බුද්ධත්වය අවබෝධ කිරීමෙන් මාස දෙකකට පමණ පසු ඇසළ පුන් පොහෝ දින බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි මිගදායේදී පස්වග තවුසන්ගේ පැවිදි උපසම්පදාවත් සමග සඟසසුන ආරම්භ විය. එසේ ඇරඹුණු ශාසනය තුළ නොබෝ කලකින් ම සාමාජික සිමාජිකාවන් දසදහස් ගණනින් වර්ධනය වන්නට විය. සම්බුද්ධ ශාසනයෙහි සාමාජික සිමාජිකාවන් වර්ග හතරකට බෙදා දක්වා තිබේ. එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුවෙනි. මෙහි දී සංඝ යනුවෙන් හඳුන්වනු ලබන්නේ භික්ෂු සහ භික්ෂුණී යන දෙපිරිසයි. භික්ඛුසංඝ යනුවෙන් භික්ෂු සමූහයාත් භික්ඛුණීසංඝ යනුවෙන් භික්ෂුණී සමූහයාත් හඳුන්වනු ලැබේ. භික්ෂු සහ භික්ෂුණී දෙපිරිසම එක් වූ කල්හි උභතෝසංඝ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම මහත් වූ සමූහය හෙවත් මහාසංඝයා තුළ ශාසනික වශයෙන් විවිධ අධිගමයන් ලැබූ උතුමන් වහන්සේලා වැඩසිටිති. අධිගමයන් නොලැබුව ද උසස් සීලාදී ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ උතුමන් වහන්සේලාද බොහෝ සෙයින් වැඩසිටිති. එනිසා මහාසංඝයා උදෙසා යමක් පූජා කිරීම හෝ මහා සංඝයා වෙත සිත පහදවා ගැනීම ද බොහෝසෙයින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වන බව ධර්මයෙහි පැහැදිලි කර තිබේ. එසේම මහා සංඝයාට ගැරහීම, නින්දා අපහාස කිරීම හෝ මහාසංඝයා කෙරෙහි සිත දූෂණය කරගැනීම ද අයහපත් ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි.
වර්තමානය වන විට පෞද්ගලිකව භික්ෂූන් වහන්සේලාටත් පොදුවේ මහා සංඝරත්නයටත් අපහාස උපහාස කිරීම, චෝදනා කිරීම, හෙලා දැකීම, නින්දාසහගත ලෙස බැනවැදීම ආදී විවිධ දේ වැඩි වශයෙන් සිදුවන බවක් දක්නට ලැබේ. මෙය විවිධ මාධ්‍ය ඔස්සේ සිදුවන අතර විශේෂයෙන්ම සමාජ මාධ්‍යය ඔස්සේ වැඩි වැඩියෙන් සිදුවන බවක් දක්නට ලැබේ. ඇතැම් පිරිසක් හිතාමතා සංවිධානාත්මකව මෙය සිදු කරන අතර බොහෝ පිරිසක් කරුණු කිසිවක් නොදැන අනවබෝධයෙන් ඒවාට ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කරති. මෙයින් සිදුවන්නේ සහ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ සංඝයා හෑල්ලුවට ලක් කොට සාසනය පරිහානියට පත් කිරීමයි. එයට බොහෝ දෙනෙක් දැන හෝ නොදැන ඍජුව හෝ වක්‍රව සහයෝගය දක්වන බවක් පෙනෙන්නට ඇත.
සංඝයා හෑල්ලුවට ලක් කිරීමට අදහස් කරගෙන සිටින බොහෝ දෙනෙකු බොහෝ විට ඉලක්ක කර ගන්නේ සමාජයේ ප්‍රසිද්ධියට පත් ස්වාමින් වහන්සේලාය. උන්වහන්සේලාගේ දේශපාලන මතවාද හෝ වෙනත් පෞද්ගලික කරුණු මෙහිදී බොහෝ කොට විවේචනය කරති. ගිහි පැවිදි කාගේ වුවද දේශපාලන මතවාදයක් සදය ලෙස විවේචනය කිරීම ගැටලුවක් නැත. එය විය යුතු දෙයකි. එහෙත් මෙහිදී එවැන්නක් දක්නට නැති අතර එක් හිමි නමකගේ හෝ කීප නමකගේ දේශපාලන මතවාද හෝ වෙනත් පෞද්ගලික අඩුපාඩු හුවා දක්වමින් සමස්ථ සංඝ සමාජයම විවේචනය කිරීම සිදු කරයි. එය දේශපාලනයට කිසිම අයුරකින් සම්බන්ධ නොවන හෝ එම මතවාදය නොදරන්නා වූ බහුතරයක් භික්ෂූන් වහන්සේලාට කරන අසාධාරණයකි.
සමාජය තුළ සිදුවන තවත් දෙයක් නම් යම් භික්ෂුවක් නොහික්මුණු ක්‍රියාවක් කරන විට එය පටිගත කොට හෝ ඡායාරූපගත කොට හෝ සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය ප්‍රසිද්ධියක් එයට ලබා දීමයි. ඉතා කෙටි කාලයකින් එවැනි ප්‍රවෘත්තියක් බොහෝ වාර ගණනක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමෙන් එය කොතරම් සංවිධානාත්මකව සිදු වන්නේද යන්න පැහැදිලි වෙයි. එයින් සිදු වන වඩා හානිදායක ම දෙය නම් ඒවා බලා ප්‍රතිචාර දක්වන්නවුන් එම අදාල පුද්ගලයාට පෞද්ගලිකව දොස් නොකියා සමස්ථ සංඝයාට ම දෝෂාරෝපණය කිරීමයි. එය එම වරදට කිසිදු සම්බන්ධයක් නැති බහුතරයක් දෙනාට කරන්නා වූ අසාධාරණයකි.
ගිහි හෝ පැවිදි කවරෙකු වුවද වරදක් කරන්නේ නම් හෝ කළේ නම් ඔහු නිවරද කිරීම සමාජයේ සියලු දෙනාගේ යුතු කමක් හා වගකීමක් වෙයි. අංගුලිමාල ආදීන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවේ එම යුතුකම හා වගකීම ඉටු කිරීමයි. වැරදි කරන්නවුන් නිවැරදි කර සමාජ ගත කිරීමෙන් ඔවුන්ව විනාශ කර දමනවාට වඩා යහපත් ප්‍රතිඵල සමාජයට ලබාගත හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉහත දක්වන ලද ආකාරයට ඔවුන් සමාජ මාධ්‍ය තුළ නිර්දය විවේචනයට ලක් කිරීමෙන් සමස්ථයක් වශයෙන් මුලුමහත් සමාජය ම පරිහාණියට පත්වනවා හැර වෙනත් සිදු වන යහපතක් නැත.
සංඝසමාජය තුළ ධර්ම විනයෙන් බැහැරව තම මතයට කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලාද සිටිය හැකිය. එවැනි භික්ෂූන් පිළිබඳව සාසනය තුළ හඳුන්වා ඇත්තේ අලජ්ජි භික්ඛු යන වචනයෙනි. ඉන් කියැවෙන්නේ ලැජ්ජාවක් නොමැති භික්ෂුවක් යන්නයි. යම් ආකාරයකින් භික්ෂුවක් එබඳු තත්වයකට පත් වූයේ නම් එහි නරක ප්‍රතිඵලය ඒකාන්තයෙන් ම ඔහු වෙත පැමිණෙයි. එබැවින් එවැනි භික්ෂූන් පිළිබඳව අපගේ සිත් දූෂණය කර ගැනීම නිකරුණේ අපට හානි කර ගැනීමකි. අප කළ යුතු වන්නේ ඔවුන් පිළිබඳව අනුකම්පා කොට උපේක්ෂා සහගතව බැලීමයි. එසේ නොකොට සමස්ථ මහා සංඝරත්නය පිළිබඳව ම සිත දූෂණය කොට ගෙන සංඝ සමාජය නිර්දය ලෙස විවේචනය කිරීමෙන්, අයහපත් ප්‍රතිඵල ගෙන දෙන බලවත් වූ අකුසල කර්මයන් අප විසින් සිදු කර ගනු ලබයි.
මෙම උතුම් පොසොන් පුන් පොහෝ දින සියලු සත්වයෝ සත්‍ය වටහා ගනීවා.
සම්පාදනය
ආචාර්ය පූජ්‍ය දම්පේ විජිතරතන ස්ථවිර
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
මානෙල්වත්ත, බොල්ලෑගල
කැළණිය
