ජීවිතය බරයි… වියදම සැරයි..මේ අපි හැමදාම කියන… ඒ වගේම හිතටත් බරක් දැනෙන ගැටළුවක්. ඔය අතරේ මේ විදිහටත් කියන කියමනක් තියෙනවා.
අඳුරට සාප නොකර පහනක් දල්වන්න… නමුත් අපේ බොහෝ දෙනෙක් පහනක් දල්වනවා වෙනුවට අඳුරට සාප කරමින් මානසිකවත් ආතතියට පත් වෙනවා. ආර්ථික දුෂ්කරතාවයන් අප කාටත් පොදුයි.නමුත් රාජාංගනයේ වම් ඉවුර පදිංචි අරුනි කල්හාරි ඒ විදිහට අඳුරට නොබැන ඇගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් දියණියක්..
මම තමුත්තේගමමහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව මම පෞද්ගලික ආයතනයක රැකියාවකට සම්බන්ධ වුණා. නමුත් රටේ ජීවන වියදම අනුව අපට ලැබෙන වැටුප් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අමතර ආදායමක් උපයන්න ඕන කියන අදහස මටත් ඇති වුණා. මුදලම නොවෙයි, මම විනෝදාංශයක් විදිහටත් මේ වගේ කලාත්මක නිර්මාණ ගැන කවදත් උනන්දුයි.

ඒ වෙනුවෙන් මැක්‍රම් කලාව තෝරා ගත්තේ..
මම අමතර ආදායමක් ගැන තොරතුරු හොයන විට මගේ අක්කයි නංගියි මේ අදහස මට කිව්වා. මටත් ඒ ගැන කැමැත්තක් ඇති වුණා. මේ වෙන විට ඔබ මැක්‍රම් කලාව ගැන දැන ගෙන හිටියද…?
නැහැ. නමුත් මම “යූ ටියුබ් “ඔස්සේ මේ මැක්‍රම් කලාව ගැන තොරතුරු හෙව්වා. ඒවා බලද්දී මටත් මේ ගෙතුම් කලාව කරන්න පුළුවන් නේද කියන හැගීම හිතට ආවා. මුලින් මම මැක්‍රම් එක දෙකක් හැදුවා. ඒවා දකින හැමෝම ඒවා අගයමින් කථා කළා. මේ ඇගයීමත් මට ලොකු ශක්තියක් වුණා. මටත් යමක් කරන්න පුළුවන් නේද කියන විශ්වාසය හිතේ ඇති වුණා.
එතැනින් පසුව..
මම ෆේස් බුක් පේජ් එකක් පටන් ගත්තා. මගේ නිර්මාණ මේ පිටුවේ ප්‍රදර්ශනය වුනාම බොහෝ දෙනෙක් මගෙන් මැක්‍රම් ඇනවුම් කරන්න පටන් ගත්තා. ඇත්තටම මැක්‍රම් වෙනුවෙන් හොඳ වෙළඳපොළක් තියෙනවා නේද කියල මට හිතුනා. මේ නිර්මාණ අතරින් “ බකමූණා ” නිර්මාණයට ලොකු ඉල්ලුමක් තියෙනවා.

ඔබට ලැබෙන ඇනවුම් දේශිය පරිශීලකයන්ගෙන් විතරද?
නැහැ.. ඩුබායි , කටාර්, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලිනුත් මට ඇනවුම් ලැබෙනවා. මම නිතරම මගේ කලාත්මක නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මම ප්‍රමිතියෙන් යුතු විදිහට තෝරා ගන්නවා. ඒවා කොළඹ ප්‍රදේශයෙන් මිළට ගන්නවා.
මේවායේ කල් පැවැත්ම
මැක්‍රම් එකකින් ලොකු අලංකාරයක් ලැබෙනවා. ඒ වගේම පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන්. ගොරෝසු නූල් විශේෂයක් නිසා කල්පැවැත්ම අතිනුත් ඉහළයි. ඒ විතරක් නොවෙයි, කවදා හරි දවසක මේ මැක්‍රමයක් පාවිච්චියෙන් ඉවත් කරනවා නම් ඒවා පහසුවෙන් දිරාපත් වෙන නිසා පාරිසරික වශයෙනුත් කිසිම ගැටළුවක් නැහැ. ඔබටත් මැක්‍රම් නිර්මාණ අවශ්‍ය නම් 0759607301 දුරකථන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් තබන්න.

ඔබගේ නිර්මාණ මැක්‍රම් වෙනුවෙන් සීමා වෙලාද?
නැහැ…මම දැන් මල් හදනවා. මේවායින් හෙයා බෑන්ඩ්, හෙයා බෝල් වැනි විවිධ නිර්මාණ කරන්න පුළුවනි. වූල් වලින් හදන නිර්මාණත් කරනවා. ඒ වෙනුවෙනුත් ලොකු ඉල්ලුමක් තියෙනවා. දැනට මම රැකියාවෙන් ලබන ආදායමට අමතරව මේ කලා නිර්මාණවලින් ලැබෙන ආදායමත් මගේ අනාගතය වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තිබෙනවා.
ඒ වගේම මේ නිර්මාණයක් අවසානයේ මගේ හිතට ලොකු ෂතුටක් දැනෙනවා. එය මුදලින් තක්සේරු කරන්න බැහැ. අපි කවදාවත් නැහැ… බැහැ කියමින් ලතැවෙන්න නරකයි. යමක් කරන්න පුළුවන් කියන ශක්තියෙන් කටයුතු කරන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. දෙයක් කැමැත්තෙන් කරන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න.ජීවිතය දිනාගන්න එය ලොකු ආශිර්වාදයක් වේවි.
සටහන –
සිල්වා සි
