1945 වර්ෂයේ ජූලි මාසය වන විට දෙවන ලෝක යුද්ධය (WWII) එහි අවසානයක් දකිමින් පැවතියා. විශාල සංහාරයකින් පසුව ජර්මනිය පූර්ණ ලෙස තම භාරයට ගැනීමට සෝවියට් හා මිත්‍ර හමුදාවන් සමත්ව තිබූ නමුත් ජපානය යටත්වීම ප්‍රතික්ෂේප කරමින් හුදකලා සටනක නිරත වෙමින් සිටියා. ලෝක යුද්ධය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බව ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර පාර්ශවික රටවල් මෙන්ම සෝවියට් රුසියාවද තදින් විශ්වාස කල මතයක් වුනා. එක්සත් ජනපදයේ යුධ කමිටුව ජපානයට පරමාණු බෝම්බ හෙලීම මගින් ඔවුන් යටත් කර දෙවන ලෝක යුද්ධයේ අවාසන කිරීමට තීරණය කරන්නේ මෙවන් පසුබිමකයි.

USS Indianapolis (CL/CA 35) නෞකාව නිෂ්පාදනය කරන ලද්දේ 1930 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේදී. මෙම නෞකාව 1931 වර්ෂයේ සිට එක්සත් ජනපද නාවික හමුදාව යටතේ යුධ මෙහෙයුම් කටයුතු සදහා සම්බන්ධ වනවා. 1943 හා 1944 වර්ෂ වලදී මෙම නෞකාව එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් රෙයිමන්ඩ් ස්පෘවන්ස් (Raymond Spruance) යටතේ දෙවන ලෝක යුද්ධයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන්ද සම්බන්ධ වී තිබුණා. 1945 වසරේ ජූලි මස 28 වනදා Indianapolis නෞකාව තවත් රහසිගත මෙහෙයුමක් සදහා යොදාගනු ලැබුවා. ඒ ජපානයේ හිරෝෂිමව වෙත හෙලීමට නියමිතව තිබූ “Little Boy” පරමාණු බෝම්බයේ (Nuclear Bomb) කොටස් කිහිපයක් උතුරු මරියානා දූපත් (Northern Mariana Islands) වලට අයත් ටිනියන් (Tinian) නම් දූපතේ පිහිටා තිබූ ඇමරිකානු ගුවන් හමුදා කදවුරක් වෙත රැගෙන යාමටයි. මෙම රහසිගත මෙහෙයුම සදහා නෞකාව මෙහෙයවන ලද්දේ කපිතාන් චාල්ස් බී මැක්වේ (Chrles B Mcvayy III) නම් ඇමරිකානු නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරියා විසින්.
තම රහසිගත මෙහෙයුම සාර්ථකව අවසන් කල මෙම නෞකාව Tinian දූපත් වලින් නික්ම පිලිපීනය වෙත පැමිණීම සදහා පිටත් වූයේ 1945 වසරේ ජූලි මස 29වන දිනයි. මෙම ගමනට පිලිපීනයේ සංවිධානය කර තිබූ ඇමරිකානු නාවික හමුදා පුහුණුවක් සදහා සහභාගී වීමට නියමතව සිටි නාවිකයන් රැසක්ද එක් වුණා. පිලිපීනය වෙත ක්‍රමයෙන් ලංවෙමින් තිබූ නෞකාව පැසිෆික් සාගරය මධ්‍යයේදී කිසිදා නොසිතූ අනපේක්ෂිත ප්‍රහාරයකට ගොදුරු වුනා. ජූලි මස 30වනදා පාන්දර 12.15 වේලාවට පමණ නාවිකයන් බොහෝ දෙනෙක් සුව නින්දේ ගත වුයේ යුද්ධයේ අවසානයෙන් පසු තමන්ට ඉතා ඉක්මනින් නිවෙස් වෙත යාමට හැකිවෙනු ඇතැයි අසීමිත බලාපොරොත්තු සහිතවයි. නමුත් එක් වරම නෞකාව තුලින් විශාල පිපිරීමක් ඇතිවුනා. සිදුවූයේ කුමක්දැයි හැරි හැටි වටහා ගැනීමට ප්‍රථම නෞකාවේ කපිතාන් වරයා ඇතුලු නාවිකයන්ට වැටහුනේ නෞකාව මුහුදුබත් වන බවයි. සැබැවින්ම නෞකාවට ප්‍රහාරයක් එල්ල වී තිබුනා. ප්‍රහාරය එල්ල කර තිබුනේ ජපන් ඉම්පීරියල් නාවික හමුදාවට (Imperial Navy of Japan) අයත් සබ්මැරීනයක් විසින්. මෙම සබ්මැරීනය ජපානයේ නිෂ්පාදිත Class I වර්ගයේ I-58 නමින් හදුන්වන සබ්මැරීනය බව පසුව අනාවරණය වුනා. මෙම ප්‍රහාරය කෙතරම් දරුණුවීද යත් විනාඩි 12ක් තරම් ඉතා කුඩා කාලයක් තුල USS Indianapolis නෞකාව මුහුදුබත් වුණා. කිසිවක් කරකියා ගැනීමට නොහැකි වූ නාවිකයන්ට සිදුවූයේ මහා සාගරයේ ගිලීයන නෞකාවෙන් මුහුදට පැමිණීම පමණයි.
නෞකාව මුහුදුබත් වන අවස්ථාවේ එහි නාවිකයන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 1195ක් සිට ඇති අතර ඉන් 300කට ආසන්න පිරිසක් ප්‍රහාරයෙන් හා නෞකාව මුහුදුබත් වීමේදී ඉන් ඉවත් වීමට නොහැකිව මරණයට පත්වුණා. තවත් නාවිකයන් 896ක පමණ පිරිසක් සාගරයේ පාවෙමින් තිබූ නෞකාවේ සුන්බුන් වල එල්ලී මරණයත් ජීවිතයත් අතර සටනක නිරත වුණා. සාගරය සාමකාමී වූ බැවින් ඔවුන්ට සුන්බුන් අතර තම ජීවිතය ගැටගසා ගැනීමට හැකියාව ලැබුනත් ක්‍රමයෙන් තත්වය භයානක වීමට පටන් ගත්තේ දින හතරල් ගතවන තුරුත් මෙම නෞකාවට සිදුවූ දෙය සොයාගැනීමට ඇමරිකානු හමුදාවට නොහැකි වීමෙනි. ක්‍රමයෙන් නාවික සෙබලුන් මියයාම ඇරඹුනේ නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් ඇති වූ තුවාල උත්සන්න වීමෙන් හා විජලනයට ලක් වීමෙනි. සමහර සෙබලුන්ට ලුණු සහිත සාගර ජලය විෂ වූ බවද වාර්තා වල සදහන් කර තිබෙනවා. ක්‍රමයෙන් තම සගයන් එකා දෙන්නා මරණයට පත්වන විට නාවිකයන් බියෙන් තැති ගන්නට වුණා. ඔවුන්ගේ භීතිය තවත් වැඩිවීම සිදුවුනේ නෞකාව මුහුදුබත් වී දෙවන දිනය වන විට ක්‍රමයෙන් මෝරුන් පාවෙමින් සිටින නාවිකයන් දෙසට ඇදී ඒමට පටන් ගත් විටයි.
මෙලෙස මෝරුන් ක්‍රමයෙන් මේ නාවික කණ්ඩායම වෙත ඇදී ඒම සම්බන්ධ මත දෙකක් පවතිනවා. එකක් නම් මියගිය නාවිකයන්ගේ සිරුරු හා තුවාල ලබා පාවෙමින් සිටි නාවික සෙබලුන්ගේ තුවාල වලින් පිට වූ රුධිරයේ ගන්ධයට මෙලෙස මෝරුන් ඇදී ආ බවයි. තවත් මතයක් නම් කුසගින්නේ සිටි නාවිකයන් මුහුදේ පාවිමෙන් තිබූ නෞකාවේ සුන්බුන් අතර තිබූ සැමන් ටිං කිහිපයක් විවෘත කිරීමෙන් පසු ඒ සුවදට මෝරුන් මෙලෙස ඔවුන් වෙත ඇදී ආ බවයි.
කෙසේ නමුත් දෙවන දිනය වන විට ඔවුන් වෙත ක්‍රමයෙන් පහර දීමට පැමිණි මෝරුන් සිව්වන දිනය වන විට 150ක පමණ රංචුවක් දක්වා වර්ධනය වී තිබුනා. දෙවන දිනයේදී මෝරුන් මියගිය නාවිකයන්ගේ සිරුරු රැගෙන යාම සිදුකල අතර මුහුදු ජලය විෂවීම නිසා දරුණු ලෙස රෝගී වී ජලය මත මියයන නාවිකයන් පණ ගැටගසා ගැනීමට දගලන විට මෝරුන් වැඩි වශයෙන් නාවිකයන් වෙත පැමිණීම සිදුවී තිබුනා. නමුත් මියගිය නාවික සිරුරු අවසන් වූ විට මෝරුන් ජීවත්ව සිටි නාවිකයන්ගේ අත් පා වලට දරුණු ලෙස පහර දීමට පටන් ගත්තා. පැසිෆික් සාගරයේ මෙම කලාපය මෝරුන් බහුල ප්‍රදේෂයක් ලෙස කාලයක සිටම හදුනාගෙන තිබූ බවත් වාර්තා තුල සදහන් වනවා. නමුත් මෙම මෝරුන් ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ අතර මේ නිසා නාවිකයන් යම් ප්‍රමාණයකට තම ජීවිත බේරා ගැනීමට හැකි වුණා.
නාවිකයන් සෙබලුන් එකිනෙකා බලා සිටියදී මෝරුන් විසින් නාවිකයන් මුහුදු පතුලට ඇදගෙන යනු ලැබුවා. එක් අයෙක් බලා සිටියදී අනෙකාගේ අත් පා මෝරුන් විසින් කඩාගෙන යන ඉතාමත් භයංකාර අමිහිරි අත්දැකීමකටයි ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබුණේ. දින දෙකකට ආසන්න කාලයක් තුල කුසගින්නේ මිරිකෙමින්, සීතලේ ගැහෙමින් වගෙම මෝරුන්ගේ දරුණු ප්රහාරයන්ට ලක්වෙමින් සිටි මේ නාවිකයන් ජීවත්වීම පිලිබද සියලු බලාපොරොත්තු අත්හැර සිටියා.
නෞකාව සමග සියළු සබඳතා බිඳ වැටුණු පසු බිමක ඇමරිකානු ගුවන් හමුදාව පැසිෆික් සාගරයේ මෙම නෞකාවේ ගමන් මාර්ගය ඔස්සේ එය සොයා පැමිණියා. වාසනාවකට මෙන් ඇමරිකානු ගුවන් හමුදා නියමුවන් මෙලෙස මුහුදේ පාවෙමින් සිටින නාවික කණ්ඩායම නිරීක්ෂණය කල අතර ඔවුන් වහාම එම පණිවිඩය මූලස්ථානය වෙත යොමු කලා. වහාම ක්‍රියාත්මක වූ ඇමරිකානු ආරක්ෂක අංශ ඔවුන් මුදා ගැනීම සදහා යාත්‍රා කිහිපයක්ම පිටත් කර හැරියා. නමුත් මෙම යාත්‍රා එහි ලගා වන විට ඉතිරිව සිටියේ නාවිකයන් 317 දෙනෙකු පමණයි. නෞකාවේ සිටි සම්පූර්ණ පුද්ගලයන් 1196 දෙනාගෙන් ජීවත් වීමට වාසනාව ලද්දේ මෙම පිරිස පමණයි. නාවිකයන් 300ක් ජපාන සබ්මැරීනය එල්ල කල ප්‍රහාරයෙන් මියගිය අතර නාවිකයන් ඇතුලු USS Indianapolis නෞකාවේ කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ පිරිසෙන් 579 දෙනෙකු මෝරුන් විසින් ආහාරයට ගෙන හෝ දරුණු රෝගී තත්වයන් ඇතිවීමෙන් මියයෑම සිදුවුනා.

ඉතිහාසයේ මෙම සිදුවීම වාර්තා කොට ඇත්තේ ලෝක ඉතිහාසයේ මෝරුන් විසින් සිදුකරන ලද දරුණුම ප්‍රහාරය (Worst Shark Attack in the History) ලෙසයි. නමුත් මෙම අවාසනාවන්ත සිදුවීම ගිනස් වාර්තා අතරට නොගියේ මෙහිදී මෝරුන් විසින් පහර දීමේන් මියගිය නාවිකයන් ප්‍රමාණය නිෂ්චිත වශයෙන් ගණනය කිරීමට නොහැකි වූ නිසයි. 2017 වසරේ අගෝස්තු මස 10 වනදා ලෝකප්‍රකට මයික්‍රෝසොෆ්ට් සමගමේ සම නිර්මාතෘ වරයෙකු වන පෝල් ඇලෙන් (Paul Allen) මහතා විසින් ධනය යොදවා මෙහෙයවන ලද ගවේෂක කණ්ඩායමක් මෙම නෞකාව ගවේෂණය කරනු ලැබුවා. එය පිලිපීන මුහුදේ අඩි 18,000ක් පමණ ගැඹුරු මුහුදු පතුලක තිබී ඔවුන් විසින් සොයාගත් බවයි වාර්තා වන්නේ.
2018 වර්ෂයේ දෙසැම්බර් මස 20වනදා මෙම නෞකාවේ සිටි නාවික කණ්ඩායමේ වීරත්වය ඇගයීමට ලක් කරමින් Congressional Gold Medal සම්මානය ඔවුන් වෙනුවෙන් පිදීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළා. මෙම සිදුවීම මුල්කර ගෙන 2016 වසරේදී USS Indianapolis : Men of Courage නම් සිනමාපටය නිර්මාණය වූ අතර ලෝකප්‍රකට රංගන ශික්පියෙකු වන නිකලස් කේජ් (Nicolas Cage) ඒ සදහා රංගනයෙන් දායක වුණා.
සටහන
මනුජිත් අබේරත්න
