‘මානුෂික ශක්තිය’ වර්ධනය කරන ‘රැකියාභිමුඛ අධ්‍යාපනය’ (Career Education)

author
0 minutes, 56 seconds Read

‘මානුෂික ශක්තිය’ යනු කුමක්ද?

දරුවන්ට ස්වාධීනව දෙපයින් නැගී සිටින්නට අනුබල දෙන නිපුණතා මොනවාද? ගෝලීය සමාජයක ජීවත්වන අපට සංස්කෘතිය හා ආගමික පසුබිම ආදී අංශවලින් වෙනස් වූ පුද්ගලයන් සමඟ එකට වැඩ කරන්නටත්, තමන් උපන් හැදුණු-වැඩුණු රටින් බැහැරව විදේශවල ජීවත් වීමටත් සිදුවේ. එහිදී උපකාර වන නිපුණතා මොනවා ද? අධ්‍යාපන පටිපාටියේදී හුදෙක් විභාගවලින් සමත් කරවීමේ මගට පමණක් දරුවන් සීමා නොකර ඉගෙනුමත් අනාගතයත් අතර ඇති සම්බන්ධයට අවධානය යොමු කරවීම අවශ්‍ය වෙයි. එහිදී සුඛනම්‍ය ලෙස ගැටලුවලට මුහුණ දීමේ ශක්තිය හා තම ඉදිරි ජීවිතය සකස් කරන රැකියා සැලසුම් නිපුණතාව (Career Planning Skill) ඇති කර ගැනීමට දරුවන් පුරුදු-පුහුණු කළ යුතුයි.

අනාගතය අවිනිශ්චිතව පවතින යුගයක ස්වශක්තියෙන් ජීවත් වීම සඳහා මග පෙන්වන අධ්‍යාපනයක් ලබා දීමට ජපන් සමාජය විශේෂ උත්සාහයක් ගනී. පාසලේදී ගුරුවරයා උගන්වන දේ පමණක් මතක තබා ගැනීමට වඩා සිසුදරුවන් තමන් විසින් ගවේෂණය කර අලුත් දේ සොයා ගන්නා ලෙස නැඹුරු කරවන අධ්‍යාපන රටාවක් ජපානයේ පැළපදියම් වෙමින් පවතී. අද සමාජය හා ව්‍යාපාරික ආයතන අගය කරන්නේ තමන් විසින්ම සිතාමතා ක්‍රියාත්මක වීමේ හැකියාවයි. මෙය පොදුවේ ‘මානුෂික ශක්තිය’ලෙස හඳුන්වනු ලැබේ.

නිදර්ශනයක් දක්වනවා නම්, යොකොහාමා නගරසභා හත්සුනේගවොකා ප්‍රාථමික පාසලේ පළමුවැනි ශ්‍රේණියේ වැසිකිළි කාමරය ප්‍රියමනාප හැඟීමක් ඇති නොකරන, අඳුරු පෙනුමකින් යුතු එකක් ලෙස පෙනිණි. සිසුදරුවන් එය හැඳින්වූයේ ‘හොල්මන් ගේ’ කියාය. සමහර සිසුහු තනියම එහි යාමට පවා අකමැත්තක් දැක්වූහ. පන්තිය භාර ගුරුවරයා වූ 38 හැවිරිදි අයිසවා මසයා මහත්මයා මේ ගැන මොකද කළ හැක්කේ කියා සිසුන්ගෙන් විමසා ඒ ගැන සාකච්ඡා කරන්නට සිසුන් පෙළඹවිය.

සිසුන්ගේ යෝජනාව වූයේ වැසිකිළි කාමරයේ බිත්තිවල ප්‍රියජනක චිත්‍ර ඇඳීමයි. ශිෂ්‍යයෝ එවැනි බිත්ති පින්තූර අඳින්නට ඉදිරිපත් වූහ. එහෙත් ආරක්ෂාව හා සනීපාරක්ෂාව අතින් එය වගකීම්බර වැඩක් බව ගුරුවරයාට පෙනිණි. නමුත් ඔහු දරුවන්ගේ හැකියාවන් ගැන විශ්වාසය තැබීය. සිසුදරුවන් 29 දෙනාගෙන් 20 දෙනෙක්ම පසුදින අඳින චිත්‍රය පිළිබඳ සැලසුම් යෝජනා ගෙනාහ. තවදුරටත් පංතියේ සාකච්ඡා කරගෙනයාමෙන් පසු ඔවුහු අඳින උපකරණ හා ආරක්ෂා සහිතව ඇඳීම පිලිබඳ වගකීම් බෙදා-හදා ගත්හ.

 මාස 2 ක් ඇතුළත ශිෂ්‍යයෝ බිත්ති චිත්‍ර ඇඳ නිමා කළහ. කාමරයේ බිම තීන්ත බිංදුවක්වත් නොවැටෙන්නට ද ඔවුහු වග බලාගත්හ. පින්තූරයෙන් පිළිබිඹු වූ දේ නම් පාසල් ගොඩනැගිල්ල, දේදුන්නක්, සකුරා මල් පිපුණු ගහක් හා පියාඹන තල්මහෙක්ය.‘හොල්මන් ගේ’ අතුරුදහන් වී,ළමා මනසට ප්‍රිය උපදවන සුන්දර වැසිකිළියක් බිහිවූ වගයි.

තවත් නිදර්ශනයක් පෙන්වන්නම්. මා පදිංචි ඔකිනවා ප්‍රාන්තයේ එක පාසලක උසස්පෙළ පන්තිවලට සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් තිබේ. මේ පාඨමාලාවේ විශේෂ උද්‍යෝගපාඨය ලෙස සඳහන් වෙන්නේ ‘මානුෂික ශක්තිය වඩවන සංනිවේදනය’ යන්නයි. ඉංජිනේරු විද්‍යා පාඨමාලාවකට සංනිවේදනය  මූලික වෙන්නේ කෙසේද කියා බොහෝ දෙනෙකුට කුකුසක් ඇති විය හැකිය. පාඨමාලාවට බැඳෙන ශිෂ්‍යයන්ට උසස්පෙළ වසර තුනේම සිසුන් අතර සහසම්බන්ධය හා සංනිවේදනය ඇති කර ගැනීමේ විශේෂ වැඩසටහනක් මේ පාසල මගින් ක්‍රියාත්මක කර ඇත. එහි පරමාර්ථය වී ඇත්තේ සමඟිය හා සාමූහිකත්වය පිළිබඳ හැඟීම වර්ධනය කිරීමත්, එකිනෙකාගෙන් ඉගෙන ගන්නට අවස්ථාව සැලසීමත්ය. ඉංජිනේරු අංශයෙන් ජාතික මට්ටමේ සුදුසුකම් ලබා ගත් ඉහළ පන්තිවල ශිෂ්‍යයෝ ‘මේ විදියට වැඩ කළොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි’ කියා පහළ වසරවල සිසුන් දැනුවත් කරති. මේ අන්‍යොන්‍ය ඉගෙනුම හා අන්‍යොන්‍ය අභාසය ලැබීම මානුෂික ශක්තියේ විශේෂ ලක්ෂණයකි.

පූර්වළමා අවධියෙන් පටන් ගන්නා රැකියාභිමුඛ අධ්‍යාපනය 

 අවාසනාවකට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ තවමත් අර පැරණි අධ්‍යාපන ක්‍රමයයි.මේ දක්වා ලංකාවේ අපි ඉගෙන ගත්තේ නිවැරදි පිළිතුර කුමක්ද කියා මතකයේ තබා ගැනීමටයි.නමුත් දැන් අපේක්ෂා කරනු ලබන්නේ විමසා බලා විග්‍රහ කර බැලීමේ ශක්තියයි. සහතිකපත්වලට වඩා අපට අවශ්‍ය වෙන්නේ එකට වැඩ කළ හැකි මානුෂික ශක්තියෙන් පිරි අයයි. නිවැරදි පිළිතුර හොයා මතක තියා ගන්නවාට වඩා, කළ යුතු දේ තම වගකීමෙන් යුතුව තෝරාබේරා ගෙන තීරණය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ශක්තිය වැදගත් වේ. එහිදී තමන්ගේ දුර්වලතා හා ශක්තීන් හඳුනාගෙන තමන්ට නැතැයි සිතෙන, මදියයි සිතෙන නිපුණතා හා ශක්ති වර්ධනය කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඒ සඳහා කුඩා කාලයේ සිටම සාර්ථක වීමේ හා අසාර්ථක වීමේ අත්දැකීම් හැකිතරම් ලබා ගෙන තිබීම වැදගත්ය. එසේ වර්ධනාත්මක වැඩිහිටියකු වීමේ පදනම සකස් වෙන්නේ ගෙදර හා පවුල තුළින්ය. දරුවන්ට නිවෙස තුළ යම් යම් වගකීම් පවරා, ඔවුන් ඒවා ඉටු කරන තුරු විමසිලිමත්ව බලා සිටීමට දෙමව්පියන් හා වැඩිහිටියන් පුරුදු විය යුතුය.

දරුවාගේ පාසල් බෑගය පවා දෙමව්පියන් කර තියාගෙන යන සමාජයක්ය,ලංකාවේ තිබෙන්නේ. තවත් විදියකින් කියනවා නම්, දරුවන්ට නිසියාකාරව වගකීම් නොපවරන හා පුරුදු නොකරවන සමාජයක්. ජපන් සමාජයේ පෙරපාසලේ සිට ළමයා තමන්ම සපත්තු පැළඳගෙන පොත් බෑගය රැගෙන පාසැල දක්වා ගමන් කරයි. දරුවන්, කරන්න කැමති දේවලට පමණක් නොව කළ යුතු දේවලට ද යොමු කර, ඒවා ඉටු කරනු පිණිස ද මඟ පෙන්වීම වැඩිහිටියන්ගේ යුතුකමකි. පවුල තුළ ටීම් එකක් හැටියට තමතමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු කළේ නැති නම් කරදරයට පත් වෙන්නේ කවුද, කෙසේද යන්න දරුවන්ට කියා දිය යුතුය. අප කරන කියන දේ සහ නොකර අත්හරින දේ ද පවුල් සංස්ථාවට හා සියලු වැඩකටයුතුවලට, අවසාන වශයෙන් තම අනාගතයට හා සමාජයට බලපාන බව දරුවන්ට පැහැදිලි කර දිය යුතුය.

අභියෝගවලට මුහුණ දී ජය ගැනීමේ ශක්තිය පූර්ව ළමා අවධියේ සිට වර්ධනය කළ යුතු බව සංජානන චර්යා විශේෂඥයෝ පෙන්වා දෙති. සංජානන ශක්තිය අඩු-වැඩි ප්‍රමාණයට අනුව මොළයේ ඉදිරිපස කොටස කුඩා හෝ විශාල වන බව MRI පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත. තවද, ළමුන්ගේ හැකියාව හා අනන්‍යතාව නොසලකා එකවරම විශාල බරක් පැටවීමෙන් ඔවුන් අධෛර්යට පත් වන බව ද මේ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ළමුන් ප්‍රහේලිකා වැනි දේට යොදවා අරමුණ ඉටු කර ගැනීමේ, ජය ගැනීමේ තෘප්තිය ලබා ගන්නට  අවස්ථා සැලසීම මගින් ඔවුන්ගේ ඉගෙනීමේ උනන්දුව වැඩි දියුණු කළ හැකිය. එකවරම විශාල ඉලක්කයක් වෙත යොමු නොකර එකම ඉලක්කය වුවද පුංචි පුංචි ඉලක්කවලට කඩා වෙන් කර අවස්ථාවෙන් අවස්ථාවට ඉදිරිපත් කිරීමෙන් දරුවන් තුළ එම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ  ශක්තිය හා උනන්දුව වැඩි වී මනසේ තෘප්තිය, ඉෂ්ටප්‍රාප්තිය පිළිබඳ විශ්වාසය වර්ධනය වී, දරුවාගේ මොළයේ වර්ධනය ද සිදු වන බව තවදුරටත් පෙන්වා දී තිබේ. ළමයාගේ හැකියාව හා අනන්‍යතාව හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි පුහුණුව ලබා දීමයි අවශ්‍ය වෙන්නේ.

‘කැමතියි’ සහ ‘පුළුවන්’යන දෙකේ වෙනස

යම්කිසි දේකට කැමතියි කියන එකත්, යම්කිසි දේකට විශේෂ හැකියාවක් තිබෙන බවත් එකම නොවෙයි. කැමති වුවද හැකියාව නැති අය අප අතර කොතෙකුත් දකින්නට ලැබේ. කැමැත්ත තිබේ නම් ඒ මාර්ගයෙන් හැකියාව වර්ධනය කර ගත යුතු බව, සාර්ථක-අසාර්ථකත්වයේ හේතු මොනවාද යන්න විග්‍රහ කර පෙන්වා දීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි. එවැනි ක්‍රියාවලියක් තුළින් දරුවා තුළ දැනුවත්බව, ආත්මවිශ්වාසය,

ස්තුතිපුර්වක හැඟීම වර්ධනය වී, ස්වයංඅවබෝධය ද ඇති වේ. ලංකාවේ බොහෝ දෙනා තුළ, උගත්කම තිබුණත් දැන-උගත්කම නැති බව පෙනීගිය අවස්ථා බොහෝය. උගත්කම පමණක් තිබුණට සමාජයේ සාර්ථකව වැඩ කළ නොහැකිය. ඒ සඳහා දැන-උගත්කම අවශ්‍යයි.

   පසුගියදා අ.පො.ස. (උසස් පෙළ) ඉහළින් සමත් වූ ශිෂ්‍යාවක් ජපානයට යන්නට කැමතියි කියා උපදෙස් පතා පැමිණියාය. ‘ඇයි ජපානයට යන්න හිතුවේ? ජපානයට කැමති ඇයි?’ යන ප්‍රශ්නයට ඇයට පිළිතුරු දී ගත නොහැකි විය. ඇයගේ පිළිතුර වූයේ ‘දන්නෙ නෑ, එහෙ ගිහින් සෙට්ල් වෙනව නම් හොඳයි කියල හිතුණා’ යන්නයි. කැමතියි, ආසයි යන හැඟීමත්, අධිෂ්ඨානය, හැකියාව තියෙනවා යන විශ්වාසජනක අවබෝධයත් අතර තරමක පරතරයක් ඇත. ඒ පරතරය පියවා ගත හැක්කේ තමන් කැමති දේ ගැන පළල් ලෙස හා ගැඹුරින් හැදෑරීමෙන් ය. ඒ අවබෝධය හා හැදෑරීම නැති තැන ඉදිරියට යා නොහැකිව එක තැනම හිරවී ඉඳින්නට සිදු වනු ඇත. 

වැඩිහිටියන්ගේ වගකීම හා ආකල්ප පෙරළිය

   දරුවන්ට වැඩිහිටියන් බවට පත්වීමේ ක්‍රමානුකූල පියවර ගැන කියාදීමේ දී ඉතාම සමීප ආදර්ශරූපය වෙන්නේ දෙමව්පියෝය. තම දෙමව්පියන් වැනි වැඩිහිටියන් වීමට නම් කැමති නැතැයි කියන දරුවෝ ද සිටිති. ළමයින්ගේ අපේක්ෂා නොසලකා හැර දරුවා වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු හෝ නීතිඥයකු කිරීමේ දෙමාපිය බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට උනන්දු වීම නිසා දරුවන්ට දැරිය නොහැකි විශාල බරක් ඔවුන්ගේ මනසට දැමීමෙන් රට තුළ සමස්ත අධ්‍යාපනික අපයෝජනයක් සිදු වෙමින් පවතින බව ප්‍රතිපත්ති සම්පාදකයන්, ගුරුවරුන් හා දෙමව්පියන් අවබෝධ කර ගෙන නොසිටීම විශාල අභාග්‍යයකි.

   එක්තරා සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇති පරිදි, ‘ගෙදරදී සිදු වෙන ඔයාලා අකමැතිම දේ මොකද්ද?’යයි දරුවන්ගෙන් විමසූ විට, වැඩිම ළමයින් සංඛ්‍යාවක් දුන් පිළිතුර වූයේ ‘අම්මලා තාත්තලා මාව අනෙක් සහෝදර සහෝදරියන් එක්ක සංසන්දනය කරන එකයි’ යන්නය. ඒ ඒ දරුවාගේ අනන්‍යතාව හා හැකියා මට්ටම ගැන නොසලකා හැරීම දරුවන්ගේ මනසට තදින් බලපාන බව මෙයින් පැහැදිලි වේ.අප විසින් කළ යුත්තේ, හැම දෙනාම කරන නිසා කරන්නට දරුවන් පෙළඹවීම නොව, තමන් විසින් හිතා බලා තීරණය කර ක්‍රියාවට නැංවීමේ  ධෛර්ය හා හැකියාව දරුවා තුළ පිබිදවිමයි.

    මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් පසු අඳුරු මුහුණින් යුතුව හා අඬා වැලපෙමින් කාලය ගත කළ සිසුදරුවන් ගැන බොහෝ දෙමව්පියන් වෙතින් අසන්නට ලැබුණි. විභාගය පමණක් ජීවිතය නොවන බවත්, අනෙක් අතට ජිවිතයම විභාගයක් බවත් අප දරුවන්ට කියාදී නැති බව එහිදී පෙනුණි. එපමණක් නොව වැඩිහිටි මතිමතාන්තරවලින් ළමා මොළ ශෝධනයට ලක් කර ඇති බවයි. අනේක වාරයක් අභියෝගවලට මුහුණ දෙමින් ජය-පරාජය හා සාර්ථක-අසාර්ථක බව බාර ගැනීමට පුරුදු වීමත්, ඒ හැම අවස්ථාවකදීම මනසින් ආවර්ජනය, ප්‍රත්‍යවලෝකනය (Reflecting) කරමින්, හේතුසාධක විමසා බලා ස්වශක්තිය පිළිබඳ විශ්වාසය ඇතිකර ගැනීමේ ක්‍රියාවලියත් සිදු වන්නේ නම් එවැනි තත්වයන් වලකාගත හැකි වනු ඇත.  

    රැකියාභිමුඛ අධ්‍යාපනය උසස් පෙළින් පසුව – පාසල් අධ්‍යාපනයෙන් පසුව යොමු විය යුතු අංශයක් ලෙස සලකන්නට අපි පුරුදු වී සිටිමු. එය යල්පැනගිය සිතිවිල්ලක් බව අප තේරුම් ගත යුතුය. රැකියාව හෙවත් Career යනු ජීවිතයේම අංගයකි. අධ්‍යාපනයේ පරමාර්ථය දරුවන් ජිවත් වීමට පුරුදු-පුහුණු කිරීම නම් රැකියාභිමුඛ අධ්‍යාපනය කුඩා කාලයේ සිටම ලබාදිය යුතුය. මේ කියන රැකියාභිමුඛ අධ්‍යාපනය යනු වෘත්තීය අධ්‍යාපනය හෝ එක් විශේෂ රැකියාවකට පුහුණු කිරීම නොවේ. මොන රටේ  මොන රැකියාවක් කළත් එහිදී අවශ්‍ය වෙන මූලික ආකල්ප, හැකියා හා හර අධ්‍යාත්මගත – පුද්ගලගත කිරීමයි. සැබෑ රැකියාභිමුඛ අධ්‍යාපනය පූර්වළමා අවධියේ සිටම ආරම්භ විය යුතු බවත්, එය මිනිස් ගුණධර්ම හා නිපුණතා වඩවන මානුෂික ශක්තිය හා අත්‍යන්තයෙන්ම බැඳී ඇති බවත් අවබෝධ කර ගත යුතුය. ළමා පරපුර හදන්නට නම්, අධ්‍යාපනය වෙනස් කරන්නට නම්, අධ්‍යාපනය පිළිබඳව අප තුළ පැළපදියම් වි ඇති මතිමතාන්තර වෙනස් විය යුතුය.

සටහන – මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa