මේ දිනවල භූ කම්පන පිළිබදව බහුල වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අවදානය යොමුවී ඇත්තේ ලොව වටා පමණක් නොව දිවයිනේ ද විවිධ පළාත් වලින් භූ කම්පන පිළීබදව නිරන්තරයෙන් වාර්තාවීම නිසාවෙනි. ඇතැමුන්ට ඒ ගැන කිසිඳු හැඟීමක් නොමැත. ඇතැමුන් එවැන්නක් සිදු වුවහොත් කල යුත්තේ කුමක්දැයි විමසිලිමත්ව සිටී. එය සුභදායක ප්‍රතිචාරයක් වුවද අපි අත්නොවිදි ඒ අත්දැකීම තවත් සුනාමියක් කර නොගැනීමට අප ද ඇතැම් පියවර ගත යුතුව ඇත.

ආපදාවක් සිදු වූ පසු කෑම පාර්සල් සෙවිළි තහඩු ආදිය ඇතැම්විට ඒවායේ නම් මුද්‍රණයකර බෙදා දෙමින් සිටි අප, 2004 දෙසැම්බර් 26 දින සුනාමියෙන් අනතුරුව මෙරටට එතෙක් මෙතෙක් සිදූවූ විශාලතම භෞතික හා ජීවිත හානි සිදුවීමෙන් අනතුරුව ආපදා අවම කිරීම හා ආපදාවට පෙර සූදානම ගැන අළුතින් සිතීමේ ලෝකයේ නව ප්රවනතාව කෙරේ කඩිනමින් අවදානය යොමුකරන ලදී. ඒ අනුව යමින් 2005 මැයි මස 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත එදින පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් සම්මත වීය.
එතැන් පටන් ආපදා සම්බන්ධයෙන් අප වෙනදාට වඩා කරුණු අධ්‍යයනය කල අතර ආපදා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සදහා සතියේ දින 7ම, පැය 24 අවදානයෙන් සිටීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා අමාත්‍යාංශයක් පවා පිහිටුවන ලදී.
ආපදා සදහා පෙර සූදානම, ආපදා අවදානම අවම කිරීම හා ඉවත්වීම වැනි කරුණූ කෙරේ අන්තර් ජාලයෙන් හෝ අධ්‍යයනය කල අතර ගංවතුර, සුනාමි, නායෑම් වැනි ස්වාභාවික උපද්‍රවයකදී ඉවත්වන ආකාරය දෙනෙතින් දැකගතිමු. ආපදා පිළිබදව පාසල් විෂය නිර්දේශයට පවා කරුණු අන්තර්ගත කරන ලදී.
භූ කම්පනයකදී පූර්ව දැනුවත් කිරීම ආදී කිසිදු පියවරක් ගැනීමට නොහැකිවීමම ඛේදණිය කරුණක්ව ඇත. අපේ රටේ ඇති අබලන් ගොඩනැගිලි සමඟ භූ කම්පනයක් ඇති වුවහොත් එය තුර්කියට කල හානියට වඩා හානියක් සිදුකරනු ඇති. ඔබට ඇති අත්දැකීම මත ඔබේ පාසලේ, ආගමික සිද්ධස්ථානයේ, චිත්‍රපටි ශාලාවේ, ගබඩාවේ, මාර්කට් එකේ, බන්ධනාගාර වල ආදී වශයෙන් ඇති දිගුකලක් ඉක්මවූ ගොඩනැගිලි හා පාලම් වල සහ වේලි සහ බැමි වල තත්වය කෙතරම් භයානකදැයි ඔබම උපකල්පනය කරගන්න.
අපේ රටේ දැනට තිබෙන ඉදිකිරීම් වලින් 90% කට පමණ භූ කම්පනයන්ට ඔරොත්තු දෙන යකඩ හෝ තාක්ෂණය යොදා නොගෙන තැනූ බව ඔබට නොරහසක්. අපේ දරිද්‍රතාව හා අදාල නීති අනිවාර්ය නොකිරීම හේතුවෙන් අදටත් ඉදිවෙන බොහොමයක් ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම් වලට භූ කම්පනය සදහා ඔරොත්තු දෙන යකඩ හෝ රසායන නොයොදන බව පෙනේ.
ඒ සදහා දැනුවත් කිරීමක් හෝ පෙලඹවීමක් අදට ද පළාත් පාලන ආයතන මගින් සිදු නොකෙරේ. අපේ රටේ ඉපැරණී ගොඩනැගිලි පමණක් නොව ඉදිකරගෙන යන ගොඩනැගිලි පවා කඩා වැටෙන තත්වයක් ඇත. (පසුගිය වසරක වැල්ලවත්තේදී ඉදිකරන ගොඩනැගිල්ලක් කඩා වැටීම ඊට හොදම උදාහරණයක්) අනික් අතට අපි වසර 10 කට වතාවක්වත් ගොඩනැගිලිවල ශක්තිමත් බව පිරික්සීමට නොතනන ජාතියකි. එය අපට නුහුරු දෙයකි. අදටත් පෞද්ගලික නිවාස ඇතුළු මහල් ගොඩනැගිලි ඉදිකිරීමේදී වරලත් ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය නිවාස සැලසුමට ලබාගත යුතු වුවද, නිවස ඉදිකිරීමේදී ඒ ගැන පසු විපරමක් කරන අවස්ථා ඉතා විරලය.
නිවාස සැලසුම අනුමැතිය සදහා එම අත්සන ඉංජිනේරුවරයාගෙන් ලබාගත්තත් යකඩ යොදන ආකාරය හා සැලසුමේ සදහන් ඝණකමකින් යුත් යකඩ යෙදීම ගැන ඉංජිනේරුවරයාගේ උපදෙස් හා අධික්ෂණය නොගෙන ඉදිකිරීම් සිදුකිරීම නිවාස හිමියාගේ වත්කම මතම රඳා පවතී. විශේෂයෙන්ම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් සිදුකරන අවස්ථා වලදී යොදන සිමෙන්ති මිශ්‍රණය පිලිබදව ද කිසියම් සැකයක් මට මෙන්ම ඔබටද පැවතිය හැක. දරිද්‍රතාව හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් ජනතාවට තම නිවස ඉදි කිරීමේදී පවා ශක්තිමත් භාවය පිළීබදව එතරම් අවබෝධයක් නොමැතිකම නිසා භූ කම්පනයකදී විය හැකි හානිය විශාල විය හැක.
2011.02.10 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන 2011/01 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කර ඇති දිස්ත්‍රික් පිහිටි භූමිවල ගොඩනැගිලි ඉදිකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය ලබා ගැනීම පවා අප අතපසුකරන අතර නිවාස වලට සිදුකරන ඇතැම් එකතු කිරීම් හිතුමතයට සිදුකරගන්නා තරමට අප කටයුතු යොදන්නේ අනාගතයේදී ජීවිත කාලයම ඉන්න තැනූ තම නිවහනේ අනාරක්ෂීතබව තහවරු කරමිනි.
නායයන ප්‍රදේශ යනු බොහෝවිට කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඇති අස්ථාවර කලාප වන අතර ඒවායේ ඉදිකෙරෙන හා ඉදි කෙරුන නිවාස භූ කම්පනයකදී ඊට පාත්‍ර වන ආකාරය අනුව ඉදිරියේදී රජය එම ඉදිකිරීම් පිළිබදව ඇතැම් නව තිරණ වලට එලඹෙනු ඇත. (නාය ප්‍රදේශ වල නිවාස ඉදිකිරීමේදී ගත යුතු ඇතැම් නීතිද අපේ රටේ බලාත්මක වුනේ ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් විනාශ වූ පසුවය)

නාය ගැන නම් පුර්ව දැනුම්දීමක් සිදුකලද, භූ කම්පන සිදුවූ පසු ප්රවෘත්ති මාර්ගයෙන් හෝ කෙටි පණීවුඩයක් මගින් අප දැනුවත් වේ. ඒ දැනුවත් කිරීම සිදුවන්නේ රිච්ටර් මාපකයේ මෙතරම් ප්‍රමාණයක මැග්නිටියුඩ් (magnitude)අගයක් ගන්නා භු කම්පනයක් සිදුවූ ලෙසයි. රිච්ටර් මාපකයේ උපරිම අගය 10 වන අතර අපට 2004 සුනාමි උවදුර සිදුවූයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල සිදුවූ මැග්නිටියුඩ් 9.1- 9.3 අතර ප්‍රමාණයකින් සිදුවූ පමණ වූ භූ කම්පනයක ප්‍රතිපලයක් ලෙසිනි. ඉන්දුනීසියාව හා ලංකාව අතර ගුවන් යානයකින් පැමිණීමේදී දුර කිමී 3800 ක් (පැය 4.22) වුවද සුනාමිය පැයකුත් විනාඩි 30 පමණ පසු දිවයිනේ නැගෙනහිර කොටසට පලමුවෙන්ම ඇතුළු විය.
එය දිවයිනේ අනෙකුත් මුහුදුබඩ දිස්ත්‍රික් වලට පැය 3-4 ඇතුලත සම්පූර්ණයෙන්ම බලපෑම් එල්ල කරන ලදී. ජීවිත 35,332 පමණ අහිමි කරමින් සිදුවූ එම සුනාමියේ බලපෑම මෙම වේලාවන් දෙස බැලීමේදී විධීමත් පූර්ව අනතුරු දැනුම්දීමේ ක්‍රමවේදයක් තිබුණා නම් අපට සිදුවූ ජීවිත හා දේපොල හානි බොහෝ දුරට අවම කර ගත හැකිව තිබුණී. අද අප ඒ සදහා ඇතැම් ඉවත්වීමේ පෙරහුරු කරමින් සිටිමු..
පහත සදහන් ජායාරූපය දෙස බැලීමේද රිච්ටර් මාපකයේ අගය අනුව භූ කම්පනවල බලපෑම කෙබඳු විය හැකිදැයි අපට උපකල්පනය කල හැක.(තොරතුරු භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුග්රහයෙනි)

භූ කම්පන පිළීබදව පූර්ව දැනුම්දීමක් කල නොහැකි වුවද භූ කම්පනයකදී දිවි බේරාගැනීම හා අනතුරු අවම කිරීම සදහා අප දැනුවත් විය යුතුය. මෙතෙක් ඒ සදහා විධීමත් දැනුවත් කිරීමක් බලධාරීන් සිදුකලත් සාමාන්‍ය ජනතාව වෙත, බිම් මට්ටමට ගලා නොගිය තරම්ය. ඇතැමෙකුට මේ ගැන ඇති දැනුම අල්පය. දරුවන් විශේෂයෙන්ම නොදැනුවත්ය.
අපේ රටේ හැටියට අපට ආපදා පිළිබදව අවදානයක් ඇත්තේ ආපදාවක් සිදුවී මාස 3-6 පමණී. නිලධාරීන් පවා එසේවී ඇත්තේ ජනතාවගේ අඩු අවදානය බැවින් විය යුතුයි. එබැවින් අප හැකි පමණින් එවැනි තත්වයකදී කටයුතු කල යුතු ආකාරය පිළීබදව දැනුවත් විය යුතුය.
ආණ්ඩුවට මෙහි වගකීමක් පැවරිය නොහැකි වුවත් දේශපාලනඥයන් විසින් ආපදාව වුවද තම වාසිය වෙනුවෙන් යොදා ගන්නා තරමටම පහත් මට්ටමකට වැටී ඇත.
අහිමිවන ජීවිත වලට වන්දි ලබාගැනීමට නොව ජීවත්වන අපේ ජීවිත සුරක්ෂා කර ගැනීමට පහත සදහන් කරුණූ කෙරේ ඔබේ අවදානය යොමුකරවමි.
*ඔබ සේවා ස්ථානයේ හෝ නිවාසයේ විශාල ප්‍රමාණයේ වීදුරු, වීදුරු සවිකල දොරවල් හා ජනේල හා උස කබඩ් අල්මාරි අසල හෝ තරප්පු පෙල යටට වන්නට, පුටු මේස තබාගෙන රාජකාරී (ඇඳ ගැන විශේෂයෙන්ම සදහන් කලේ ඔබ නිදි අතර භූ කම්පනය සිදු වුවහොත් සිදුවන හානිය විශාල විය හැකි බැවිණි) සිදුකරන්නේ නම් භු කම්පනයකදී ඒවා වහා විනාශවී කඩා වැටීමට හැක. එවැනි භාණ්ඩ උපකරණ බිම පතිත වීමේදී ඇඟට නොවැටෙන ස්ථානයක රාජකාරී කිරීමට (හෝ නිදාගැනීමට) කටයුතු කරන්න. අපේ රටේ දැනට එවැනි තැන්වලට යොදා ඇත්තේ ආරක්ෂිත වීදුරු (tempered glass – වාහන වලට යොදා ඇති වීදුරු ආරක්ෂීත වීදුරු ලෙස හදුන්වන අතර ඒවා බිඳ වැටීමේදී ජීවිත හානි සිදු නොවේ) නොවන බැවින් සැලකිලිමත්වීම හා ඒ පිළිබදව අනෙකුත් (විශේෂයෙන්ම පාසල් දරුවන්) පිරිස දැනුවත් කිරීම අප සතු යුතුකමක්.
බොහෝ මහල් ගොඩනැගිලිවල ඉහල මාලයේ (roof top) භූ කම්පන වැනි අවස්ථාවක බිමට බැසීම සදහා විශාල ප්‍රමාණයේ කඹ හෝ කඹයක් තබා ඇති මුත් ඒවා උපයෝගී කරගෙන හදිසි අවස්ථාවකදී බිමට යෑම කෙසේ සිදුකරන්නේදැයි දැනුවත් කර හෝ පෙර පුහුණුවක් ලබාදී නොමැත. එබැවින් එවැනි පුහුණුවීම් වල වටිනාකම දැන්වත් අවබෝධකර ගෙන කඹයවත් තිබේදැයි හෝ එය කල් ඉකුත්වී දිරා ගොස් ඇත්දැයි පිරික්සීම වටී. ඇතැම්විට ඔබ ගොඩනැගිල්ලේ භූ කම්පනයකදී භාවිතා කිරීම සදහා වෙනත් ආරක්ෂිත පියවර තිබිය හැකි බැවින් ඒවා ගැන දැනුවත්ව සිටීම වටී.
භූ කම්පනයකදී කල යුතු දේ
ඔබ රැදී සිටින ස්ථානයේම රැදී සිටින්න. වට පිට බලා මේසයක් බංකුවක් ඇඳක් වැනි සවිමත් ආවරණයක් යටට හෝ බීත්ති මුල්ලක හෝ දොර මුල්ලක හිස බඳාගෙන (හිසට යමක් වැටුනොත් ආරක්ෂාවීම පිණිස කොට්ටයක් හෝ ඝණ බ්ලැන්කටයක් වැනි යමක් තබාගත හැකි වුවහොත් ඔබ වඩාත් සුරක්ෂීත බව සිහිතබා ගන්න) රැඳී සිටින්න. කුඩාම දරුවන් ඔබගේ ශරීරයෙන් වසා ගන්න. මීට පෙර සදහන් කල පරිදි අනාරක්ෂිත වීදුරු කබඩ් සොල්දර අබලන් කොන්ක්‍රීට් ආදිය අසල නොරැදීම වටී. සාමාන්‍යයෙන් භූ කම්පනයක් දිගු වේලාවක් සිදුනොවන බැවින් රැඳි ස්ථානයේම මඳක් වේලාවක් නිහඬව ඉන්න. ඔබේ බියගුළු ස්වභාවය අන්‍යයන්ගේ ආත්ම විශ්වාසය කඩා වැටීමට බලපානු ඇත.
ඔබ භූ කම්පන අවස්ථාවේ විවෘත පරිසරයක සිටියේ නම් වහාම උස ගස් හෝ ගොඩනැගිලි නොමැති භුමියකට ගොස් බිම දිගාවී, හිස මත දෙඅත් තබා ආරක්ෂිතව ඉන්න. වාහනයක සිටියේ නම් වාහනය ආසන්නතම ආරක්ෂිත ස්ථානයේ නවතාගෙන ඉන් පිටතට නොපැමිණ රේඩියෝවට සවන්දෙමින් සිටින්න. ආරක්ෂාව පතා පාලම් හෝ ගුවන් පාලම් මහල් ගොඩනැගිලිවල බිම් මහල් වල වාහනය නතර නොකරන්න. ඔබ කුමන තැනක රැඳී සිටියත් නිවැසියන්ට භාරකරුවන්ට හැකිනම් දුරකථනයෙන් තමා සිටිනා තැන පැවසුව ද ඔවුනට ඔබ සිටින ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඔවුන්ද අනාරක්ෂිත කරන්න එපා.ඔබ බස් නැවතුම්පල වෙළඳ සංකීර්ණයක වැනි පොදු ස්ථානයක සිටියදී මෙම තත්වයට මුහුණ දුන්නේ නම් වඩාත් විවෘත ස්ථානයක බිම දිගාවී සිටීම හැර විකල්පයක් නොමැත. (ගොඩනැගිල්ලක් තුල නම් ඉහතින් සදහන් කරන ලද පියවරම අනුගමණය කිරීම සුදුසුය) මන්ද වඩාත් සුරක්ෂිත තැනක් පරීක්ෂා කරමින් දිව යෑමේදී ඔබ නොදැනුවත්වම අනතුරකට පාත්‍ර විය හැක. මෙහිදී ඔබ පමණක් නොව සමස්ත සමාජයම ව්ය්යාකූල තත්වයකට පත්වී කටයතු කරන බැවින් හොඳ සිහි බුද්ධීයෙන් කටයුතු කිරීම ඉතාමත් වටී. ඔබ රෝද පුටුවක සිටින අයෙකු නම් වහාම පුටුව අඟුළු දමා නිදහසේ ගමන් කිරීම වලක්වා ගන්න. දෙඅත් හිසේ තබා පුටුවේ නැමී සෙලවීම නතරවන තෙක් රැදී ඉන්න.
විනාඩි කීපයකින් තත්වය සාමාන්‍ය අතට හැරුණු පසු,

ඇතැම්විට ඔබ රැදී ස්ථානයේ විදුලිය විසන්ධීවී ඇත්නම් ඒ මේ අත යෑමේදී සැලකිලිමත්වන්න. කුමන හෝ වර්ගයක ලිපක් දැල්වෙන වෙලාවක නම් එය නිවා දැමීමට යුහුසුළු වන්න. අන්තරායකාරී රසායන හෝ ඉන්ධන ගෑස් මත්පැන් වැනි කාන්දුවිය හැකි ගිනිගත හැකි දේවල් කම්පනය නිසා බැහැරවීමට පටන් ගෙන තිබිය හැක. විශේෂයෙන් ඔබට දැනෙන ගඳ සුවඳ කෙරේ අවධානය යොමුකර ඒවා වසා දැමීමට කටයුතු යොදන්න. භූ කම්පන අවස්ථාවේ රැඳී සිටියේ මහල් ගොඩනැගිල්ලක නම් ඉන් වහා ඉවත්වීමට යන්න එපා. ඇතැම්විට ගොඩනැගිල්ලේ සැකිල්ලට යම් යම් වෙනස්වීම් සිදුවී තිබිය හැකි බැවින් විදුලිය විසන්ධිවී නැතත් සෝපානය භාවිතය දැඩි ලෙස අනාරක්ෂිත විය හැක. පඩි පෙල භාවිතයද අනාරක්ෂීතව ඇත්තේ එයට වූ හානිය අප නොදන්නා බැවිණී. කම්පන තත්වය නිසා ඇතැම්විට ගොඩනැගිල්ලට හානි සිදුවී තිබිය හැක. තමන් සමඟ ඒ වේලාවේ ගොඩනැගිල්ලේ ඇතුලත කොටසේ රැඳී පිරිස නමින් කථාකර කැඳවා බලා ඔවුන් සියල්ල නිරුපද්‍රිත දැයි තහවරු කරගන්න.
හැකි විගස රේඩියෝවකට සවන් දෙන්න. බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පිළීපදින්න. ඔබ අභ්‍යන්තරයක හිරවී නැතිබවට තහවරු කරගන්න. තුවාල කරුවන් සිටි නම් බාහිර පාර්ශවයක් සමඟ කෙසේ හෝ සම්බන්ධතාවක් ගොඩ නඟා ගන්න. මෙහිදී තම ආයතනයේ හිමිකරු, ගෘහ මූලිකයා, අදාල ග්‍රාම නිලධාරී, ප්‍රාදේශිය ලේකම්, පොලිස් ස්ථානය, ගිණි නිවන ඒකකය, හදිසි ඇමතුම් ආදී එකකට තමන් හිරවී ඇතිබව බලධාරීයෙකුට දැනුම් දෙන්න. (සියළු සන්නිවේදන පද්ධති අකර්මණ්‍ය විය හැකි බැවින් මේ සදහා අවැසි ක්‍රම හෝ මාධ්‍ය ඔබ මෙවැනි තත්වයක් ඇතිවුවහොත් යැයි සිතා ඊට පෙර සකසා තැබීමේ වැදගත්වේ) තමා සමඟ සිටින සැමගේ මානසික ශක්තිය වැඩිවන ආකාරයට කතා කරන්න. ඔබ හුදකලා වූ බවක් අන් අයට දැනෙන්නට දෙන්න එපා. ප්‍රථමාධාර දිය යුතු තුවාලකරුවන් ඇතොත් ඔවුනට අවැසි ප්‍රථමාධාර ලබාදීම ඔබ අතර සිටින ඒ ගැන නිපුණතාවක් අය ඇතොත් ඒ අයට පවරන්න. තත්වය සමනය වූ පසු බැහැරට යෑමේදී වැඩිහිටියන්, රෝගීන්, ගැබිණි මව්වරුන්, දරුවන්ට හා ආබාධිතයන්ට ප්‍රමුඛතාව දෙන්න. ඔවුනගෙන් ඖෂධ භාවිතා කරන අයගේ ඖෂධ හා රෝග නිධාන සදහන් පත්‍රිකා එක්වරම රැගෙන බැහැරවීමට පොලඹවා ගන්න. ඔබ සිටින ගොඩනැගිල්ලට භූ කම්පනයෙන් සිදුවූ හානියේ තරමට ගැලපෙන ආකාරයට රැදී සිටි අය අවැසි දේවල් කඩිනමින් ගන්නයි දැනුවත් කරන්න. ඇතැම්විට ඔබට මෙම ගොඩනැගිල්ලට නැවත පැමිණීය නොහැකි තත්වයක් උද්ගත වනු ඇත. භූ කම්පනයට පසු තව තවත් කම්පන සිදුවිය හැකි බැවින් ආරක්ෂිතව කල්පනාකාරීව සිටින්න. බැහැරට යෑමට පෙර විදුලිය හා ගෑස් සම්බන්ධතා විසන්ධිකරන්න.
බැහැරට පැමිණී පසු
දුරකථන විදුලි හෝ වෙනත් කුළුණූ ආධාරක ඇලවී හෝ බිමවැටී තිබිය හැකි බැවින් ඉතා ප්‍රවේසම්කාරී ලෙස ඇවිද යන්න. රාත්‍රියක විදුලිය විසන්ධිවී ඇත්නම් වඩාත් ප්‍රවේසම්කාරී වන්න. ඔබ සමඟ සිටින වැඩිහිටියන්, කුඩා දරුවන්, ගැබිණී මව්වරුන් හා ආබාධිතයන් කෙරේ විශේෂ අවධානය යොමුකරන්න. රෝහල්ගත කලයුතු අය සිටී නම් ඒ අය රෝහල් කරා යොමුකරවන්න. භූ කම්පනයකට පසු වෙනත් ආපදා තත්වයන් (වැස්ස,ගංවතුර, ජලාශවල වේලි කඩා යාම, ගිනිගැනීම් ආදි ලෙස ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැක) පැමිණිය හැකිබැවින් අන් අය ඒ ගැන දැන්වත් කර ඔබත් ප්‍රවේසම්වන්න. නිවසේ හෝ ඔබට පෙනෙන මානයක සිටිනා කූඩුකර ඇති හෝ බැඳ දමා ඇති සතුන් හැකිනම් ඉන් නිදහස් කරන්න.
ඔබ රැඳී සිටියේ මහල් ගොඩනැගිල්ලක නම්, එම ගොඩනැගිල්ල හෝ අවට ඇති මහල් ගොඩනැගිල්ලක් අවදානම් තත්වයක තිබේනම් බැහැරට පැමිණී වහාම ඉන් බැහැරට යන්න. බලධාරීන්ගේ උපදෙස් වලට නිතර සවන් යොමුකරන්න.
ඔබේ දරුවා දෙමාපියන් හෝ සමීපතමයා නිවසින් බැහැරට ගිය අවස්ථාවක මෙම තත්වය උද්ගතවී තිබුණේ නම් ඔබ බැහැරට පැමිණී වහාම ඔහු හෝ ඇය සෙවීමට නොයන්න. ගරාජයේ තිබුණ වාහනය ආරක්ෂිත තැන් බල බලා නතර කිරීමට කටයුතු නොකරන්න. අර්ධ ලෙස හානීවී ඇති ගොඩනැගිලි අසලට හෝ තුලට නොයන්න. විශේෂයෙන්ම කඩා වැටී ඇති විදුලි රැහැන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත්වීම වටී.
භූ කම්පන හේතුවෙන් දුම්රිය මාර්ග වලටද හානි සිදුව තිබිය හැකි බැවින් ඔබට හැකිනම් දුම්රිය ධාවනය වන බව පෙනී යන්නේ නම් දුම්රිය බලධාරීන්ටද ඒ ගැන දැනුවත් කිරීම මගින් ඇතැම්විට සිදුවන්නට ගිය විශාල දුම්රිය අනතුරක් වැලැක්විය හැකි වනු ඇත.
භූ කම්පනයකදී ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනුම තව තවත් ලබාගෙන තමන්ගේ හා තම ඥාති මිත්‍රාදීන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ඔබේත් මගේත් යුතුකමක් සේ සලකන්න.

එරන්දන හේමවර්දන
හිටපු ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ (නුවරඑළීය)
