පුරාණයේ පටන් ඉන්දියාව තුළ පැවතෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුළත් පංචකර්ම චිකිත්සාවට අදවන විට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්.
වර්තමානයේදී මෙරට බොහෝ අය විවිධ රෝගාබාධ සුව කර ගැනීම උදෙසා පංචකර්ම චිකිත්සාවට යොමුවී සිටියත් එහි නිසි ප්‍රතිඵල ලබාගැනීමට බොහෝ දෙනෙකුට හැකිවී නැහැ.
එසේ නම් සිදු කළ යුත්තේ කුමක් ද?
පංචකර්ම චිකිත්සාව මගින් සිදු කරනු ලබන ප්‍රතිකර්මවල නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් ඒ පිළිබඳ නිසි අවබෝධයත් සහ නිවැරදි වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කල යුතු බව අනිවාර්යයෙන් මතක තබා ගන්න.
මෙතැන් පටන් අප සූදානම් වන්නේ පංච කර්ම චිකිත්සාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට ලබාදීමටයි
පළමුව අප පංචකර්ම චිකිත්සාව කුමක්දැයි දැන හඳුනා ගනිමු.
පංච කර්ම චිකිත්සාව හැඳින්වීම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික අරමුණ වන්නේ රෝගී අයගේ රෝගීබව තුරන් කිරීමත් නීරෝගී අයගේ නීරෝගීබව ආරක්ෂා කිරීමත් ය. රෝගී අයගේ රෝග සුවපත් කිරීම සඳහා ශෝධන හා ශමන ප්‍රතිකාර දක්වා ඇත. මෙම ශෝධන ප්‍රතිකාර ක්‍රම පස් වැදෑරුම් වන අතර ඒවා වමන, විරේක, නස්‍ය, අනුවාසන හා නිරූහ වස්ති ලෙස නම් කරන අතර පංච කර්ම චිකිත්සාවන් ලෙස මේවා හඳුන්වයි. තවත් වර්ගීකරණයක් අනුව රක්තමෝක්ෂණය ද පංචකර්මයක් සේ සළකයි. ශෝධන ප්‍රතිකාර වලින් පසුව සුව වූ රෝගයන් නැවත ඇති නොවන බව වෛද්‍ය පොත පතෙහි සඳහන් වේ.
මෙම පංචකර්මයන් කිරීමට ප්‍රථමව රෝගියා ඒ සඳහා සූදානම් කළ යුතු අතර ඒවා පූර්ව කර්ම ලෙස දක්වා ඇත. ඒ අනුව ශෝධන කර්ම කිරීමට ප්‍රථම අදාළ රෝගියාගේ ශරීර තත්වය අනුව ස්නේහ හා ස්වේද කර්ම කළ යුතු වේ.
එසේම යම් පංචකර්මයක් සිදු කළ පසු අදාළ පුද්ගලයා පිළිබඳව පසු විපරමක් මෙන්ම අදාළ ශුද්ධිය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා වන පශ්චාත් කර්මයන් ද ඇත.
සෙම සම්බන්ධ රෝග සඳහා නස්‍ය හා වමන කර්මයත්, පිත් රෝග සඳහා විරේක කර්මයත්, වාත රෝග සඳහා වස්ති කර්මයත් නිර්දේශ කර ඇත. දූෂිත රක්තය බැහැර කරන ක්‍රමවේදයක් ලෙස රක්තමෝක්ෂණය නිර්දේශ කර ඇත.
මෙම පංච කර්මයන් නිසි පරිදි වෛද්‍ය නිරීක්ෂණය හා උපදෙස් යටතේ සිදු කළ යුතු අතර ඒ ඒ පුද්ගලයාගේ විකෘති දෝෂ, පුද්ගල ප්‍රකෘතිය, ශරීර ශක්තිය, වයස හා ඒ ඒ පංච කර්මයන් යටතේ දක්වා ඇති අයෝග්‍ය තත්වයන් හඳුනා ගනිමින් සිදු කිරීම තුළින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
උපදෙස්
වෛද්‍ය නර්මදා ජයසූරිය
