වමන කර්මය
වමන කර්මය යනු ඉහළ නාලිකා එනම් මුඛය හරහා දෝෂ ඉවත් කරන ක්‍රියා පටිපාටියකි . විශේෂයෙන්ම මෙහිදී පූර්ව කර්ම හරහා ශරීරය පුරා පවතින කඵ හා පිත්ත දෝෂ ආමාශගත කර වමනය ඇති කිරීම මගින් ඉවත් කරයි.

බොහෝ ආයුර්වේද ඖෂධ ලබා දෙන්නේ මුඛ මාර්ගයෙන් නිසා ඒවායේ දිරවීම සිදුවන්නේ ආමාශයේ ය. ආහාර දිරවීම ආරම්භ වන්නේ ද අමාශයෙනි. ආමාශය කඵ ප්‍රමුඛ ස්ථානයක් වන අතර එය දැනටමත් කඵ දෝෂය බහුලව පවතී නම් ආහාර හෝ ඖෂධ ජීර්ණය නිසි ලෙස සිදු නොවේ. වමන කර්මය මඟින් ආමාශය පිරිසිදු කර ආහාර හා ඖෂධ ජීර්ණය නිසි පරිදි ක්‍රමවත් කරයි.
වමන කර්මය සඳහා සුදුසු හා නුසුදුසු තැනැත්තන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දක්වා ඇති අතර ඒ නිසාවෙන්ම සියලු තැනැත්තන්ට මෙය සිදු කළ නොහැකිය.
මෙය ශ්වසනාබාධ වන හතිය, ශ්වසන නාල ප්‍රදාහ තත්ව, පීනස, සයිනස ප්‍රදාහ, COPD වැනි රෝග සඳහා මෙන්ම ශ්ලේෂ්මල සහිත කැස්ස, මිග්‍රේන්, අජීර්ණ, ආමාශයේ අධික ආම්ලිකතාව, අරුචිය, අධික තරබාරුව, ලිපිඩ අසමතුලිතතා, දියවැඩියාව සඳහා ද සුදුසු වේ. එසේම කුරුලෑ බහුල වීම, පොතු කබර, සමේ ආසාදන, සුදු කබර වැනි චර්ම රෝග සඳහා ද, හිස කෙස් ඉක්මනින් ඉදීම සහ නිතර හිස කෙස් ගැලවී යාම, සන්ධි වල ඉදිමුම් ඇතිවෙන මුල් අවධියේ ද, කාංසාව, නිතර දැනෙන නිදිමත බව, අධික නිද්‍රාව, අපස්මාරය හා සමහර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගාබාධ වල දී යෙදිය හැකියි.

වමන කර්මය ආයුර්වේද වෛද්‍යවරයකු විසින් රෝගියාගේ ප්‍රකෘතිය, දෝෂ, කාල, ශරීර බල, අග්නිය, සුදුසු නුසුදුසුතා නිසි පරිදි විනිශ්චය කර නිර්දේශ කළ යුතු ක්‍රියාවලියක් වන අතර තමන්ට එවැනි රෝග තත්වයක් පවතී නම් රජයේ ආයුර්වේද රෝහලකට හෝ පිළිගත් සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ එම ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතු ය.
පසුගිය කොටස –
උපදෙස්
වෛද්‍ය නර්මදා ජයසූරිය
