කවුඩෙකුගේ රුවින් යුතු කවුඩාගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ අසේලපුරින් හැරී කිලෝමීටර් හයක් පමණ විහිදෙන පටු මාවතකය.
වර්තමානය වන විට බොහෝ දෙනාගේ අවධානයට මෙය ලක්වී ඇත්තේ එහි නාහිමියන් මෙය සංරක්ෂණය කිරීමට දරන උත්සාහය හේතුවෙනි. මාර්ගයේ ගමන් කරන විට කවුඩාගල ගල් පර්වතය හොඳින් දැක ගත හැකි වේ. එයට යාමට මාර්ගය හොඳින් පවතී. එහි ගල මුදුනට යාම තරමක් අපහසු කටයුත්තකි. නමුත් කවුඩාගලට ගොස් ගල මුදුනට නොයා පැමිණීම එතරම් සුදුසු නොවේ. එයට හේතු වන්නේ මාර්ගයේ පැමිණෙන විට පර්වතය දකිද් දී නැවත එහි යාමට සිතෙන බැවැනි. අපි අපහසුවෙන් වුව ද එය තරණය කළෙමු. මුලින්ම අපට අවශ්‍ය වූයේ කවුඩා සිටින ලෙන සොයා ගැනීමය. ගල් තලාවක් බැවින් බීමට අවශ්‍ය කරන ජලය හා පොඩි කුසගින්නක් ඇති වුවහොත් හෝ විඩාව නිවා ගැනීම සඳහා පාන් විස්කෝතු වැනි කෑම ජාතිද රැගෙන අපි පර්වතය ඉහළට යාමට එකා පසුපස එකා ඇදෙමින් ගමන් කළෙමු. වනාන්තරය සහිත ප්‍රදේශයක් වීම නිසා ඉතා අවධානයෙන් මාර්ගය පිළිබඳව විමසමින් එහි ගියෙමු. ටික ටික ඉහලට යෑමේ දී අවට අසිරිය තව තවත් අපව දිරිමත් කරන්නේ ඉදිරියටම යන ලෙසයි. විවේක ගනිමින් ගිමන් හරිමින් අප ඉතා ඕනෑකමින් කවුඩා සෙව්වෙමු. උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපට ලෙනක් තුළ සිටින කාල වර්ණ විශාල පක්ෂියාගේ රැව දැක ගත හැකි විය. එතරම් විශාල පක්ෂයකුගේ රූපයක් අප මීට පෙර දැක නැති බැවින් විශ්මයට පත් වූයෙමු. එහි අසිරිය විඳ අවසානයේ අප ගමන අවසාන නොවූ බැවින් පර්වතය මුදුන වෙත ගමන් කළෙමු.

වර්ෂාව නොමැති අධික හිරු රශ්මිය දැනෙන කාලයක් වූ බැවින් අපට මෙහි ගමන තරමක් වෙහෙස විය. නමුත් අප අවට සුන්දරත්වයට වශී වී සිටියෙමු. සියල්ලන්ගේම ආශාව වූයේ පර්වතය මුදුනටම නැග එහි අසිරිය විඳීමටය. අප හති අරුමින් ගල් වලින් පහළට රූටමින් නැවත නගිමින් විනෝදයෙන් යුතුව අපේ අපේක්ෂාව වෙත පියමං කළෙමු. උත්සාහවන්තයා ජයගන්නා ලෙසින් අපට එහි යාමට හැකි විය. ස්වභාවික ජලධාරා නොමැති බැවින් පානය කිරීමට අවශ්‍ය ජලය රැගෙන යාමට වග බලා ගත යුතුය. පර්වත මුදුනේ අසිරිය විඳ නැවත පහළට පැමිණීමට අපි කටයුතු කළෙමු. එය ඒකාකාරී මාර්ගයක් නොවිය. කළුගල් තලා ඔස්සේ වැටී පවතින අතර ඇතැම් තැන් වල කුඩා පඳුරු රාශියකින් යුක්ත වන අතර ඇතැම් තැන් වනාන්තරයකින් යුක්තය.

පැරණි ස්තූප නටඹුන් හමුවීම අපට එතරම් පුදුමයට කරුණක් නොවන්නේ 2500කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන අප රටේ බුදු දහම ද ව්‍යාප්ත වී පැවති බැවිනි. මෙය ඉතා පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ආරණ්‍ය සේනාසනයකි. කඳු ගැටයක් මෙහි දැකිය හැකි අතර මෙහි පූජනීයත්වය නිසා ප්‍රසිද්ධත්වයට පත් වී තිබේ. මෙහි ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ මෙය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මහින්දාගමනය දක්වා දිව යන බවයි. මහින්දාගමනයත් සමඟ සාසනයට පූජා කිරීමෙන් පසුව වසර දා
හකට අධික කාලයක් අඛණ්ඩව බෞද්ධ ජනයා පුද පූජා පවත්වූ බව පුරාවිද්‍යාත්මක සාධක වලින් සනාථ වේ.
අතීතයේ දී මෙම ප්‍රදේශයේ ත්රස්තවාදීන් යටතට පත් වීමත් සමඟ වල් බිහිවී තිබේ. මෙය තොප්පිගල, නෙලුගල මුතුගල මෙන්ම ඉතා අලංකාර ස්ථානයකි. නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතු වී විශාල වශයෙන් හානි සිදු වී තිබේ. මෙහි චෛත්‍යය කැණීම් කටයුතු ආරම්භ වීමෙන් පසු වැදගත් කරුණු රාශියක් සොයා ගත හැකි විය. එනම් වටිනා පබළු ,ගල්,කරාඹු, මංජුසා, පළිඟු කරාඹු කොටස් ,රන් ආලේපිත කුඩා කරාඹු, විවිධ ප්‍රමාණයේ බඳුන් ඒ අතර තිබී හමුවී ඇත. ඒවා තුළින් අතීතයේ පැවති ආභරණ තාක්ෂණය, ආර්ථික දියුණුව හා තාක්ෂණයේ දියුණුව පිළිබඳව කරුණු රැසක් අනාවරණය කරගත හැකිය. මෙම ස්ථානය කලක් පොළොන්නරු යුගයේ සිටි සුගලා දේවියට අයත් මාලිගාවක් පිහිටි ස්ථානයක් බවට ද මත පළවී තිබේ. මෙම ආරණ්‍ය සේනාසන භූමියෙන් අනුරාධපුර යුගයට අයත් කටාරම්, අක්ෂර ,ගල්ලෙන්, ශිලා ලිපි, පොකුණු ,චිත්‍ර, මහල් ගොඩනැගිලි වලට යන පිය ගැටි පේළි ආදිය හමුවේ.

මෙම පුදබිම තුළ ලෙන් විශාල සංඛ්‍යාවක් මෙන්ම ස්ථූප තුනක නටබුන් හමුවී ඇත. මෙහි ඇති ගිරි ලිපි හා ලෙන් ලිපි කීපයක්ම හඳුනාගෙන ඇති අතර ඒවා කිහිපයක පූර්ව බ්රාහ්මී අක්ෂර දැක ගත හැකි වී තිබේ. එම අක්ෂරවල ස්වරූපය හා අනෙකුත් සාක්ෂිවලට අනුව මෙය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී පමණ සාසනයට පූජා කළ ස්ථානයක් වශයෙන් සිතිය හැක. එක් ලිපියක සඳහන් වන්නේ සිද්ධම මහාගලෙක විහත දනහල’ වශයෙන් දැක්වේ. එයින් කියැවෙන්නේ ‘යහපතක්ම වේවා මේ මහා ගලක විහාරයේ දාන ශාලාවයි’ යන්නය. ඒ අනුව සිටිය හැකි වන්නේ මෙම ස්ථානය මුල් යුගයේ මහගලක විහාරය වශයෙන් හඳුන්වා ඇති බවයි. වර්තමානයේ වුව ද මෙම ස්ථානයට යන ඕනෑම කෙනෙකුට ප්‍රදේශය පුරා විහිදී පවතින කළුගල් තලාවන් දැකගත හැකිවේ. අද වනවිට මෙම ස්ථානය කවුඩාගල නමින් හැඳින්වීමට මුල් වූ හේතුව වන්නේ අඩි දාහතරක් පමණ වන කවුඩෙකුගේ විශාල රූපයක් මෙහි ගල් ලෙනක පැවතීමයි. එම රූපය හේතුවෙන් මෙම ස්ථානය කවුඩාගල නමින් හැඳින්වීමට පෙළඹී තිබේ.
ලෙන් රාශියක් පවතිනවා මෙන්ම එම සෙල්ලිපි වලින් හෙළිවන සාධක ද බොහෝය. මේහි ලෙනක ඇති ලෙන් ලිපියකට අනුව උත්තිය නම් කුමරුකුගේ අනුග්‍රහය මෙම පුදබිමට ලැබුණු බව සඳහන්ය. එමෙන්ම උත්තිය යනු දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා විය හැකිය. මෙම කාල වකවානුවේ දී සියලු පහසුකම්වලින් සමන්විත ආරාම සංකීර්ණයක් මෙහි තිබූ බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේලා උදෙසා මෙම ආරාම සංකීර්ණය පූජාකොට තිබිණි. පළවන පරාක්‍රමබාහු රජතුමාගේ ඥාතිවරියක් වශයෙන් සැලකෙන සුගලා දේවිය පළවෙනි පරාක්‍රමබාහු රජුගෙන් රාජ්‍ය පැහැර ගැනීමට දන්තධාතූන් වහන්සේ අතැතිව අභ්‍යන්තර කැරලි ඇති අවස්ථාවේ ඇය කලක් සැඟවී සිටීම සඳහා මෙහි ලෙන් උපයෝගී කරගත් බවට මත ඉදිරිපත් වේ. ඇතැම්හු මෙම ස්ථානයේ සුගලා දේවිය විසින් දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබූ බව පවසති. එමෙන්ම පරාක්‍රමබාහු රජු හා සුගලා දේවිය අතර සටනක් ද මෙම ප්‍රදේශයේ ඇතිවූ බවට මත ඉදිරිපත් කරති.
සීගිරි සිතුවම් වලට සමාන ස්ත්‍රී රූපවල සිතුවම් කීපයක් මෙහි ලෙන් තුළින්ද හමුවී තිබේ. මේවා කාලයත් සමඟ විනාශ වී ගියද අදටත් දැකිය හැකිය. එමෙන්ම මෙම ප්‍රදේශයට ආසන්නයේ ඇති පුල්ලිගොඩ විහාරයෙන්ද සීගිරි සිතුවම් වලට සමාන සිතුවම් හමුවේ. මෙම ස්ථානයේ ඇති ස්ථූපවල සුගලා දේවිය හා ඇගේ ඥාතීන්ට අයත් වටිනා ආභරණ නිධන් කරන්නට ඇති බව ඇතැම්හු කියති. එවැනි මිථ්‍යා මත හේතුවෙන් මෙය නිදන් සොරුන් විසින් විනාශ කර ඇත. එමෙන්ම මෙම ස්ථානයේ කරන ලද කැණීම් කටයුතුවලින් චත්‍ර හා චත්‍ර දණ්ඩක් පළිඟු වලින් කරන ලද කරඬුවක් පබලු ආදිය ද හමුවී ඇත. ඊට අමතරව ගල්කුළුණු පැන් පොකුණු කැටයම් ආදිය හමුවේ. මෙයින් හමුවන එක් ලෙනක් දිගින් වැඩිම ලෙනක් ලෙස සැලකේ.
අපි පහළට බැස ඒ ආසන්නයේ පවතින වැවෙන් ජලය රැගෙන අත් පා සොදාගෙන ගිමන් නිවා ගත්තෙමු. වියළි කලාපයේ පවතින කවුඩාගල ආරණ්‍ය සේනාසනය ඉතා මනරම් භූමි භාගයකි. සොබාව සෞන්දර්ය විඳීමට මෙන්ම ආගමික වත්පිළිවෙත් සඳහා ද තෝරාගත හැකි ස්ථානයක් ලෙස මෙය සැලකිය හැක.
පැළ රෝපණ වැඩසටහනක් ද මෙහි ක්‍රියාත්මක වේ ඇතැම්හු මේහි යන විට පැළයක් රැගෙන ගොස් රෝපණය කරති. නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැරැණි දාගැබ කැනීම් කර දෙස් විදෙස් ධන පරිත්‍යාගයකින් ආධාර ඇතිව ඉදිකර තිබේ. එය වැදගත් වන්නේ තවත් අනාදිමත් කාලයක් බෞද්ධ ජනයාගේ වන්දනාමානයට ලිය ලක්වන බැවිනි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉටු වූ මෙම දාගැබ තවත් කාලයක් මිනිසා විරාජමානව පවතී. එය මෙම පුදබිමේ ප්‍රෞඪත්වය වර්ධනය කිරීමට තවත් උපකාරී වේ. පැරැණි ආරාම සංකීර්ණයක් වූ මෙය දැකබලා ගැනීමට එහි යෑමට කිසිවකුට කිසිවෙකුගෙන් බාධාවක් නැත. එහි පෞරාණිකත්වයට හානි නොකර එහි අසිරිය විඳීමට වගබලා ගත්ත යුතුය.
සටහන

අනූජා දසවර්ධන
