කුඩා දරුවො මල් වගේ කියල කිව්වට මොකද ඇත්තටම පොඩි ළමයින්ට මල් වලට වගේ ආදරයක් හැම වෙලාවකදිම වැඩිහිටි හැමෝගෙන්ම ලැබෙනවද කියන එක ටිකක් හිතල බලන්න ඕන කාරණාවක්.ඉතා මෑතකදි ලංකාවෙ එක්තරා ප්‍රදේශයක කුඩා දැරියකට අමානුෂික විදියට පහරදීමක් සිදුවන අයුරු දැක්වෙමින් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වූ වීඩියෝව ආසන්නතම සිදුවීම්ක් විදියට සලකන්න පුළුවන් වගේම මේ විදියටම ප්‍රසිද්ධ නොවන තවත් කොයිතරම් හිරිහැර වලට කුඩා දරුපැටව් මුහුණදෙනවා ඇතිද? කියන දේ ඇත්තටම සංවේදී කාරණාවක්.
ලාංකික අපේ සමාජයේ තවමත් බොහෝ දුරට මුල් බැසගෙන තියන මතයක් තමයි හැදිනොගා හදන හොද්ද නම් කැටිගැසෙන බව සැබෑවක් වුනත් අපි දරුවන්ට තරවටු කරන්නම අවශ්‍යද කියන කාරණාව මදක් සිතාබැලිය යුතුයි.දරුවන්ට දඩුවම්කිරීම සම්බන්ධ යෙන් විවිධ මතිමතාන්තර රාශියක් විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයන් විසින් සමාජගතකරල තියනවා.ඒ අතරෙ සමහර වැඩිහිටියන් දඩුවම් දීම අනුමත කරලත් තියනවා.ඒ කොහොම වුනත් තරවටු කිරීම මගින් දරුවන් හික්මවීම කියන කාරණාව තරමක් සංකීර්ණ වගේම සමහර අවස්ථාවල දරුවන්ගේ මානසික සෞඛ්‍යය මෙන්ම පෞරුෂ වර්ධනය කෙරෙහිද ප්‍රභලවම බලපෑම් එල්ල කරන්නක්.
එතකොට ඔබ සිතාවි සමහර ළමුන්ගේ තිබෙන හැසිරීම් රටාවේ හැටියට තරවටු නොකර බැහැ කියන කාරණාව.ඇත්ත තමයි සමහර ළමයි ඉතාම වේගවත් වගේම හරිම දගකාරයි, මුරණ්ඩුයි.ඔවුන්ගේ ක්‍රියාකලාපය හමුවේ අපේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් අපි දරුවන්ට තදින් කෑගැසීමත් ඉන් නොනැවතී පහරදීමට පවා පෙළඹෙනවා.නමුත් මදක් සිතාබැලුවොත් ඔබේ මගේ මෙන්ම ඔබේ කුඩා දරුවාගේ ජීවිතය ගලාගෙනයන යම් රිද්මයක් තිබෙනවා.මේ කුඩා ජීවියා කිසිම විටෙක ඔබ නොවේ.ඇතැම් විටෙක මවිපිය පරම්පරා උරුමයෙන් ඇතැම් ගුණාංග උරුමකරගත් වෙනත් පුද්ගලයෙක්.කිසිම විටෙක සෑම අතින්ම ඔබ බලාපොරොත්තුවන ආකාරයේ ගුණාංග , හැකියාවන්, රුචි අරුචිකම් ඔබේ කුඩා දරුවාගෙන් බලාපොරොත්තු විය නොහැකියි.

එසේ නම් මේ කුඩා ජීවියා හොදින් අවබෝධ කරගනිමින් කටයුතු කරනවා විනා ඔවුන්ට තදින් කෑගසා තරවටු කරමින් ඔවුන් හික්මවීමට ඔබේ මතයට අවනතව තබාගැනීමට උත්සහදැරීම දරුවාගේ අනාගත සාර්ථකත්වයට වැදගත්වනබව ඔබ සිතනවානම් එය සැබැවින්ම මුලාවක්.අධිකලෙස තරවටු කිරීම් වලින් පීඩාවිදිමින් හැදීවැඩෙන දරුවන් ඉතා මුරණ්ඩු සමාජ විරෝධී ක්‍රියාවන්ට පවා යොමුවන පුද්ගලයන් බවට පත්වීම හෝ නොයෙකුත් අන්දමේ මානසික රෝග වලට ගොදුරුවීම නොවැළැක්වියහැකි කරුණක්.කාල් රොජර්ස් නම් මනෝවිද්‍යාඥයා දරුවන් ගැන මෙහෙම කියනවා.“දෙවියන්වහන්සේ ඔබට දරුවන් උරුමකර දී තිබෙන්නේ ඔවුන් කුමර කුමරියන් කරනුඇත යන විශ්වාසයෙනි.”එසේ නම් ඔබේ වගකීම වන්නේ දෙවියන්ගෙන් ඔබට ලැබුණ මෙම වටිනා ත්‍යාගය ඔබට හැකි උපරිමයෙන් ආදරයෙන් ආරක්ෂා කරමින් ඇතිදැඩි කිරීමයි.එසේ නොමැතිව අධික ලෙස ශාරීරිකව සහ මානසිකව පීඩාවට පත්කිරීම නොවේ.ඇත්තවශයෙන්ම දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් කුඩා දරුවන් සමග කටයුතු කිරීම ඉතා සැලකිල්ලෙන් කලයුතු කාර්යයක්.
දරුවන්ට අධිකලෙස තරවටු කිරීම වගේම තමන් හුදෙකලා වී ඇතිබව දැනීම තරම් ඔවුන් වැඩිහිටියන් වු පසුවත් පීඩාවට පත්කරවන දෙයක් නොමැතිතරම්. ඇතැම් දෙමාපියන් අතින් මෙය හිතාමතාම සිදුනොවුනත් කුඩා මනසට තදින්ම බලපෑම්කරන තත්වයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.පසුකාලීනව උගත්කම්, තනතුරු, පිරිවර,මිලමුදල් යනාදියෙන් ඉහලින්ම බැබළෙන චරිත බවට පත්වුනත් සමහර වැඩිහිටියන්ට තමන් කුඩා කාලයේ අත්විඳි ඇතැම් අමිහිරි අත්දැකීම් මියයන තුරාවටම අමතක කරන්නට නොහැකි තරම් බලවත්.
මේ නිසාම කුඩා දරුවන් සමග කටයුතුකිරීමේදී හොදින් සිතාබලා කල්පනාකාරීව ඔවුන්ගේ හැගීම් සමග කටයුතු කලයුතුයි.ඔබේ දරුවා හොදින් අවබෝධ කරගන්න,දුකින් සිටීනම් සතුටුකරන්න,කෝපයෙන් සිටිනවිට සන්සුන්වීමට අවස්ථාව දෙන්න,වැටෙන විට නැගීසිටීමට අතදෙන්න,මේ සෑම මොහොතකම උණුසුම්ව වැළඳගෙන ආදරය කරන්න.
-සටහන-
ප්‍රාර්ථනා හපුආරච්චි
සංවර්ධන නිලධාරී
