වසර සියයකට එහා ඈත ඉතිහාසයක් ඇති සමුපකාර ව්‍යාපාරය වර්තමානය වනවිට ශ්‍රී ලංකා ජන සමාජය හා බද්ධ වී නිහඩ යෝධයෙකු මෙන් ක්‍රියාකරමින් පවතී. ලාභයෙන් නොව වටිනාකම් වලින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් වශයෙන් සමුපකාර ව්‍යාපාරය ජාත්‍යන්තරව එකඟ වූ ප්‍රතිපත්තින් හුවමාරු කර ගන්නා අතර සියල්ලන්ගේම සහයෝගයෙන් යහපත් ලෝකයක් තැනීම සඳහා එකට එක්ව ක්‍රියා කරනු ලබයි. සමුපකාරයේ සිංහල අර්ථය “සම උපකාරයයි”. එනම් තම සාමාජිකයින්ගේ අභිවෘර්ධිය සඳහා සමුපකාර ව්‍යාපාරය හැමවිටම ක්‍රියාකරනු ලබයි. සමුපකාරයක් යනු කේන්ද්‍රීය ආර්ථික, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා එහි සාමාජිකයින් විසින් අයිති කර ගත්, පාලනය කරන සහ පවත්වාගෙන යන ජනතාව කේන්ද්‍ර කරගත් සංවිධානයකි. සමුපකාර මඟින් පොදුමහජනයාට සේවයක් වන ලෙස ආර්ථික ක්‍රියාවලීන් මෙහෙයවනු ලබන අතර තරඟකාරී වෙලඳපළ තුළ අධිකාරීබලය පාලනය කිරිම සඳහා මැදිහත් වන යාන්ත්‍රණයක් ලෙසද නිහඩව ක්‍රියාකරනු ලබයි. ජාතික සමුපකාර සංධානයට අනුව, මිහිපිට වෙසෙන මනුෂ්‍ය ප්‍රජාවෙන් 12% ක් පමණ සමුපකාරිකයින්ය. සමුපකාර ව්‍යාපාරය මඟින් ලෝකයේ ගමන්මඟ මානවහිතවාදී ලෙස වෙනස් කිරිමට සමත්ව ඇත.
තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳව අවධානය යොමුකිරිමේදී, සමුපකාර සාරධර්ම හා මූලධර්ම තුළින් ගොඩනැඟී ඇති සමුපකාර ව්‍යවසාය ආකෘතිය තුළ දැනටමත් තිරසාර සංවර්ධන අරමුණු අන්තර්ගත වී ඇත. තරඟකාරී වෙලඳපළ ආකෘතිය තුළ සමුපකාර ව්‍යවසායන් ලාභ උපයනවා මෙන්ම උපයන අතිරික්තය නැවත සමාජය තුළම ආයෝජනය කිරිමට උත්සහගනු ලබයි. ප්‍රජාතන්ත්‍රවාදීව වගකියන, සාමාජිකයින්ට අයිති සංවිධානයක් තුළින් ප්‍රජාවක් තම අවශ්‍යතා සපුරාලීම සඳහා එකට එකතු වූ විට සමුපකාර සංධානයක් බිහිවන අතර එම සන්ධානය ප්‍රාදේශීය ප්‍රජාව තුළ මෙන්ම ගෝලීය ව්‍යාපාරයක් ලෙස ද ජනමනස තුලට තදින් කාවැදී ඇත. සමුපකාර වල ව්‍යූහාත්මක හිමිකාරිත්ව ලක්ෂණ සහ ‘එක් සාමාජිකයෙකුට එක ඡන්දයක්’ යන මූලධර්මය පිළිපැදීම මඟින් සාමාජික වටිනාකම් වඩාහොඳින් පිළිඹිඹු වනඅතර ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින බව සහතික කෙරේ. සමුපකාර ආකෘතියේ දක්නට ලැබෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස නම්‍යශීලී බව දැක්විය හැකිය. වෙලඳපළ තුළ ක්‍රියාත්මක වන සෑම අංශයක් සඳහාම සමුපකාර ආකෘතිය භාවිතාකළ හැකිය.
උදාහරණයක් වශයෙන්, ධීවර, ජල මූලාශ්‍ර සහ පරිසර පද්ධති වැනි ස්වාභාවික සම්පත් පොදු කළමනාකරණය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සමුපකාර සමිතිවලට වැඩ කළ හැකිය. රටතුළ පවතින වනාන්තර, වනජීවීන් සහ ඉඩම් සමුපකාර ආකෘතිය තුළින් ප්රජාතන්ත්රවාදී ආකාරයකින් සාර්ථකව ආරක්ෂා කර කළමනාකරණය කළ හැකිය. එමෙන්ම, සේවා හා කර්මාන්ත සමුපකාර මඟින් වාණිජ නිෂ්පාදන ක්‍රියාවලීන්හි අහිතකර බලපෑම අඩු කළ හැකි අතර දූෂණය සීමා කිරීම් මඟින් පරිසර ආරක්ෂණයද සිදුකළ හැකිය.
බොහෝ විට නව හා යෝග්‍ය තාක්ෂණයන් උපයෝගී කරගනිමින් පුනර්ජනනීය බලශක්තිය හෝ පාරිසරික වශයෙන් තිරසාර නිෂ්පාදන කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීම ඇතුළුව පාරිසරික වශයෙන් යහපත් සේවාවන් සැපයීමටද සමුපකාර ව්‍යාපාරයට හැකිය. එලෙසින්ම, වෙළඳපල හෝ රාජ්‍ය විසඳුම් ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ප්‍රජාවගේ ජීවන තත්වය උසස්කර ගැනීමට සමුපකාර සමිති මඟින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සාමූහික ආයෝඡන සිදුකළ හැකිය. සාමාජිකයින්ගේ දේශීය පළපුරුද්ද හා දැනුම භාවිතා කිරීම මඟින් දේශීයව අවම පිරිවැයකින් තිරසාර සංවර්ධන අභිමාතාර්ථ ලඟාකර ගැනීමට ක්‍රියාකළ හැකිය. සමුපකාර සමිති මඟින් තම සාමාජිකයින් සඳහා නිරන්තරයෙන්ම අධ්‍යාපනය සහ පුහුණුව සපයනු ලබයි. ගැටලු පිළිබඳව තම සාමාජිකයින් දැනුවත් කරන අතර නව්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදීව ඒවා කළමනාකරණය කරගනිමින් විසඳුම් ලබා දෙයි. සොබාදහම සඳහා වටිනාකමක් ලබාදෙමින් තිරසාර සංවර්ධනය පිළිබඳ නව න්‍යායක් ගොඩනැගීම හා සාක්ෂාත් කර ගැනීම සඳහා සමුපකාර ප්‍රවේශය මේ අනුව වැදගත් මෙවලමක් විය හැකිය.
සමුපකාර ව්‍යාපාරය යනු වටිනාකම් දාමයක් පදනම් කරගත් ව්‍යවසායක් වන අතර මිනිසුන්ගේ සුබසාධනය අරමුණු කරගත් සමාජ ව්‍යවසායක් ලෙසද ක්‍රියාකරනු ලබයි. විශේෂයෙන්ම, 1995 සැප්තැම්බර් මාසයේදී මැන්චෙස්ටර් සම්මේලනයේදී සම්මත කරන ලද සමුපකාර මූලධර්මයන්ට එකතු වූ ‘ප්‍රජාව සඳහා සැලකිල්ල’ නමැති හත්වන සමුපකාර මූලධර්මය මඟින් පාරිසරික ආරක්ෂාව සඳහා ඇති හැකියාව මනාව ඉස්මතු කර පෙන්වන ලදි. සමස්ථයක් ලෙස තිරසාර සංවර්ධනය සඳහා සමුපකාර ව්‍යාපාරය දක්වන දායකත්වය පහත පරිදි සාරාංශකර දැක්විය හැකිය.

| තිරසාර සංවර්ධනය ඉලක්ක | ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය දක්වන දායකත්වය |
| දිළිඳුකම තුරන් කිරිම සහ කුසගින්න දුරලීම. (Eliminate Poverty and Erase Hunger) | දිළිඳුකම තුරන් කිරිම සඳහා සමුපකාර ව්‍යාපාරය සෘජුවම දායක වෙයි. සමුපකාර ව්‍යවසායන් හැමවිටම වෙලඳපළ ආර්ථික අවස්ථා හඳුනා ගනී. තම සාමාජිකයින්ගේ දිළිඳුකම අඩු කිරීම සඳහා ජීවන තතත්ව නංවාලීමේ විවිධ ව්‍යාපෘතීන්, ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාදීම් වැනි කටයුතු සමුපකාර සමිති මඟින් සිදුකරනු ලබයි. සාමාජිකයින් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාකරනු ලබයි. සාමාජිකයින්ට මූල්‍ය ප්රාග්ධනය සැපයීම, කෘෂිකාර්මික හා පශු සම්පත් කටයුතු සඳහා පහසුකම් සැපයීම, භාණ්ඩ නිෂ්පාදනය ප්‍රවාහනය හා අලෙවි කිරීම සමුපකාර ව්‍යවසායන් මඟින් දැනටමත් සිදුකරනු ලබයි. සාමාජීය යහපත උදෙසා දැරිය හැකි මිලට ගුණත්වයෙන් යුතු ආහාර, ඇඳුම් පැළඳුම් සහ මෙවලම් සම්පාදනය මෙන්ම සේවා සම්පාදනයද සමුපකාර ව්‍යවසායන් තුළින් සිදුකරනු ලබයි. |
| ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, අසමානකම් අඩු කිරිම, ප්‍රජාවන් සඳහා තිරසාර නගර බිහිකිරීම, සාමය සහ යුක්තිය තහවුරු කිරිම මෙන්ම ශක්තිමත් ආයතන බිහිකිරීම. (Enforce Gender Equality, Reduce Inequality, Mobilize Sustainable Cities and Communities, Guarantee Peace, Justice, and Strong Institutions). | සමුපකාර ව්‍යාපාරය විසින් ගොඩනඟා ඇති ප්‍රතිපත්ති සහ අගයන් තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කර ඇති අතර සැමටම එක ලෙස සලකනු ලබයි. ප්රජාතන්ත්රවාදී පාලනය තුළින් සාමය සහ යුක්තිය තහවුරු කිරිමත් අසමානකම් අවම කිරිමත් සමුපකාර සමිති තුළින් සිදුකරනු ලබයි. සමුපකාර ප්රතිපත්තීන් සහ අඟනාකම් ආරක්ෂා කිරිම තුළින් ශක්තිමත් ආයතන පද්ධතියක් බිහිවන අතර ඒ තුළින් තිරසාරත්වය තහවුරු වනු ඇත. |
| සියල්ලන් සඳහා පරිපූර්ණ හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම හා දිවිය පුරාම ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම. (Provide Quality Education) | තම සාමාජිකයින්ගේ ජීවන තත්වය උසස් කිරිම සඳහා මුල්‍ය පහසුකම් සැපයීම තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ළමයින්ට අධ්‍යාපන කටයුතු කිරිම සඳහා පහසුකම් සැපයෙන අතර විවිධ සේවා සමුපකාර සමිති තුළින් පහසු මිලට අධ්‍යාපන උපකරණ, පොත්පත්, ලිපිද්‍රව්‍ය ලබාදීම තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් සැමට තහවුරු වනු ඇත. අධ්‍යාපන සේවා සමුපකාර සමිති තුළින් අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත වෘත්තිකයින් හට පහසුකම් සලසනු ලබන අතර අධ්‍යාපන ක්ෂේත්රය තුළද සමුපකාර අනන්‍යතාව නියෝජනය වීම තුළ ගුණාත්මක අධ්‍යාපනය තහවුරු වනු ඇත. |
| සියලු දෙනාටම, සෞඛ්‍ය සම්පන්න දිවියක් තහවුරු කරන අතර යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම. (Establish Good Health and Well-Being) | ජනතාවට සහ තම සාමාජිකයින්ට වඩාහොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සමුපකාර රෝහල් සහ සෞඛ්‍ය සේවා සැපයුම් ජාලයක් රටතුළ ස්ථාපිත වී ඇත. ඒ තුළින් ජනතාවගේ යහපත් සෞඛ්‍ය සහ යහපත් පැවැත්ම ස්ථාපිත කිරීමට සහයෝගය ලබාදෙනු ලබයි. |
| ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩි දියුණුව ලබා ගැනීම, තිරසාර කෘෂිකාර්මික ප්‍රවර්ධනය, වගකීමකින් යුත් පරිභෝජනය සහ නිෂ්පාදනය (Food security and healthy nutrition, Responsible Consumption and Production). | ආහාර සුරක්ෂිතතාවයට සහ පෝෂණයට සමුපකාර ව්‍යාපාරය සෘජුවම දායක වේ. කුඩා ගොවීන්, ධීවර ජනතාව, පශු සම්පත් පාලකයන්, ඉඩම් හිමියන් සහ නිෂ්පාදකයින් බහුතරයක් සමුපකාර සාමාජිකයින්ය. ආහාර නිෂ්පාදනයේදී, ගොවිතැන සහ කෘෂිකර්මාන්තයේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා තිරසාර විසඳුම් සමුපකාර ව්‍යාපාරය තුළින් ලබාදෙනු ලබයි. ගෝලීය වෙලඳපලෙන් සියයට 32 ක් සමුපකාර කෘෂිකාර්මික අංශය නියෝජනය කරයි. |
| සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාගත හැකි බව හා තිරසාර කළමනාකරණය සහතික කිරීම. (Improve Clean Water and Sanitation, Develop Life Below Water) | සමුපකාර ව්‍යවසායන් මඟින් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබන අතර සමුපකාර සමිති වලින් තම බල ප්‍රදේශවලට අයත් පානීය ජලගැටළු විසඳීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරනු ලබයි. සනීපාරක්ෂක පහසුකම් සැපයීමේදී ද පහසුකම් සපයන්නෙකු ලෙසද ක්‍රියාකරනු ලබයි. සමුපකාර ව්‍යාපාරය මඟින් පිරිසිදු ජලය ලබා ගැනීමට පහසුකම් සැලසීම සහ එහි අඩුපාඩු සපුරාලීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම උදව් කරනු ලබයි. එමෙන්ම සාගර සම්පත සුරැකිමට සහ මුහුද යට වාසය කරන ජීවීන් සුරැකීම සඳහා මෙරට තුළ පිහිටුවා ඇති ධීවර සමුපකාර සමිති තුළින් සෘජු දායකත්වයක් ලබාදෙනු ලබයි. |
| දැරිය හැකි විශ්වසනීය, තිරසාර හා නවීන බලශක්ති සඳහා සියලු දෙනා ප්‍රවේශය සහතික කිරිම, දේශගුණික විපර්යාස මනාව කළමනාකරණය කිරිම සහ ගොඩබිමේ ජීවත්වන ජීවීන්ගේ ජීවිතය දියුණු කිරීම. (Grow Affordable and Clean Energy, Organize Climate Action, Advance Life on Land) | සමුපකාර ව්‍යාපාරය වටා එක්වී සිටින සාමාජික ප්‍රජාව හරහා සහ සමුපකාර ව්‍යවසායන් හරහා තිරසාර බලශක්ති ප්‍රභවයන් උත්පාදනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකර ගැනීම සහ දේශගුණික විපර්යාස වලදී සෑම විටම මහජනයාට සේවය සැලසීම සඳහා සමුපකාරය ඉදිරියට පැමිණේ. තිරසාර බලශක්ති ලබා ගැනීමට පහසුකම් සැලසීම හා උත්පාදනය කිරීමේදී සමුපකාර සමිති සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. සූර්ය බලය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් රටතුළට හඳුන්වාදීමේදී සහ එම සේවාවන් පවත්වාගෙන යාමේදී සමුපකාර ව්‍යවසායන් ඉතා ප්‍රසංසනීය කාරයභාරයක් ඉටුකරනු ලබයි. |
| සියලු දෙනා සඳහා පූර්ණ සහ තිරසාර ආර්ථික වර්ධනයක් සම්පූර්ණ හා ඵලදායී රැකියා හා ගෞරවනීය රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඉදිකිරීම , පූර්ණ හා තිරසාර කාර්මීකරණය සහ නව නිපැයුම් ප්‍රවර්ධනය. (Create Decent Work, Economic Growth, Increase Industry, Innovation and Infrastructure. | රැකියා උත්පාදන ක්‍රියාවලියේදී සමුපකාර ව්‍යවසායන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. සමුපකාර මඟින් රටට ව්‍යාපාර නිර්මාණය කරයි. වාණිජ කටයුතු වලට දායක වීමෙන් රටේ ආර්ථිකය නංවාලීමට දායකත්වය ලබාදෙනු ලබයි. රටේ කර්මාන්ත අංශයේ වර්ධනයට සහ නව නිපැයුම් ප්‍රවර්ධනය සඳහා සමුපකාර සෘජු දායකත්වයක් සපයනු ලබයි. |
සැකසිම,
දිනුෂ දිසානායක,
සහකාර පර්යේෂක,
ජාතික සමුපකාර සංවර්ධන ආයතනය.
