වර්තමාන ලෝකය පිළිබඳ අවධානය යොමු කිරීමේදී විවිධ නවීනෝපාංගයන්ගෙන් යුතු විවිධ මාදිලියේ යන්ත්‍රෝපකරණ කර්මාන්තශාලා දැක ගැනීමට හැකිය. ඒවායේ සම්පූර්ණයෙන් නිම වූ , අර්ධ වශයෙන් නිමවූ , සහ අමුද්‍රව්‍ය වශයෙන් පවතින කොටස් පවතී. මිනිසාගේ ජීවිතය ද එවැනි යන්ත්‍රයකි. නව යොවුන් වියේ දරුවන් යනු එලෙස අර්ධ වශයෙන් නිම වූ යන්ත්‍රයන්ය.

නව යොවුන් විය යනු ජීවිතයේ අති සංකීර්ණ අවධියකි. පුද්ගලයෙකු තුළ සිදුවන බොහෝ කායික හා මානසික වෙනස්කම් හේතුවෙන් සමස්ත ජීවිතයේම පරිවර්තනයක් ඇති කරන අසමසම යුගයකි. මෙය දරුවාගේ සංක්‍රමණ කාලයයි, කුණාටු සමයයි. ජීවිතයේ දෙවනි උපතයි. දෙමව්පියන් පිළිබඳ සැබෑ පරීක්ෂණ කාලයයි. නව යෞවනයා තුළ ශාරීරික, ලිංගික, බුද්ධිමය, මානසික හා සමාජීය යන සමස්ත පරිණතියක් වර්ධනය වන කාලයයි. මෙම අවධිය ජීවිතයේ අති විශිෂ්ට යුගයක් ලෙස සැලකිය හැකි අතර, කාව්‍යමය දෘශ්ටියකින් වර්ණනා කරන්නෙකුට මල් වලින් බර වසන්ත සමයක් ලෙස පෙනෙනු ඇති බව 1963 ජර්සිල්ඩ් විසින් ද පෙන්වා දී ඇත. පෙරදී සිනාසෙමින් , අවනතව හා ආදරණීයව සිටි දරුවා හදිසියේම හුදෙකලාව හිඳිමින් දෙමාපියන් සමඟ නිරන්තර ගැටුම් ඇති කර ගනිමින් තම හැසිරීම් රටාවන් වෙනස් කර ගන්නා කාලයයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවක නව යොවුන් විය හඳුන්වන්නේ “මානසික පීඩනය හා කාන්සාව අත්දකින වෙනස් වීමේ කාල පරිච්ඡේදයක්” ලෙසටයි. මෙම සුවිශේෂී කාලය වයස අවුරුදු 10 ත් 19 ත් අතර කාලයයි.
ගැහැණු දරුවන් අවුරුදු 10න් පසුවත් පිරිමි දරුවන් අවුරුදු 12න් පසුවත් නැවත කායික වර්ධනයට එළැඹෙනු දක්නට ලැබේ. මෙම කාලය තුළ දරුවන් මල්වර සමයට එළඹෙයි. ගැහැණු දරුවකුගේ නම් ඔසප් චක්‍රය ආරම්භ වීම, ස්ත්‍රී ඩිම්බ නිපදවීම, දරුවකු පිළිසිඳ ගැනීමට ඔරොත්තු දෙන ආකාරයට ගර්භාෂය වැඩීම හා ලිංගේන්ද්‍රය විශාල වීම දක්නට හැකිය. පිරිමි දරුවකුගේ නම් ශුක්‍රානු නිපදවීම සහ ගබඩා කර ගැනීම, බාහිර ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වීම හා ශුක්‍රානු මෝචනය පිට කිරීමේ හැකියාව දක්නට ලැබේ. ද්විතික ලක්ෂණ පිළිබඳ සලකා බැලීමේදී ගැහැණු දරුවන්ගේ සම පැහැපත් වීම, මුහුණ පියකරු වීම, පියයුරු වැඩීම, කිහිලි සහ ලිංගාශ්‍රිත රෝම වැඩීම හා කටහඞ සිහින් හා ගැඹුරු බවට පත්වීම දැකිය හැකිය. පිරිමි දරුවන්ගේ මුහුණේ රැවුල ඒම, ස්වරාලය විශාල වීම, උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම, කිහිලි සහ ලිංගාශ්‍රිත රෝම වැඩීම, කටහඞ රළු හා ගැඹුරු බවට පත්වීම , උරහිස් පුළුල් වීම හා මාංශපේෂී ඝන වීම දක්නට ලැබේ. ඒ අනුව නව යොවුන් විය යනු මුළුමනින්ම ශාරීරික පිබිදීමේ හා වර්ධනය වීමේ ප්රතිඵලයකි.
ශරීර වර්ධනය කෙරෙහි ජීව විද්‍යාත්මකව බලපාන නිර්නාල ග්‍රන්ථි මඟින් නිපදවන හෝර්මෝන නව යෞවනයාගේ වේගවත් වර්ධනයට ඉවහල් වේ .එබැවින් ආහාර රුචිය වැඩෙන අතර ආහාර දිරවීමේ ක්රියාවලියද ඉක්මන් වෙයි. මේ නිසා ශාරීරික වශයෙන් ඇතිවන මෙම වෙනස්වීම තුළ තමාගේ ශක්තීන් හා දුබලතා, හැඟීම් හා ආශාවන්, අපේක්ෂාවන් හඳුනා ගැනීමට නව යෞවනයාට අවශ්‍ය වේ. එනම් පුද්ගල අනන්‍යතාවය සෙවීමක නිරතවීම නව යොවුන් වියේ දක්නට ලැබෙන සුවිශේෂී මානසික ස්වභාවයකි. මෙම ශරීර වෙනස්කම් නිසා නව යෞවනයා විමතියට පත් වේ. ලැජ්ජාවට හා කළකිරීමට පත් වේ. පිටතින් පෙනෙන්නට තියෙන එවැනි ඇතැම් ලක්ෂණ අන් අයගෙන් වසන් කිරීමට වෑයම් දරයි. එම නිසා මෙම කාලය තුළ දෙමව්පියන්ගේ උපකාරය නව යෞවනයාට බෙහෙවින්ම අවශ්‍ය වේ.
මාසික ඔසප් වීම පිළිබඳව නව යෞවනියන් තුළ මානසික අසහනයක් ඇතිවිය හැකි අතර එයින් ලැජ්ජාවට හා කම්පනයට පත් විය හැකිය. තම ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වීම, අකර්මන්‍ය වීම, ශුක්‍ර මෝචනය වැනි ස්වභාවික සිදුවීම පිළිබඳව කම්පනයට හා එයින් වැරදි විශ්වාස වලට එළඹිය හැකිය. ස්වයං වින්දනය හා සමලිංගික සේවනය වැනි නව යෞවනයන්ගේ ලිංගික අත්හදාබැලීම් හේතුකොටගෙන ඔවුන් තුළ මානසික අක්‍රමතා ඇති වීමටත්, ඒවා සමාජ චාරිත්‍ර හා වැඩිහිටි අපේක්ෂාවන්ට පටහැනි වේ යැයි සිතමින් මානසික පීඩාවක් ඇති කර ගැනීමටත් පෙළඹේ. තවද නව යෞවන අවධියේ සහජයෙන්ම ඇති වන ලිංගික ආශා යටපත් කර ගැනීම හේතු කොටගෙන ඔවුන් තුළ මානසික විකෘති හෝ විෂම චර්යා ඇතිවිය හැකිය.
නව යෞවනයා මුහුණ දෙන මෙවැනි මානසික ගැටළු රාශියකි. ශාරීරික වර්ධනයේදී පුද්ගල අසමානතා ඇති වීම, චිත්තවේගීය වශයෙන් පරිණත නොවීම, විරුද්ධ ලිංගිකයන් හා සම්බන්ධතා පවත්වා ගැනීම, තමා පිළිබඳව අවතක්සේරුවකට ලක් කිරීම, තමා පිළිබඳ අධි සංවේදීතාව, නව යෞවනයෙකු ළමයෙකු ලෙස තබා ගැනීමට වැඩිහිටියන් ගන්නා උත්සාහය, දෙමව්පියන් හා නව යෞවනයන් අතර දුරස්භාවය, නව යෞවන අවශ්‍යතා ඉටු නොවීම, බුද්ධි වර්ධනය නිසා ගොඩනගා ගන්නා නව දෘෂ්ටි නිසා පරම්පරා ගැටුම් හේතුකොටගෙන ගැටළු ඇති කර ගැනීම, සමාජ සබඳතා දෙදරා යාම, සන්නිවේදන මාධ්‍යයන්, ගුරුවරුන් හා ඇතැම් වැඩිහිටියන්ගේ ක්‍රියා කලාපය හා බහු භාණ්ඩික සමාජයක අතරමං වීම යනාදිය ඒ අතර ප්‍රධාන වේ.

නව යොවුන් වියට දරුවකු පැමිණි පසු මානසික අවපීඩනයෙන් පෙළීම බහුලව දක්නට ලැබේ. එදිනෙදා ඇතිවන ආතතිය, ඔවුන් සිදු කරනු ලබන වෙනස්කම්, හා දෙමව්පියන් සමඟ ඇතිවන ගැටුම් නිසා මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී තරුණයන් සෑම විටම නොසැලකිලිමත් වන අතර ඉතා උදාසීන වේ.එය පාසැලට හා පවුල් පරිසරයට අහිතකර ලෙස බලපායි.මෙහි වඩා බැරෑරුම් තත්ත්වය වන්නේ අවසානයේදී ඔවුන්ට සිය දිවි නසා ගැනීමේ අදහස් ඇතිවිය හැකි වීමයි. මෙහි ඇති ප්‍රධාන ගැටළුව නම් එම මානසික ගැටළුව හඳුනා ගැනීමට නොහැකි වීමයි.
කාංසාව යනු තවත් මානසිත ගැටළුවකි. නව යොවුන් වියේ පසු වන අයට හැම අතින්ම හිතකර වාතාවරණයක් තිබුණ ද එම කාලය කැලඹිලි සහිත විය හැකියි. මල්වර වන අවදියේදී නැවුම් හැඟීම් සහ චිත්තවේගයන් උත්සන්න වෙනවා. ඔවුන් ගුරුවරුන්ගෙන් සහ සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන යම් පීඩනවලට දිනපතා මුහුණ දෙනවා. ඒවගේම රූපවාහිනියේ, චිත්‍රපටිවල, සංගීත ක්ෂේත්රයේ සහ අන්තර් ජාලයේ බලපෑම්වලට විශාල ලෙස නිරාවරණය වෙනවා. යෞවනයන්ට අත්දැකීම් අඩු නිසා මානසික පීඩනයට හා කාන්සාවට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම කණගාටුවට කාරණයක්. ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් නැති මෙම යෞවනයන්ට නිසි මඟ පෙන්වීම නොදෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතය විනාශය කරා මිසක සාර්ථකත්වය කරා නම් නොයන බව ස්ථිරයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වනුයේ “මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න පටන්ගන්නේ නව යොවුන් වියේ සිටින විට හෝ එය පසු කරන විට බවයි.” සැහැසි ක්‍රියා සහ අසම්මත ලිංගික ක්‍රියා වැනි වෙනත් වැරදි හැසිරීම්වල නිරත වන්න පටන්ගන්නෙත් මෙම අවදියේදීමයි.

වර්තමානයේ පවතින ජීවන අරගලය ජය ගැනීමට පවුල් බොහොමයකට තම අවශ්‍යතා සපුරාගැනීමට ආදායම් මාර්ග දෙකක් අවශ්‍ය බව අප පිළිගත යුතුයි. එමෙන්ම ආදායම් දෙකක් ලැබෙන විට දරුවන්ට සැප පහසු ජීවිතයක්ද ගත කළ හැකියි. නමුත් එයින් සිදු වන අවාසිය නම් මිලියන ගණන් දරුවෝ පාසැල නිම වී නිවසට පැමිණෙන විට ඔවුන්ව බලා කියා ගැනීමට නිවසේ කිසිවෙකු නොසිටීමයි. දෙමාපියන් නිවසට එන විට ඔවුන් බොහෝවිට වෙහෙසට පත් වෙලා. නැත්නම් රැකියාවේදී ඇති වූ ගැටලු ගැන කල්පනා කරමින් සිටිනවා. මේ නිසා නව යොවුන් වියේ සිටින බොහෝ දරුවන්ට දෙමාපියන්ගේ අවධානය ලැබෙන්නේ නැහැ. “පවුලක් හැටියට අපි එකට කාලය ගත කරන්නේ නැහැයි” කියා යෞවනයන් දුක්බර ලෙස නිරන්තරයෙන් සිතන්නට හා අත්දකින්නට පටන් ගන්නවා.
දරුවන්ගේ අනාගතයට මෙය හිතකර දෙයක් නොවන බවයි බොහෝ නිරීක්ෂකයන්ගේ අදහස. රැකියාවන්වල නියුතු දෙමාපියන්ගේ දරුවන් නොමඟ යන්න තවත් හේතුවක් තිබෙනවා. එම දරුවන්ට ඕනෑ තරම් නිදහස තියෙනවා. ඔවුන් කරන දේවල් සොයා බැලීමට කිසි කෙනෙක් නැහැ. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන්නේ නැති විට දරුවන් තමන්ගේ හිතේ හැටියට කටයුතු කරන නිසා ඔවුන් ප්‍රශ්නවලට මැදි වෙනවා.
අනපේක්ෂිත ලෙස චිත්තවේග ඉස්මතුවීම මෙකල තවත් ලක්ෂණයකි. ලැජ්ජාව, බිය, සබකෝලය, ප්‍රීතිය, ශෝකය, ආදරය, කෝපය වැනි චිත්තවේග පළ කරන අතර ඒවා පාලනය කර සමබරතාවකින් පවත්වාගෙන යාම අපහසු කාලයකි.
වැඩිහිටියන් ලෙස මෙම කරුණු පිළිබඳ මනා අවබෝධයක් අපට තිබිය යුතුය. මොවුන්ට යම් අවවාදයක් ලබා දෙන විට ඉතා පරිස්සම් විය යුතු අතර දරුවන්ට බැන වැදී තලා පෙලා අවවාද නොකළ යුතුය.දෙමාපියන් හා දරුවන් අතර වියුක්ත වී ඇති සබඳතාවය යළි ගොඩනගා ගැනීමටත් එතුළින් යහපත් හෙය දවසක් ගොඩනගා ගැනීමටත් එවිට අප සැමට හැකිවනු නොඅනුමානය.

සකුන්තලා රැටියල
