උතුරු මැද පළාත, පොළොන්නරුව යන නාමය අසන විටම හැඟී යන්නේ වියළි කලාපයේ කර්කශ භාවයයි. දූමරක්ඛ පබ්බත යන නම අසා නොමැති වුව ද දිඹුලාගල යන නාමය නොඇසූ කිසිවකු නොමැති තරම්ය. අප අද ගමන් කිරීමට යන්නේ බොහෝ දෙනා ගමන් කරන දිඹුලාගල අහස් මාලිගාවට නොව එයට ඉහත්තෑවෙන් තිබෙන ඖෂධ පොකුණ වෙතය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මහියංගණ මාර්ගයේ දිඹුලාගල රජමහා විහාරය පිහිටා තිබේ. මෙම ඖෂධ පොකුණට යන එක් මාර්ගයක් දිඹුලාගල පන්සල මැදින් වැටී ඇත. තවත් මාර්ගයක් දිබුලාගල පන්සලට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය හරහා ද වැටී පවතී. අප ගමන් කළේ නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය හරහා වැටී ඇති වනගත මාර්ගය ඔස්සේය. නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය ප්‍රසිද්ධ ස්ථානයකි. දිඹුලාගල කඳුවැටියෙහිම එක් පසෙක මෙය පිහිටා තිබේ. මෙහි ගමන් කිරීමේ දී මුලින්ම ඉතා මනරම් ගල්තලාවක් දක්නට ලැබේ. එම ගල් වල සුවිශේෂී රටාවක් දැකිය හැකිය.

මෙහි ස්තූපයක්, ප්‍රතිමා ගෘහයක් ඇතුළු පැරැණි ගොඩනැගිලි නටබුන් දැකිය හැකි අතර ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ. මෙහි වනාන්තරය දෙසට යන අතරමඟ නිල්දිය පොකුණ නමින් හැඳින්වෙන අලංකාර පොකුණක් දැකගත හැක. එහි ජලය ඉතා නිල් පැහැයෙන් යුක්ත වන අතර ඉතා මනරම් දසුනකි. මෙහි ඉතිහාසය විජයාගමනයට පෙර යුගයට නෑකම් කියයි. ඖෂධ පොකුණ වෙත ගමන් කිරීමට අප යොදාගත් මෙම මාර්ගය තරමක් අපහසුය. විශාල ගල් මතින් නගිමින් ගමන් කළ යුතුය. එමෙන්ම සර්ප විශේෂ, වන සතුන් මෙම ප්‍රදේශයේ වාසය කරන බවට සාධක හමුවේ. වනාන්තරය මැදින් ගමන් කිරීමට ඇති නිසා වෙහෙස සංසිඳවා ගනිමින් විඩාව නිවාගනිමින් ගමන් කළ හැක. ඖෂධ පොකුණ වෙත යාමට අපට පැය තුනක පමණ කාලයක් ගත විය. මෙම මාර්ගය කඳු නගින්නන් විසින් භාවිතා කරන්නකි. එහි අඩි පාර හොඳින් පවතී. එම නිසා මාර්ගය සොයා ගැනීම ඉතා පහසුය.
මෙම කඳු පන්තියේ ලෙන් එකසිය දහතුනක් පමණක් පවතී. මෙම කන්ද මීටර් 534ක පමණ උසින් යුක්තය. දුම්බරගිරි ලෙසින් ද හඳුන්වා ඇති මෙය “ගනර්ස් කොයින්” නමින් බ්‍රිතාන්‍යයන් විසින් නම් කර තිබුණු බව මූලාශ්‍ර වල සඳහන් වේ. දිඹුලාගල කන්ද ක්‍රි.පූ. හයවන සියවසේ සිදු වූ විජයාගමනයට පෙර දක්වා ඉතිහාසය හා සම්බන්ධකම් පවතී. මෙම වනය තුළ අතීතයේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විසූ බව ජනප්රවාදයේ සඳහන්ය. අතීතයේ දී යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වූ බව සඳහන් යක්කුරේ ග්‍රාමය ද මෙයට ආසන්නයේ පවතී. එසේම මෙහි යක්ෂ ගෝත්‍රිකයන් විසූ බවට පිළිගත හැකි සාක්ෂි හමුවේ. කුවේණිය ද මෙම ප්‍රදේශයේ වාසය කළ බව සඳහන්ය. පසු කාලීනව අනුරාධපුර රාජධානියේ ආරම්භක පාලකයා වූ පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ට එරෙහිව කළ සටනේ දී සටන් මෙහෙයවීමට මෙම ස්ථානය යොදා ගෙන තිබේ. යක්ෂ යක්ෂණීන්ට පුද පූජා පැවැත්වූ පණ්ඩුකාභය රජු චිත්තරාජ හා කාලවේල යක්ෂ සෙන්පතින් උදෙසා දිඹුලාගල අඩවියේ විහාරයට නැගෙනහිර දෙසින් විහාරයක් තැන වූ බවට මූලාශ්‍ර සාක්ෂි දරයි. එම විහාරය දේවානම්පියතිස්ස රජු සමයේ ඉදි වූ ප්‍රථම විහාර ස්ථාන වලින් එකක් ලෙස ද හැඳින්වේ.

ඖෂධ පොකුණ දිඹුලාගල කඳුවැටියේ ඉහලින්ම පිහිටා තිබේ. මෙම පොකුණ හමුවීමට පෙර පොකුණක් හමුවේ. එය අඩි 22ක් පමණ පළලින් හා අඩි 8ක් පමණ එළියට විවෘත වූ ගල් ගුහාවක පිහිටා තිබේ. පොකුණට ප්‍රවේශ වීමට අඩි දෙකක් පමණ පළල් වූ පටු ගල් පඩි පෙළකින් අඩි දොළහක් පමණ පාලට බැස යා යුතුවේ. මෙම පොකුණේ අඩි තුනක් හතරක් පමණ සෑම විටම ජලයෙන් පිරී පවතී. නමුත් ජලය පැමිණෙන තැනක් හෝ ජලය පිටවෙන මාර්ගයක් දැකගත නොහැක. මෙහි ජලය ඉතා පිරිසිදු තත්ත්වයේ පවතින අතර පානය කිරීමට කිසිදු අපුලක් ඇති නොවේ. මෙම පොකුණේ සිට ඉහළට මාර්ගය වැටී පවතී. ඒහි ගමන් කිරීම තරමක් අපහසුය. මාර වීදිය නමින් මෙම ප්‍රදේශය හඳුන්වන අතර මෙහි භාවනා සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි බිත්ති වලින් බඳින ලද කුටි හමුවේ. ඒවායෙහි චිත්‍ර ඇඳ තිබූ බවට සාධක අදටත් දක්නට ඇත.
අද වන විට මෙය වවුලන්ගේ තෝතැන්නක් වී තිබේ. ඒ ඔස්සේ ඉදිරියට ගිය විට තවත් පොකුණක් දැකගත හැකිය. එය ඖෂධ පොකුණ යනුවෙන් හඳුන්වයි. මෙය ඒ නමින් ප්‍රකට වීමට බලපෑ කරුණු කිහිපයක් පවතී. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කර මහියංගණයට වැඩි සමයේ දී මහියංගනයට දැඩි නියඟයක් පැවති බවත් දිඹුලාගල සිට යක්ෂ ගෝත්‍රික නායකයින් බුදුන් වහන්සේට ජලය රැගෙන ගියේ මෙම පොකුණෙන් බවත් කියවේ. බුදුන් වහන්සේ එම පැන් කොතලය ගෙන මෙම බුද්ධ කල්පය අවසන් වන තෙක් මෙම පොකුණේ ජලය නොසිදෙන ලෙස හා මෙහි ජලය පානය කරන අයට කිසිදු අමනුෂ්‍ය දෝෂයක් හෝ වෙනත් රෝගයක් නොවැළදේවායි අධිෂ්ඨාන කළ බවත් කියැවේ. එමෙන්ම එහි අනුහසින් වර්තමානය දක්වා ජලය නොසිඳී පවතින බවත් මෙහි ජලයෙන් රෝග සුවපත් වන බවත් ප්‍රචලිතව පවතින පුවතකි. මෙම පොකුණ ට ජලය බිංදු බිංදු උඩ ගලේ සිට පහලට වැටේ. නමුත් මෙය පිරී ඉතිරී යාමක් සිදු නොවේ.
ඇත්ත වශයෙන්ම මෙහි ජලය මිහිරි රසයකින් යුක්තය. අපි ද ඒවා පානය කළෙමු. ඒහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැත. අප මෙහි පැමිණීමට පෙර අසා දැනගත හැකි වූයේ මෙයින් ජලය පිටතට රැගෙන යාමට නොහැකි බවත් එසේ කළහොත් වනයේ අතරමං වන බවත්ය. අප ළඟ ඌ කුඩා බෝතලයකට එහි ජලය පුරවා ගත් නමුත් රැගෙන ඒමට නොහැකි වූයේ අප කණ්ඩායමට ඇති වූ පිපාසය හේතුවෙන් වනය තුළ දීම එය පානය කිරීමට සිදුවූ බැවිනි. එමෙන්ම ඉතා ඈත ප්‍රදේශ වලින් පැමිණ මිනිසුන් විවිධ රෝග සඳහා මෙහි ජලය පානය කරන බවට ඇතැම්හු කියති. එම කතාවේ සත්‍ය අසත්‍යතාවය අප නොදනී.

මෙම පොකුණ ආසන්නයේ ලෙනක් පවතී. එය පස් බුදු ලෙන නමින් අතීතයේ පටන් හඳුන්වා තිබේ. පොළොන්නරුව යුගයේදී වැඩ විසූ පූතිගත්ත තිස්ස මහා රහතන් වහන්සේ සහ මලියදේව මහා රහතන් වහන්සේ දිඹුලාගල විහාරස්ථානයේ වැඩ විසූ බව මූලාශ්රවල සඳහන් ය. එමෙන්ම විද්‍යාචක්‍රවර්තී හා ගුරුලුගෝමින් යන පඬිවරුන් ද මෙම විහාරයෙන් බිහි වූ දක්ෂ පඬිරුවරයෝ වෙති. ක්‍රි.ව.1153 දී මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමය ආරම්භයේ දී එනම් පොළොන්නරු යුගයේ දී ශාසනය පිරිහී ගොස් සංඝ භේදයක් පැවතිණි. එහි දී මෙහි විසූ මහා කාශ්‍යප නාහිමියන් රජු හා එක්ව පොළොන්නරු කථිකාවත පිහිටුවීමට ක්‍රියා කළ බව මූලාශ්‍ර වල සඳහන්ය. දූමරක්ඛ පබ්බතය ස්වභාවික පිහිටීම හා ඓතිහාසිකත්වය යන කරුණු හේතු කර ගෙන බොහෝ ප්‍රසිද්ධත්වයට පත් වුවකි.
අපි ඖෂධ පොකුණට යාමේදී නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය හරහා ගමන් කළ ද නැවත පැමිණීමේ දී ආකාස චෛත්‍යය ඔස්සේ පැමිණ දිඹුලාගල විහාරයෙන් පහළට පැමිණීමේ මාර්ගය භාවිතා කළෙමු. ඖෂධ පොකුණේ සිට පහළට පැමිණි මාර්ගය එක් පැත්තක ආකාස චෛත්‍යය උදෙසා වන අතර අනෙක් පැත්ත නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය වෙත ගමන් කිරීමට සලකුණු යොදා තිබේ. කඳු නැගීම, පල්ලම් බැසීම යන දෙයාකාරයේම නැවත පැමිණීමේ දී සිදුකළ යුතු වේ. පහළට පැමිණීම ද එතරම් පහසු කටයුත්තක් නොවේ. සර්පයන් සිටින බැවින් ඉතා විමසිල්ලෙන් ගමන් කළ යුතුවේ. ආකාස චෛත්‍ය වෙත පැමිණි පසු පහළට බැසීමට හොඳින් පිළිගැට පේලි සහිතව මාර්ගය සකසා තිබේ. එහි ගමන් කර පහළට පැමිණීම තරමක් පහසුය. මෙම වනය තුළ ස්වභාවික ජල මූලාශ්‍ර නොමැත.
එම නිසා අප විසින් අවශ්‍ය ජලය රැගෙන යා යුතුය. බොහෝ දෙනා දිබුලාගල පුදබිම වන්දනාවට ගිය ද මෙම පොකුණ වෙත නොයයි. එයට හේතු වී ඇත්තේ මේ පොකුණේ ඓතිහාසිකත්වයක් පිළිබඳ නොදැනුවත්කම හා මාර්ගයේ පවතින දුෂ්කරතාවය වන්නට ඇත. බොහෝ මිනිසුන්ගේ පාද ස්පර්ශය නොලබන බැවින් මෙය වටිනා පරිසර කලාපයක් ව පවතී. මෙහි පැවැත්වීමට හානියක් නොකර මෙහි අසිරිය විදීම අපගේ යුතුකමකි.
සටහන –

අනූජා දසවර්ධන
