ආතතිය නැතහොත් ක්ලමතය (stress) ඔබට හොදද? නරකද?
මෙම ආතතිය නැතහොත් ක්ලමතය යන්න ඕනෑම පුද්ගලයකුගේ දෛනික ජීවිතය තුල නිරන්තරයෙන් දක්නට ලැබෙන කරුණකි. එමෙන්ම, එම තත්වය පුද්ගලයකුට බලපාන ආකාරය අනුව ආකාර දෙකකි. එනම්,
1. ධනාත්මක ආතතිය(EuStress)
2. සෘණාත්මක ආතතිය (Distress) වශයෙන් දැක්විය හැක.

1. ධනාත්මක ආතතිය(EuStress) :-
මෙම ධනාත්මක ආතතිය යටතේ පුද්ගලයකුට ඇතිවන ආතතිය ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් අයුරින් බලපාන බව කිව හැක. මේ හරහා පුද්ගල ජීවිතයේ යම් යම් අභියෝග, අවස්ථා, සිද්ධි උදෙසා සාර්ථකව මුහුණ දීමට යම් අභිප්‍රේරණයක් , උනන්දුවක් ඇති කරවයි.
සරල නිදසුනක් ගතහොත් පාසල් දරුවකු තුල ඉදිරියේදී මුහුණ දීමට නියමිත විභාගයක් උදෙසා දැනෙන හෝ ඇතිවන ධනාත්මක ආතතිකර තත්වය නිසා දරුවා එම අවස්ථාවට සූදානම් වීමට අවශ්‍ය අභිප්‍රේරණය සහ උනන්දුව ඇති වේ. මේ නිසාම දරුවා විභාගයට අවශ්‍ය පෙර සූදානම ඇතිව මුහුණ දෙයි.
මෙම නිදසුනම ගෙන, පාසල් දරුවාට තම ඉදිරි විභාග සදහා කිසිදු ධනාත්මක අභිප්‍රේරණයක් නොමැති බව කිවහොත්, ඔහු තුල කවර සූදානමක් හෝ නොමැතිව විභාගයට මුහුණ දීමෙන් ඇතිවන්නේ ධනාත්මක ප්‍රතිඵලයක් නොවන බව නොඅනුමානය.
එබැවින්, ආතතිය යන්න ජීවිතයට නැතිවම බැරි සාධකයක් යැයි කිව හැක.මන්ද යත්, ජීවිතයට ඇති වන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ලැබෙන බැවිනි. මෙම ආතතිමය තත්වය නැතහොත් පුද්ගලයා ජීවිතයට මුහුණ දෙනවා වෙනුවට ජීවිතයෙන් පලා යාමට ඉඩ ඇත.
2. සෘණාත්මක ආතතිය (Distress) :-
මෙම තත්වය ප්‍රධාන වශයෙන් පුද්ගලයා තුල දීර්ඝ කාලීනව දැකගත හැක. එනම් ආතතිය සෘණාත්මක අයුරින් ජීවිතයට බලපායි. එබැවින් ක්‍රමක්‍රමයෙන් පුද්ගල මනස ව්‍යාකූලත්වයට පත් කරයි.
මුල් කාලය තුල එදිනෙදා ජීවිතයේ රාජකාරී ක්‍රමයෙන් මගහරී. පසුකාලීන වන විට එදිනෙදා රාජකාරී සියල්ල අතහැර දමමින් හුදෙකලාව සොයන්නට පටන් ගනී. කායික රෝග වශයෙන්ද ඉස්මතු විය හැක.තවත් කාලයක් ගත වන විට ජීවිතයම සෘණාත්මක අයුරින් දැකීමට හෝ සිතීමට පටන් ගනී.එතැන් පටන් මෙම සෘණාත්මක තත්වය මානසික රෝගයක් දක්වා බලපෑ හැක.
නිදසුනක් වශයෙන්, පාසල් යන කුඩා දරුවකු තුල පාසල් යාමට ඇතිවන අකමැත්තත් සමග ඇතිවන ආතතිමය තත්වය නිසා ක්‍රමයෙන් දරුවා තුල නිරන්තර දුක් ස්වභාවයක් දැක ගත හැකිය.පාසල් යාමට දෙමාපියන්ගේ ඇති බලකිරීමත් සමග එදිනෙදා වැඩ සියල්ල මගහරිමින් ඒ මත්තෙම සිට ක්‍රමයෙන් ශාරීරික රෝග ද ඉස්මතු විය හැක.පාසල් යාමට සිහිපත් කරන විට පවා ඔහු තුල නොරිස්සුම් ස්වභාවයක් දැකගත හැක.
පිලිගත් සම්මතය වන DSM v TR ( Diagnostic and Statistical Manual of Mental Disorders: DSM-5-TR )තුලින් මෙම තත්වය හරහා ඇතිවිය හැකි මානසික රෝග පිළිබද අධ්‍යනය පහසු වේ.
සෘණාත්මක ආතතියක් තුල ජීවත් වන පුද්ගලයාකු හදුනා ගැනීමට හැකි කරුණු කිහිපයක් සරලව පහත පරිදි දැක්විය හැක.
- නුරුස්නාගතියක්, හිතේ කලබල ගතියක්, කනස්සලු ස්වභාවයක් වැනි අපහසුවක් දැනීම.
- අවධානය තබා ගැනීම ඉතා අපහසු බැවින් වැඩ කල් දැමීම.
- අහේතුක දුක
- කෑම රටාව වෙනදාට වඩා වෙනස් වීම.
- නින්ද සම්බන්ධයෙන් ඇතිවන ගැටළු බහුල වීම.
- අන් අය ඇසුරු කිරිමේදී හා ඔවුනට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනදාට වඩා වෙනස් වීම.
- හැගීම් පෙන්වීමට අපහසු වීම.
- ඉතා ඉක්මනින් මහන්සි ගතියක් දැනීම හා වැඩ කටයුතු කිරීමට අභිප්‍රේරණයක් නොමැති වීම.
- විවිධ ඇබ්බැහි වලට යොමු වීම.
- වෙනදාට වඩා නිරතුරුවම කායික රෝග වලට ගොදුරු වීම.
ඉහතින් දක්වන ලද කරුණු ඔස්සේ යම් පුද්ගලයකු තුල පවතින සෘණාත්මක ආතතිකර තත්වය අපට ඉස්මතු වේ. මෙම තත්වය නිසියාකාරව කළමණාකරණය කර ගැනීමට පුද්ගලයා අසමත් වුවහොත් එය පුද්ගල ජීවිතයට බරපතල හානියක් විය හැක. එබැවින් ආතතිය යන්න කුමක්දැයි අවබෝධ කර ගනිමින් ඒවාට මුහුණ දීම මිස පලා යාම නොකළ යුතුය.

ඒ අනුව, ධනාත්මක ආතතිය යන්න පුද්ගල ජීවිතයට අත්‍යවශ්‍ය මෙන්ම සෘණාත්මක ආතතිය යන්න පුද්ගල ජීවිතයේ මනාව කළමණාකරණය කරගත යුතුම අවස්ථාව වශයෙන් පෙන්වා දිය හැක.
