මානව ඉතිහාසයේ සිට මේ දක්වා ආ ගමන් මඟ පිළිබඳව විමසන කල්හි, අද පවතින මානව සමාජය ලෙසට පරිවර්තනය වීමට මූලික වශයෙන්ම හේතු වූයේ මිනිසාගේ බුද්ධිමය විප්ලවයත් සමඟ තම අවට පරිසරය කෙරෙහි ඇතිවූ කුතුහලයයි. ඉන් ඇතිවූ ගැටලු විසඳා ගැනීම සඳහා මඟ පෙන්වූ විෂයයක් ලෙස මානව විද්‍යාව වැදගත් වේ.
මානව විද්‍යාව යනු ලොව පුරා සිටින මිනිසුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ පරිණාමීය ඉතිහාසය, ඔවුන් හැසිරෙන ආකාරය, විවිධ පරිසරයන්ට අනුවර්තනය වීම, එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම සහ සමාජගත වීම පිළිබඳව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයයි. තවත් අයුරින් මෙය අරුත් දක්වන්නේ නම්, මිනිසාගේ සංස්කෘතිය හා භෞතික ලක්ෂණ පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීම වෙයි.
මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය අපව මිනිසුන් බවට පත් කරන ජීව විද්‍යාත්මක ලක්ෂණ වන කායික විද්‍යාව, ජාන සැකැස්ම, පෝෂණ ඉතිහාසය සහ පරිණාමය වැනි ලක්ෂණ ද සමාජ ප්‍රපංචයන් වන භාෂාව, සංස්කෘතිය, දේශපාලනය, පවුල සහ ආගම ආදී අංගයන්ද යන දෙකටම අදාළ වේ.

මානව විද්‍යාඥයින් මානව විද්‍යා විෂයය අපක්ෂපාතීව අධ්‍යයනය කර ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ පරිසරය තුළ ඒවා නිරීක්ෂණය කිරීමෙන්,මෙන්ම මානව වංශ විද්‍යාත්මක අර්ථකථන ඔස්සේ සමාජමය අන්තර්ක්‍රියාවන් සහ සිරිත් විරිත් විස්තර කිරීම, සංස්කෘතිය සහ භාවිතයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඒ තුළින් ලබා ගැනීම සඳහායි.
මානව විද්‍යාඥයින් විවිධ සමාජයන් පිළිබඳ නිවැරදි අර්ථකථන ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් විසින් ප්‍රාථමික ජන සමාජ අධ්‍යයනය සිදු කරන විට මානව කේන්ද්‍රවාදී වීම නොකළ යුතු වේ. මෙහිදී මානව කේන්ද්‍රවාදය යනුවෙන් හඳුවන්නේ තම සංස්කෘතිය වඩා උසස් කොට සැලකීම වෙයි. මෙකී මානව විද්‍යාව හැදෑරීමේ දී එය ප්‍රධාන උප විෂය ක්ෂේත්‍රයන්ට බෙදා අධ්‍යයනය සිදු කරන්නේ මෙම විෂය තුළ සංකීර්ණ ජීවියෙකු වූ මිනිසා පිළිබඳව අධ්‍යයනය සිදු කරන විට බහු විෂයාත්මක පදනමකින් එය විමසා බැලීම අවශ්‍යය නිසාවෙනි. එම විෂය ක්ෂේත්‍ර ලෙස, සංස්කෘතික මානව විද්‍යාව වාග් විද්‍යාත්මක මානව විද්‍යාව, පුරාවිද්‍යාව, භෞතික මානව විද්‍යාව ආදී විෂය ක්ෂේත්‍ර වැදගත් වෙයි.
සංස්කෘතික මානව විද්‍යාව, සමාජ මානව විද්‍යාව ලෙසද හැඳින්වේ. සංස්කෘතික මානව විද්‍යාඥයින් සංස්කෘතිය සහ මිනිසුන්ගේ විශ්වාසයන්, භාවිතයන් සහ මානව කණ්ඩායම්වල සංජානන හා සමාජ සංවිධානය පිළිබඳ ්අධ්‍යයනයට විශේෂත්වයක් දක්වයි.

වාග් විද්‍යාත්මක මානව විද්‍යාව තුළ හදාරනු ලබන්නේ, භාෂාව සමාජ ජීවිතයට බලපාන ආකාරය අධ්‍යයනය කිරීමයි. වාග් විද්‍යාත්මක මානව විද්‍යාඥයින් පවසන්නේ භාෂාව මිනිසුන්ට ලෝකයේ සිතීමට සහ ක්‍රියා කිරීමට බුද්ධිමය මෙවලම් සපයන බවයි. භාෂාමය මානව විද්‍යාඥයින් සමාජය සහ ඔවුන්ගේ සමාජ ජාල, සංස්කෘතික විශ්වාසයන් සහ තමන් සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ අවබෝධය හැඩගස්වන ආකාරය පිළිබඳව අවධානය යොමු කරයි.
පුරාවිද්‍යාව යනු ද්‍රව්‍යමය අවශේෂ යොදා ගනිමින් මානව අතීතය අධ්‍යයනය කිරීමයි. මෙම අවශේෂ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද, වෙනස් කරන ලද හෝ භාවිතා කරන ලද ඕනෑම වස්තුවක් විය හැකිය.
පුරාවිද්‍යාඥයන් ඉතිහාසය පුරාවටම මිනිසුන්ගේ සහ ශිෂ්ටාචාරවල අත්දැකීම් සහ ක්‍රියාකාරකම් විග්‍රහ කිරීම සඳහා මෙම වස්තූන් ප්‍රවේශමෙන් අනාවරණය කර පරීක්ෂා කරති. පුරාවිද්‍යාඥයන් බොහෝවිට තම කටයුතු යොමු කරන්නේ ඉතිහාසයේ නිශ්චිත කාලපරිච්ඡේදයකටය.
පුරාවිද්‍යාඥයන්ට ප්‍රාග් ඓතිහාසික සංස්කෘතීන් අධ්‍යයනය කළ හැකිය. මෙම අධ්‍යයනයන් වැදගත් වන්නේ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතියක ජීවන රටාවක් ප්‍රතිනිර්මාණය කිරීම කළ හැක්කේ ඔවුන්ගෙන් ශේෂව පවතින පුරාවස්තු අර්ථ නිරූපණය කිරීමෙන් පමණක් බැවිනි.
භෞතික මානව විද්‍යාව වනාහී මනුෂ්‍යයාගේ භෞතික පැතිකඩ පිළිබඳව අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රය වෙයි. මිනිසුන්ගේ පරිණාමය සහ ඔවුන්ගේ ෆොසිල තුළින් පරිණාමය අධ්‍යයනය කරයි. තවද භෞතික මානව විද්‍යාව වනාහී සංස්කෘතිය ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම කෙරේ මානව භෞතික හැඩගැස්වීම ජීවවිද්‍යාත්මකව සිදු වී ඇත්තේ කෙසේද යන්න විග්‍රහ කරයි.
මෙලෙස සමස්ථයක් වශයෙන් ගත් විට මානව විද්‍යාව යනු සංස්කෘතික හා ජීව විද්‍යාත්මක යන දෙඅංශයෙන්ම මානව තත්වය අවබෝධ කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් අතීතයේ සහ වර්තමාන මිනිසුන් පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යයනය වේ.
තවද මානව විද්‍යාව වනාහී මනුෂ්‍යත්වය සහ විවිධත්වය යන සංකල්පයන් න්‍යාය ගත කිරීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ඇති කරන සහ ලෝකයා පිළිබඳව නව දෘෂ්ටිකෝණයකින් අර්ථ් විවරණය කිරීමට ඉඩ ලබා දෙන විෂය ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගත හැකි වේ.
සටහන –


