා මේ කියන කාරණය නිවැරදිය. නමුත් මේ කාරණය මාතෘකාවෙන් කියන විදියේ ‘බාල ඖෂධ කියා දෙයක් නැහැ’ යන කාරණය හා සමානාර්ථවත් වන්නේ නැත. හොඳ භාණ්ඩ යන ලේබලය හා හොඳ භාණ්ඩ අතර පරතරයක් ඇති බව ඕනෑම පාරිභෝගිකයෙක් දනී. ප්‍රකාශ දෙක අතර යුක්තිසහගත සම්බන්ධයක් නැති බැවින් මේ කතාව තාර්කානුකූල නැත. මේ ප්‍රවෘත්තිය කියවන විචාරාත්මක චින්තනයෙන් යුතු පාඨකයා හෝ ශ්රාවකයා මේ කියන මහතාගේ අසාර්ථක උත්සාහය තේරුම් ගනු ඇත. මෙය වචන හරඹයක් මගින් පාඨකයා මුලා කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙනුණද පුදුම විය යුතු නැත.
අනික, එම ඡේදයේ ම ‘සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බව’ත් ඒ මහතා සඳහන් කර ඇත. නමුත් ඒ බව ඔප්පු කරන සාධක කිසිවක් ඉදිරිපත් කර නැත. ඒ නිසා එය තාර්කික චින්තනය පදනම් කර ගත් ප්‍රකාශයක් වන්නේ නැත.
අවසාන ඡේදයේ සඳහන් පරිදි, ‘බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ඖෂධ මඟින් සංකූලතාවයක් හෝ ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද වසර ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන බවද’ ඒ මහතා පවසා ඇත. නමුත් ඒ බව සනාථ කරන සත්‍ය කොන්දේසි කිසිවක් ඉදිරිපත් කර නැත. එහෙයින් එම ප්‍රකාශය ද තාර්කික චින්තනය පදනම් කරගත්තක් නොවේ.
අපට අපේ ප්‍රාදේශීය ප්‍රශ්න, ජාතික ප්‍රශ්න හා ජාත්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වී තිබෙන්නේ තාර්කික චින්තනය පදනම් කරගත් නිගමන හා ප්‍රතිපත්ති සැලසුම් කර ගැනීමට නොහැකි වීම නිසාය.
තාර්කික චින්තනයේ ව්‍යුහය හා හරය

තාර්කික චින්තනය ගැන තවදුරටත් පැහැදිලි කරනවා නම්, මේ චින්තන ක්‍රියාවලිය මතු කර ගැනීමට ඉවහල් වන චින්තන රාමුවක් තිබේ. එය Logic Tree හැටියට ද හැඳින්වෙයි. (Diagram 1 සටහන බලන්න). අවසාන නිගමනය හෝ අවසාන ප්‍රතිඵලයේ සිට මූලික පදනම වෙත යොමු වන පිරමිඩ් ආකෘතිය හැටියට ද එය සලකනු ලැබේ. පිරමිඩයේ ඉහළින්ම ඇත්තේ අවසාන නිගමනයයි. ඊට පහළින් නිගමනයට හේතුපාදක වන කරුණු ඉදිරිපත් කෙරෙයි. තවදුරටත් පහළින් ඒ හේතු-කාරණාවලට පාදක වන මූලිකම කරුණු සඳහන් කෙරෙයි. මේ පිරමිඩ් ආකෘතිය අනුව චින්තනය හෙවත් තර්කණය දෙයාකාරයකට ක්‍රියාත්මක වෙයි.
1. උපකල්පනය (inference) ➔ සාධක (evidence) ➔ යථාර්ථය (reality)
Top-down ප්‍රවේශය
2. යථාර්ථය (reality) ➔ සාධක (evidence) ➔ උපකල්පනය (inference or generalization)
Bottom-up ප්‍රවේශය
විවිධ තොරතුරු හා කරුණු, කාණ්ඩ හැටියට බෙදීම (grouping) ද ඉතා වැදගත් ක්‍රියාවලියකි. මේ වර්ගීකරණය තාර්කික චින්තනය ඇති කර ගැනීමේ මූලික අඩිතාලම වේ. යම් තීරණයකට පැමිණීමේ හේතුසාධක “ඇයි එහෙම?” (Why so?) හා සහ එහි ප්‍රතිඵල මොනවාද යන “ඉතින් මොකද?”(So what?) යන අංශ දෙක ද ඉතා වැදගත් වේ. 1960 ගණන්වලදී ඇමෙරිකාවේ USAID දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද මේ තාර්කික ආකෘතිය එක්සත් ජාතීන්ගේ සංගමය හා විවිධ සංවර්ධිත රටවල් විසින් තව දුරටත් වර්ධනය කරන ලදුව සංවර්ධන අධ්‍යාපනය හා සංවර්ධන ව්‍යාපෘති හඳුන්වාදීම සඳහා යොදා ගන්නා ලදී.
පිරමිඩ් ආකෘතිය අනුව හිතන හා සැලසුම් කරන ආකාරය ගැන සරල නිදර්ශනයක් ඉදිරිපත් කරන්නම්.
| වෙහෙරබැඳි ගමේ දිළිඳුකම නැතිකිරීමේ ව්‍යාපෘතිය | |
| Overall Goal අවසාන අරමුණ | ගමේ ජීවිතය සුරක්ෂිත කිරීම |
| Project Purpose ව්‍යාපෘතියේ පරමාර්ථය | එක් එක් නිවසේ ආදායම්-වියදම් තත්වය යහපත් අතට ගෙන ඒම |
| Outputs ප්‍රතිඵල | 1. ආදායම වැඩි වනු ඇත. 2. මාසික වියදම් අඩු වනු ඇත. |
| Activities ක්‍රියාකාරකම් | 1-1 අඹු-සැමි දෙදෙනාම වැඩ කරන්න ගනිමු. 1-2 මේ අතර ගෘහ කර්මාන්තයකින් ද ආදායමක් ලබමු. 2-1 පදිංචියට ගෙවල් කුලිය අඩු නිවසක් සොයා ගනිමු. 2-2 උපයෝගිතා (විදුලිය වැනි) පිරිවැය අඩු කරමු. 2-3 ගෙවත්තේ ද ආහාර වගා කරගෙන ආහාර වියදම් අඩු කරමු. |
පහළින්ම දැක්වෙන ක්‍රියාකාරකම් හරියට ක්‍රියාත්මක වුණහොත් ඊට ඉහළින් දැක්වෙන ප්‍රතිඵල අත් කර ගත හැකිය. ඒ ප්‍රතිඵල ලැබුණොත් ව්‍යාපෘතියේ පරමාර්ථය ඉෂ්ට වනු ඇත. ඒ තත්වය දිගටම පවත්වාගෙන ගියහොත් අවුරුදු කීපයකින් අවසාන අරමුණට ලඟා විය හැකිය. මේ අනුව බලන විට තාර්කික චින්තන හැකියා වැඩිදියුණු කර ගැනීමටත්, එමඟින් සාර්ථක පල නෙලා ගැනීමටත් හේතුඵල සම්බන්ධය පිළිබඳව උපරිම අවධානයක් යොමු කළ යුතුය.
බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර ප්‍රධාන තැනක් ගන්නා හේතුඵල න්‍යාය පිළිබඳව අප කොතරම් අසා ඇතත්, ඉගෙන ගත්තත්, එම ඉගැන්වීම ප්‍රයෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නට අප එතරම් උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ. අගති හා පුර්වසංකල්පනාවලින් බැහැරව සැබවින්ම හේතුඵල සම්බන්ධයක් තිබේද යන්න සලකා බැලීම සිදුවිය යුතුයි. මිනිස් චර්යාවේ ප්‍රධාන දුර්වලතාවක් නම් ‘මේ දක්වා පිළිගත් සාමාන්‍ය දැනුම’, ‘මේ දක්වා ඒකපාක්ෂික අත්දැකීම්වලින් ලබාගත් (සමතුලිත නොවන) දැනුම’ ආදී පුර්වනිශ්චිත නිගමන/ඥානයන් අනුව ක්‍රියා කරන්නට පෙළඹීමයි. අවශ්‍ය වන්නේ මේ දක්වා පවත්වාගෙන ආ කල්පනා, අත්දැකුම් හා දැනුම් ඇත්තටම නිවැරදිද කියා ප්‍රශ්නාර්ථයෙන් යුතුව බලා අපක්ෂපාතී, උපේක්ෂාසහගත චින්තන මාර්ගයකට පිවිසීමයි.
තාර්කික චින්තන හැකියා වර්ධනය කර ගත හැක්කේ කෙසේද?
අවසාන වශයෙන්, තාර්කික චින්තන හැකියා වර්ධනය කර ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. තාර්කික චින්තනය ගැන ලියූ බොහෝ අය මේ කාරණයටත් අවධානය යොමුකර තිබේ.
1. නිර්මාණාත්මක විනෝදාංශවල යෙදෙන්න.
ලිවීම, චිත්‍ර ඇඳීම, පාට කිරීම, සංගීතය, නාට්‍ය ආදී යම්කිසිවක නියුක්තවී නිර්මාණාත්මක චින්තනය වැඩිදියුණු කර ගැනීමෙන් තාර්කික ලෙස සිතා ප්‍රශ්න විසඳා ගැනීමේ ශක්තිය උදා කර ගත හැකිය.
2. සම්බන්ධතා ගොඩ නගා ගැනීම
විවිධ පුද්ගලයන් සමඟ ආශ්‍රය කරමින් කතාබහ කරමින් නව දැකුම් උකහා ගැනීම
3. ප්‍රශ්න කරන්නට පුරුදු වීම
නිතර ප්‍රශ්න කරන්නට පෙළඹීම, විශේෂයෙන් පොදුවේ පිළිගත් දේ හා සාමාන්‍යයෙන් සත්‍යයයි පෙනෙන කරුණු පිළිබඳව ප්‍රශ්න නගා විමසා බැලීම
4. නව නිපුණතාවක් ගොඩ නගා ගැනීම
නව නිපුණතාවක් ගොඩ නගා ගැනීම සඳහා විමසිලිමත් චින්තනය හා සැලසුම්සහගත ක්‍රියාකාරකම් අවශ්‍ය වන බැවින් එය තාර්කික චින්තනයේ වර්ධනයට ද උපකාර වේ.
5. අභිරහස් කතා හා ගුප්ත/සැඟවුණු කරුණු පිළිබඳව සොයා බැලීම
කතා, අපරාධ සිද්ධි, ප්‍රදේශයේ සැඟවුණු පුවත් හෝ ස්මාරක ආදිය ගැන රහස් සොයා බැලීමට උනන්දුවන්න. එය ගවේෂණාත්මක චින්තනය පුබුදුවයි.
6. තමන් ගන්න තීරණවල ප්‍රතිඵල දෙසට සිත යොමු කිරීම
අප ගන්නා තීරණ අනාගතයට බලපාන්නේ කෙසේද, මොන විදියේ යහප්රතිඵල ගෙනදේද හා දිර්ඝකාලින ප්‍රතිඵල මොනවාද යන්න ගැන අවදිමත්ව සිටීමෙන් අපේ තාර්කික චින්තනය වර්ධනය වේ.
තාර්කික චින්තන නිපුණතා වර්ධනය කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
තාර්කික චින්තන නිපුණතා වර්ධනය කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද යන්න ගැන දැනටමත් ඔබට වැටහීමක් ලැබී ඇතැයි සිතමි. ඒ පිළිබඳවත් කෙටි සටහනක් ඉදිරිපත් කරමින් මේ රචනය අවසන් කරමි. තාර්කික චින්තන හැකියා වර්ධනය කර ගැනීමෙන්,
අ) තොරතුරු සංනිවේදනය කාර්යක්ෂමව පවත්වාගෙන යමින් රැකියාව හෝ වෘත්තියේ කාර්යක්ෂමතාව දියුණු කර ගන්නට පුළුවන් වේ.
ආ) අදාළ තොරතුරු හා වැදගත් කරුණු මඟ හැරී යන්නට නොදී, රැකියාව, වෘත්තිය හෝ සමාජය සම්බන්ධව කළ යුතු දේ පැහැදිලි කර ගැනීමට හා පැහැදිලි කර දීමට පුළුවන්කම ලැබේ.
ඇ) තම පවුලේ, වැඩ කරන ආයතනයේ හෝ ප්රජාසමාජයේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා ගෙන පෞද්ගලික හා පොදු සුභසිද්ධිය උදා කර ගත හැකිය.
නිදසුනක් හැටියට, අධ්‍යාපන ක්ෂේස්ත්රයට සම්බන්ධ කර කියනවා නම්, ළමුන් ඉගෙනගන්නේ මොන විදියේ හැකියා, දක්ෂතා ඇතිකර ගැනීමටද යන අරමුණු හා ඒ සඳහා කවර විදියේ අධ්‍යාපන පරිසරයක් හා ඉගෙනුම් අවස්ථා තිබිය යුතුද යන ක්‍රම හා විධි යන දෙඅංශයේ තාර්කික සම්බන්ධය පිළිබඳ නිරන්තර අවදිමත්බවක් අවශ්‍ය වේ.
පරිශීලනය:
The Art of Logical Thinking by William Walker AtkinsonWhat Is Logical Thinking – Significance, Components, And Examples (knowledgehut.com)
සටහන –

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
