දස වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙනි
දස වන ජාතික අනතුරු නිවාරණ සතිය පසුගිය ජූලි මස 07 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරිණි.
මෙහි සමාරම්භක දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සමස්ථ අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා වාර්ෂිකව වෙන් කරන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරුවලට ලක් වූවන්ට ප්‍රතිකාර කිරීම සදහා වැයකෙරෙන බවයි. අනතුරු රටේ සමස්ත සංවර්ධනයට, ආර්ථික වර්ධනයට සහ ඵලදායීතාවයට ඉතා බලපෑමක් ඇති කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
ලෝකයේ සෑම තත්ත්පර අටකට වරක්ම අනතුරු හේතුවෙන් මරණයක් සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙන්නේ අනතුරු නිසා සෑම පැය තුනකට වරක් ම මෙරට පුද්ගලයින් හතර දෙනෙකුට ජීවිත අහිමි වන බවයි. දියේ ගිලීම, විෂ ශරීර ගතවීම, සතුන් සපා කෑම , රථවාහන අනතුරු හා ගෘහස්ථ අනතුරු ආදී විවිධ අනතුරු අතර පුද්ගලයින්ගේ මරණය සිදු වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රථවාහන අනතුරුයි. එය දළ වශයෙන් 25% ත් 27% ත් පමණ අතර වෙයි.
ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති ( මාර්ග ආරක්ෂාව හා රථවාහන පරිපාලන) ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දෙන දත්තවලට අනුව 2023 වර්ෂයේ මාරක රිය අනතුරු 2320 කින් පුද්ගලයින් 2341 ක් මරණයට පත් වී තිබේ . 2024 වර්ෂයේ මාරක රිය අනතුරු 2403 කින් 2521 ක් මරණයට පත් වී තිබේ. මෙහිදී 2521 ක් මරණයට පත් වෙත්දී එම වර්ෂයේ බරපතල තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 7157 ක්. මෙම 7157න්ද 10% ක් 15% ක් දීර්ඝකාලීනව රෝගාබාධව සිටියි. 2025 ජනවාරි 01 වනදා සිට 2025 ජූලි මස 01 වනදා වන විට සිදුව ඇති මාරක රිය අනතුරු ගණන 1256 ක්. ඉන් 1332 ක් මරණයට පත් වී තිබේ.
දිනකට හත් අට දෙනෙක් මිය යද්දි 80- 100 අතර ප්‍රමාණයක් බරපතල තුවාල ලබන අතර 10 ක් 15 ක් පමණ ජීවිත කාලයම ආබාධිත තත්ත්වයට පත් වෙයි. තමන්ගේ කිසිදු කටයුත්තක් කර ගත නොහැකිව සදාකාලිකව ඇඳ මත කාලය ගත කරන පිරිස් ද මේ අතර වෙයි.
රියදුරන්ගේ නොසැලකිලිමත්කම, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හා අධික විඩාව නිසා නින්ද නොයාම මෙම අනතුරු සිදුවීමට බලපා ඇති ප්‍රධානම හේතුන් ලෙස දැක්විය හැකි බව ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කරයි.
මෙම මුල් මාස 06 ට පුද්ගලික බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත්කම නිසා 60 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර ලංගම බස් රථ මාරක රිය අනතුරු 30 ක් සිදුවී තිබේ.
ලංගම රියදුරන්ට පමණක් නොව ලංගම බස්රථයට ද අතීතයේ විශාල ගෞරවයක් පැවතිණි. නමුත් අද වන විට ඒ තත්ත්වය තවදුරටත් පවතිනවා ද යන්න සැක සහිතය. 2023 වර්ෂයේදී බීමත්ව රිය පැදවූ රියදුරන් එක් ලක්ෂ විසි හතර දහස් හත්සිය හැට එක් දෙනෙක් නීතියේ රැහනට හසුකරගෙන තිබේ. 2025 ජනවාරි 01 වනදා සිට මාස 04 ක කාලයක් එනම් අප්‍රේල් 30 දක්වා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 80000 කට ආසන්නයි. නීිතියේ රැහැනට හසු නොවී ගමන් කරන බීමත් පුද්ගලයින් පිරිසක් ද මේ අතර සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වන්නේ 2020 සිට 2030 වන විට 50% කින් අනතුරු අවම කිරීමයි. උදෑසන ගෙදරින් යන හත් අට දෙනෙකුට ම මෘත ශරිරයෙන් සවස ගෙදරට ඒමට සිදු වන්නේ නම් සැබවින් ම එය කනගාටුදායක වන අතර ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.. නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන) හපුගොඩ මහතා පෙන්වා දෙන්නේ කිසිදු වාහනයකට සම්බන්ධ නැති පාරේ ගමන් කරමින් සිටි පදිකයින් 815 ක් පසුගිය වසරේ(2024) ජීවිතක්ෂයට පත්ව ඇතිබවයි. මේ අතර පසුගිය වසරේ (2024) පාසල් දරුවන් 97 දෙනෙක් අනතුරුවලට භාජනය වී ඇති අතර ඉන් මාරක රිය අනතුරු 08 කින් දරුවෝ පහළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
පදික වේදිකාවේ වෙළදාම් කිරීම හා වාහන නවතා තැබීම වැනි නීති විරෝධී ක්‍රියා තවමත් සුලභව දක්නට ලැබෙන අතර ඒවා මුළුමනින්ම නැවතීම සඳහා පියවර ගත යුතුය. මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය, රථවාහන පොලිස් මූලස්ථානය පාසල් දරුවන් හා ප්‍රජාව දැනුවත් කිරීම් ආදී වැඩමුළු රැසක් දීප ව්‍යාප්තව සිදු කරයි. ශ්‍රී ලංකා පොලීසිය පොලිස් ස්ථාන 608ක පොලිස් කොට්ඨාස 45 ම ආවරණය කරමින් රථවාහන අංශ පිහිටුවමින් නිලධාරීහු 9000 කට අධික ප්‍රමාණයක් දිවා රාත්‍රි රාජකාරීවල නියැලෙමින් රථවාහන අනතුරු අවම කිරිමේ ක්‍රියාවලිය වෙනුවෙන් ඇප කැපවී සේවයේ නියැලෙමින් සිටිති.
එහෙත් අප රටේ අවම ආරක්ෂක මට්ටමේ සිටින යතුරු පැදිකරුවන්වන් නිසි ලෙස තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳවත් නිසි අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. බොහෝ පුද්ගලයින් නිසි ලෙස හිස් ආවරණ (හෙල්මට්) පැළඳීම ද සිදු නොකරන අතර පොලිස් නිලධාරීන්ට හසු වීම හෝ දඩයක් ගෙවීමට ඇති අකැමැත්ත මත පමණක් හිස් ආවරණ භාවිත කරන බව ද පැහැදිලිය. නිතිය මගින් පමණක් මේ ගැටලුවට පිළිතුරු සෙවිය නොහැකිය. හිස් ආවරණ නොපැළඳ ගමන් කර නිවස ආසන්නයේදී ම අනතුරු සිදුවී ජීවිතක්ෂයට පත්වූ පිරිස් ද බොහෝය. මේ නිසා නිසි ප්‍රමිතියෙන් යුත් SLS 517 ප්‍රමිතිය ඇති හෙල්ටම් පළඳින ලෙස ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති ( මාර්ග ආරක්ෂාව හා රථවාහන පරිපාලන) ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කරයි.
මේ අතර ජුලි 01 වනදා සිට සැහැල්ලු වාහන ,ලොරි සහ බස්රථවල සියලුම රියදුරන් සඳහා ආරක්ෂක බඳ පටි අනිවාර්ය කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අධිවේගි මාර්ගවල බස් රථවල ගමන්ගන්නා සියලුම මගීන්ටත් සැප්තැම්බර් මස මුල සිට මෙම ආරක්ෂක බඳ පටි අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බවත් අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල පිටුපස ගමන් ගන්නා අයත් ආරක්ෂක බඳ පටි පැළඳිය යුතු බව අමාත්‍යවරයා පවසයි. මෙමගින් අනතුරු විශාල ප්‍රමාණයක් අවම කර ගත හැකි බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ සඳහා පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම රිය අනතරුවලදී මරණ හා බරපතළ තුවාල සිදු වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ලෝකයේ බොහෝ රටවල රියදුරන් නීතිගරුක වන අතර ඔවුහු තම වගකීමට වගවී කටයුතු කරති.ඔවුහු මෙම සීට් බෙල්ට් නීතිය අකුරට ම පිළිපඳිති. මෙම සීට් බෙල්ට් පැළදීමෙන් රියදුරන්ට තමන්ව පාලනය කර ගත නොහැකි මට්ටමේ අනතුරක් සිදු වූ විට රියදුරන්ට තමාගේ ජීවිත ආරක්ෂාව ලැබෙන අතර ගමන් ගන්නා මගීන්ගේ ද ජීවිත සුරක්ෂිත කෙරේ.
දිනකට අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණය අවම කර ගැනීම රජයේ ප්රමුඛ අරමුණයි. මෙය නීතිය ක්රිියාත්මක වීමෙන් පමණක් අපේක්ෂා කළ හැකි ඉලක්කයක් නොවේ. රියදුරන් පදිකයින් මාර්ග භාවිත කරන සැම දෙනාම වගකීමෙන් කටයුතු කරමින් තම තමන්ගේ ජීවිත ආරක්ෂාව උපරිමයෙන් සලසා ගැනිමට කටයුතු කරන අතර තමාගේ නොසැලකිලිමත්කම නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි නොකිරීමට තරම් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය
ඉරේෂා මධුරකාවිනී
