Art of Lacing: Ancient craft disappearing at Galle, Sri Lanka

ශ්‍රී ලංකාව තුළ පාරම්පරිකව පැවත එන විවිධ වූ කර්මාන්ත එක් එක් ප්‍රදේශවල ට ආවේණිකව ව්‍යාප්තව තිබී ඇත.ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවත ආ කර්මාන්තය වන්නේ බීරලු ලේස් නිපදවීමේ කර්මාන්තය යි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ප්‍රධාන වෙළඳ මාර්ග ඔස්සේය. දකුණු පළාත තුළ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ ගාල්ල සහ මාතර යන නගර ප්‍රසිද්ධ වෙළඳ නගර විය. එයට ප්‍රධානම හේතුව ලෙස එම ප්‍රදේශයේ තිබූ ස්වාභාවික වරාය හරහා විදේශයන්ට බොහෝ දේ හුවමාරු විය. ගාල්ල වෙරළ තීරයේ ඉතාමත්ම වැදගත් වූ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ට ගාල්ල වරාය පත්වීය. කොළඹ වරාය තුළ විශාල නැව් නැංගුරම් දැමීම සහ ඇතිවූ තදබදයෙන් ඉඩ පහසුකම් ලබා ගැනීම සඳහා ගාල්ලට පැමිණීමට විදේශිකයන් කැමැත්තක් දක්වා ඇත.ගාලු වරාය හරහා ඇත් දළ නිර්මාණ, මැණික් සහ ස්වර්ණාභරණ, කැස්බෑ ලෙලි, කරුවල ලී කැටයම්, සහ බීරළු රේන්ද විදේශයන්ට අලෙවි වී ඇත. ගෘහාශ්‍රිතව පැවති බීරලු කර්මාන්තය 19 වන සහ 20 වන සියවස්වලදී අන්තර්ජාතික වෙළෙඳපොළවල් වලට විකිණී ඇත.
බීරළු රේන්ද කලාව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි විදේශීය ආක්‍රමණයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ ගෘහාශ්‍රිත (cottage industry) කර්මාන්තයකි. පෘතුගීසී ආක්‍රමණික යුගය තුළ ගාලු වරාය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් කරගනිමින් පෘතුගීසීන් මෙරට පදිංචි වූ පසු පෘතිගීසි රදළ කාන්තාවන් බීරළු රේන්ද කර්මාන්තය තම නිවෙස්වල කරගෙන ගොස් ඇත. මේ බව මහාචාර්ය කේ ඩී පරණවිතාන මහතාගේ( 2005) Galle Fort: The Heritage City, ( 2001) Land for Money: Dutch Land Registration In Sri Lanka, (1997)Journal of Spilbergen: The Dutch Envoy to Ceylonයන ග්‍රන්ථ පරිහරණයෙන් තොරතුරු දැනගත හැක. ලන්දේසි ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාව තුළ සිදුවූ සංස්කෘතික වෙනස්කම් ඔහු විසින් රචිත පොත් පරිශීලනයෙන් ලබාගත හැක. කාන්තාවන් ඇඳ ඇති ඇඳුම් ලෙස කබා කුරුත්ත, පට කම්බා හැට්ට ලෙසට විවිදාකාර ඇදුම් වර්ග වලට බීරළු ලේස් යොදා ලස්සන කර ඇත.

ලන්දේසි පාලන කාලයේදී ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීමේ තත්වය තුළ බීීරළු රේන්ද ව්‍යාපාරය ගෘහාශ්‍රිත නිෂ්පාදනයේ සිට දේශීය සහ විදේශීය වෙළෙඳපොළවල් වලට ඇතුළු වී ඉතාමත් සුවිශේෂ සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇත. ඉංග්‍රීසි ආක්‍රමණ කාලය වන විට ශ්‍රී ලංකා සමාජය තුළ රේන්ද ගෙතීමේ අති දක්ෂයන් බොහෝ දෙනෙකු සිට ඇතැයි බව සැලකේ. ඉංග්‍රීසීන් බීරළු රේන්ද කලාවට අලුත් අංග එක් කරමින් නව පණක් ලබා දී ඇත. ඉංග්‍රීසි අක්ෂර සහ ඉංග්‍රීසි පාඨයන් බීරලු කලාවට එකතු කිරීම නව ප්‍රවණතාවයක් විය. විදේශිකයන් බීරළු රේන්ද යොදා තම නිවෙස් සහ රදළ මන්දිර සරසා (interior) ගෙන ඇත. විදේශිකයන් සුදු පාට වර්ණ ගැන්වූ රේන්ද මිලදී ගැනීම සම්ප්‍රදායක් ව තිබී ඇත.
පෘතුගීසි ආක්‍රමණයත් සමඟම බීරළු රේන්ද නිර්මාණකරණය දේශීය කාන්තාවන් ග්‍රහණය කරගෙන ඇති අතර මේ තුළින් ගැමි සමාජයේ විරැකියාවෙන් පෙළුණු කාන්තාවන්ට රැකියාවන් සඳහා පිවිසීමට මහඟු අවස්ථාවක් අත්පත් විය. බීරළු ලේස් නිර්මාණය තුළින් තමන්ගේ ස්වයං රැකියා නිර්මාණ තුලින් ආර්ථිකය ගොඩනගා ගැනීමට පිටිවහලක් ලැබිණි.පාරම්පරික බීරළු රේන්ද කලාව ශ්‍රී ලංකාවට ආවේණික වූයේ පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් දකුණු පළාත මුල්කරගෙනය. රුහුණු ප්‍රදේශය ළෙස සැළකෙන ගාලු පුරවරයෙන් පටන්ගත් බීරලු කර්මාන්තය මාගල්ල, වෙලිගම, කතලුව, දොඩන්දූව, අම්බලන්ගොඩ යන ප්‍රදේශ ප්‍රධාන කොට පාරම්පරික බීරළු රේන්ද කලාව ව්‍යාප්ත වී ඇත.
විදේශීය ආක්‍රමණයන්ට පෙර වකවාණුව සොයා බැලූවිට විජය රජු මෙරටට පැමිිිණි අවස්තාවේදී කුවේණිය කපු කටිමින් සිට ඇති බවට පුරා වුර්ත වලින් කියැවේ. කපු කර්මාන්තය හා ගෙතුණු තවත් කතාවක් ලෙස රිදී යාගය හෙවත් රට යැකුම ශාන්ති කර්මය හැදින්විය හැකිය. මෙම ශාන්තිකර්මයේදී කපු වගා කිරීමෙන් ලැබෙන ඵළදාව පූජා කිරීම ගැන සදහන් වේ.
බීරලු යනු Bilros යන පෘතුගීසි භාෂාවෙන් සිංහල භාෂා භාෂාවට ඈඳාගත් ( loaned word ) වචනයකි. බීරළු යනු බොබින් ලේස් වර්ගයකි. බීරලු සෑදීම සදහා දිගින් අඩි 3 – 3 1/2ක් අතර දිගකින් තිබිය යුතු අතර පේර, ඇට්ටේරියා සහ මල් කෑර වැනි ලී වලින් සාදන අතර අඩු බරකින් යුතු වීම, නිවැරදි ප්‍රමාණයෙන් යුතු වීම, නූල් ඔතන කොටසේ යෝග්‍යකම බීරළුවකට තිබිය යුතු වැදගත්ම කරුණු වේ.
ජාතික ශිල්ප සභාවේ ගුරු ශිල්පිනියක්ව සේවය කරන, කොළඹ විශ්වවිද්‍යාල සමග අනුබද්ධ වී Interior designing පාඨමාලාවන් උගන්වන බීරලු අත්කම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරන ප්‍රවීණ බීරළු රේන්ද සහ අත්කම් නිර්මාණ ශිල්පිනි එම්. බී. ප්‍රියානි මහත්මිය බීරලු කර්මාන්තය ගැන දැක් වූ අදහස් පහතින් දැක්වේ.
“බීරළු කර්මාන්තය කියන්නේ විදේශ විනිමය ඉපයිය හැකි ගෘහස්ත කර්මාන්තයක්. අතීතයේ බීරළු කර්මාන්තයෙන් හොද ආදායම් උත්පාදනය වෙලා තියෙනවා. බීරළු කියන්නේ භාවනාවක්.බීරලුවක් ගොතන කොට භාවනාවකට සම වැදිලා වගේ හිත් සන්සුන් වෙනවා .ගෘහස්ථ කර්මාන්තයක් නිසා තමන්ගේ ගෙදර ඉඳලම ළමයි බලාගෙන, ගෙදර වැඩක් කරගෙන මේ කර්මාන්තයේ නියැලෙන්න පුළුවන්. ගෘහණියන්ට හොඳ ආදායම් මාර්ගයක්. විරැකියාවෙන් පෙළෙන කාන්තාවන්ට හොඳ විසඳුමක්.ඉස්සර කාලේ ගාල්ල ප්‍රදේශයේ හැම ගෙදරකම බීරළු රේන්ද ගොතන කොට්ටයක් තිබ්බා.බීරළු කර්මාන්තය රජයට අනුබද්ධව ඇති ආයතන සමග අපි සම්බන්ධ වෙලා සිටිනවා. අපනයනය සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ලක්සල, ලංකා වාණිජ මණ්ඩලය වැනි ආයතන සමග අපි සම්බන්ධයි.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයටද අපට මුහුණ දීමට සිදු විය. සුනාමියට පෙර අප සම්බන්ධ වී සිටී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල සහායෙන් බීරළු රේන්ද ව්‍යාපාරය ඇරැඹීමට අපට පුළුවන් විය. බීරළු රේන්ද කර්මාන්තය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන ගැටලුව ලෙස නිෂ්පාදන අමුද්‍රව්‍යයවල ඌනතාවය බව කිව හැකිය. අපගේ ප්‍රධානතම අමුද්‍රව්‍ය වන කපු නූල් සඳහා අපට දැරීමට සිදු වන වියදම රජය මැදිහත්වී අපට ලබාදෙනවා නම් ඒක අපට සහනයක් වනවා.බීරළු රේන්ද ගොතන කාන්තාවන් බොහොමයක් අප අතර සිටියත් බීරළු රේන්ද කලාව පසුබෑම්කට ලක්ව තිබේ. ඔවුන්ගේ රේන්ද අලෙවි කර ගැනීමට ප්‍රධාන වෙළඳ පොළක් තවම අප අත්පත් කරගෙන නැත. තනි තනිව වෙළඳපොළට ඉදිරිපත් කිරීම්ට තරම් ඒක පුද්ගල නිෂ්පාදන ප්‍රමාණවත් නොවේ. නිෂ්පාදන විෂමතා ද ඇත. බීරලු කර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ට වෘත්තීය සුදුසුකම් නොමැති නිසා ඒ අය නිකරුණේ කාලය ගත කරන තත්ත්වයට ද පත් වී ඇත.ග්‍රාමීය කාන්තාවන් ගෙතීමට දන්නා නමුත් බීරලු කර්මාන්තයේ යෙදීමට හෝ මැසීමට හෝ රැකියාවක් කිරීමට දුර බැහැර යෑමට අකමැති කාන්තාවන්ද අප අතර සිටිති .නිර්මාණ අනුකරණයද අභියෝගයක් ද වී ඇත.

බීරළු කර්මාන්තයේ නියැලීම නිසා මම අත්පත් කරගෙන ඇති සම්මාන ලෙස 2002 කාන්තා වානිජ්‍ය මණ්ඩලය විසින් පිරි නැමූ රන් සම්මානය, ලංකා කර්මාන්ත මණ්ඩලය ( CNCI ) විසින් පිරි නැමූ රන් සම්මානයද, 2006 වර්ෂයේ කාන්තා වාණිජ මණ්ඩලය පිරිනැමූ රන් සම්මානය ද, 2005 වර්ෂයේ සුනාමියෙන් ජයගත් දක්ෂතම ව්‍යවසායක ලෙස ජාතික රන් සම්මානය ද, 2006 වර්ෂයේ HSBC බැංකුව මගින් පවත්වන ලද “පරම්පරා” ප්‍රදර්ශන අවස්ථාව තුළින් බීරළු කර්මාන්තයේ යෙදීමට කැමති ලියන්ව පුහුණු කිරීමටත් ඔවුන්ගේ නිපැයුම් ප්‍රදර්ශනය සහ විකිනීමේ අවස්ථාව දක්වා රැගෙන ඒමටත් හැකියාව ලැබුණා. 2007 වර්ෂයේ කාන්තා දිනය වෙනුවෙන් දිරිය කාන්තා ජාතික සම්මානය මට ලැබුණා.මේ ලැබූ පන්නරය තුලින් වෙනත් දිස්ත්‍රික්කවල සමාජ සංවර්ධනය හා ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා මම මාතර, ගන්දර, වැලිගම යන ප්‍රදේශවලට ගොස් කාන්තාවන් සඳහා නොමිලේ බීරළු රේන්ද පන්ති පවත්වා ඇත. ඊට අමතරව ව්‍යාපාර ප්‍රවර්ධන සහ අලෙවි කටයුතු සඳහා වාර්ෂිකව කොළඹ අගනුවර හා වෙනත් දිස්ත්‍රික්ක වන මීගමුව,මාතර, සහ නුවර ආදී දිස්ත්‍රික්කවලත් වෙළඳ සල්පිල් වලට සහභාගි වී අපගේ බීරලු නිෂ්පාදන වෙළඳපොළ දක්වා ගෙනයාමට උත්සාහයක් දරා ඇත. මේ සෑම වැඩකදීම මට අතහිත දුන් අය බොහෝමයක් ඇත. නම් වශයෙන් කීමට ඇති ලැයිස්තුව දිගය. බීරළු කර්මාන්තය නගා සිටුවීමටත්, ඒ සදහා උනන්දුවක් ඇති කිරීමටත් යම්කිසි පුනරුදයක් අවශ්‍යව ඇත. බීරළු කර්මාන්තය නගා සිටුවීමටත්, ඒ සදහා උනන්දුවක් ඇති කිරීමටත් යම්කිසි පුනරුදයක් අවශ්‍යව ඇත”. (Beeralu designer Ms M.B Priyani, Magalle) බීරළු ලේස් කර්මාන්තය designer labels වලින් විදේශීය සහ දේශීය වෙළදපොළවල විශාල ඉල්ලුමක් ලැබී ඇත. අනාගතයේ මෙම කර්මාන්තය බැබලීමේ හැකියාවක් සහ බලාපොරොත්තුවක් තබා ගත හැක. අවශ්‍යව ඇත්තේ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය කැපවීම සහ උනන්දුව වේ. බීරළු ලේස් සාධාරණ මිලකට විකිණීම සහ අලෙවි කර ගැනීමට වෙළෙඳපොළ සැකසී තිබිය යුතුය. ගෘහස්ථව බීරලු රැකියාවක් කිරීමට කැමති අයට රේන්ද ගෙතීමට ඉගෙනීමට අවස්ථාවක් සලසා දිය යුතුය. නිර්මාණ අනුකරණය නිසා රේන්ද කලාවේ පාරම්පරික නිර්මාණ වලට සිදුවී ඇති අභියෝග වලක්වාලීමට වෙළෙඳපොළවල් ගවේෂණය කිරීමට නිලධාරීන් පත් කළ යුතුය. කපු නූල්, කොට්ට, ඇල්පෙනිති, බීරලු ආදිය අවශ්‍ය අයට පහසු මිලකට ලබාගත හැකි වෙන ආකාරයට ඔවුන්ට අත්පත් කර දිය යුතුයි. බීරළු රේන්ද කර්මාන්තය ඇරඹීමට කැමති අය ඒ සඳහා පැමිණ උපදෙස් හා මඟ පෙන්වීම් ලබා ගැනීමට යම්කිසි ක්‍රමවේදයක් ජාතික මට්ටමෙන් තිබෙන අතර ජාතික ශිල්ප සභාව හරහා ඉඩ ප්‍රස්ථා තිබුණත් තරුණ පරම්පරාව මේ සදහා උනන්දුවක් නැත. මේ නිසා බීරළු රේන්ද කලාව කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින අතර බීරළු කර්මාන්තය ගොඩ ගැනීමට කාලය උදාවී ඇත.

සටහන

Surani Fernando
