මාතලේ සිට දඹුල්ල දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටිය හන්දියෙන් හැරී කිලෝමීටර් හතරක් පමණ අතුරු මාර්ගයේ ගමන් කර මැණික්දෙන පැරණි පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයට ඉතා පහසුවෙන් ගමන් කළ හැකිය. මෙම මාර්ගයේ පුරාවිද්‍යා ස්ථානයට ගමන් කරන මාර්ගය නම් කළ පුවරු ඇති බැවින් හඳුනා ගැනීම අපහසු නොවේ. මාර්ගය හොඳින් සකසා ඇති බැවින් කිසිදු අපහසුවකින් තොරව ඕනෑම වාහනයකින් එම ස්ථානයට ළඟා විය හැකිය. මෙම භූමියේ වැව් දෙකක්, දාගැබක්, ගල්කුළුණු විශාල ගණනක් ආදී වූ නටබුන් රාශියක් දැක ගත හැකි වේ. මෙය පුරාවිද්‍යාත්මක ස්ථානයක් පමණක් නොව වන රක්ෂිතයකි. පැරැණි නටබුන් දැකබලා ගනිමින් අපේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව තොරතුරු පමණක් නොව වන රක්ෂිතය නැරඹීමෙන් පාරිසරික වටිනාකමක්ද මෙහි දී ලබා ගත හැකිය.

මෙය පැරැණි ලක්දිව ජනප්‍රිය බෞද්ධ ආරාම වර්ගයක් වූ පබ්බත විහාර සම්ප්‍රදායට අයත් වේ. ස්ථූපය, බෝධිඝරය ,ප්‍රතිමා ගෘහය හා උපෝසථාගාරය යන ප්‍රධාන වාස්තු විද්‍යාත්මක අංග මෙන්ම ඉහලට එසවුණු වේදිකාවක් මත ප්රාකාරයකින් වටවී පබ්බත විහාර ඉදිකර තිබේ. එම ප්රාකාරයට පිටින් භික්ෂූන් වහන්සේලාගේ ආවාස වැනි ගොඩනැගිලි පිහිටන අතර ඊටත් පිටතින් වන ප්රාකාරයකින් සම්පූර්ණ විහාරස්ථානය වටවී ඇත. බොහෝ විට මෙම පිටත ප්‍රාකාරය වටා දිය අගලක් පවතී. මැණික්දෙන පබ්බත විහාරයේ විශේෂත්වය වන්නේ එහි පූජනීය චතුරස්රයේ ඉහතින් සඳහන් කළ ගොඩනැඟිලි හතරට අමතරව සභා ශාලාවක් ද දක්නට ලැබීමය. අනුරාධපුර යුගයේ මැඳ භාගයේ සිට අවසාන කාලය දක්වා ජනප්‍රියව පැවති පබ්බත විහාරය සාම්ප්‍රදාය මැනවින් පිළිබිඹු කරන මැණික් දෙන පබ්බතාරාමය ලාංකික වාස්තු විද්‍යා සම්ප්රදායේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම පුරාවිද්‍යා භූමිය හෙක්ටයාර් 2ක පමණ භූමි භාගයක පැතිරී පවතී. මෙහි ඓතිහාසිකත්වය පිළිබඳ විමසීමේ දී කිත්සිරි මේඝ රාජ්‍ය සමයේ දක්වා නෑකම් කියයි. ඇතැම් පුරාවිද්‍යාඥයෝ මෙය ක්‍රිස්තු වර්ෂ 3-4 වැනි සියවස්වලට අයත් යැයි පවසති. මෙය අතීතයේ සිටම සිල්වත් රහතන් වහන්සේලාගේ වාසයට පූජා කර ඇති බවට මූලාශ්‍රය සාක්ෂි දරයි. මෙහි වැව ආසන්නයෙන් ඇතුළු වීමට මාර්ගය පවතින අතර මුලින්ම දැකගත හැකි වන්නේ ආරක්ෂක ගල් වලින් වට වූ පුළුල් කළුගල් පඩි හයක් සහ හිස් සඳකඩපහණකි. එම සඳකඩපහණෙහි අනුරාධපුර යුගයේ හෝ පොළොන්නරු යුගයේ දක්නට ලැබෙන කලාත්මක කැටයම් දක්නට නොමැත. දකුණු පසින් සෙල්ලිපියක් දක්නට ඇති අතර එය ස්ථම්භයක් මෙන් පිහිටුවා ඇත. අනතුරුව උස් වේදිකාවක් මත ඉදිකරන ලද ස්තූපය දක්නට ලැබේ. එමෙන්ම ඒ ආසන්නයේ ගල් කුළුණු විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඊට අමතරව බුද්ධ ප්‍රතිමා මෙන්ම සිරිපතුල් ගලක් ද දක්නට ලැබේ. මෙම ප්‍රදේශයට ආසන්නයේ හෙක්ටයාර් 14ක් පමණ වනාන්තරයේ පවතී.

මෙම ස්ථානය පිළිබඳව ඓතිහාසික මත බොහෝමයක් පවතී. ෆොර්බ්ස් පවසන්නේ ජන වහරේ කියවෙන පරිදි මැණික්දෙන නුවර සිරිසඟබෝ රජතුමාගේ මාලිගාව පිහිටි ස්ථානය බවයි.ඊට අමතරව හතරවන සියවසේ මුල් අවදියේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූ දන්ත කුමරු එම නුවර වැඩිදියුණු කළ බවද සඳහන් කරයි. එමෙන්ම මෙරට සෙල්ලිපි ගවේෂණයේ පුරෝගාමියකු වන එඩ්වඩ් මියුලර් ද පවසා තිබෙන්නේ ලෙනදොර තානායමේ සිට සැතපුම් 3ක් පමණ දුරින් මාලිගාවක නටබුන් හමුවන අතර එයට ඇතුළුවන ස්ථානයේ ඇති සෙල්ලිපි පේලි 4ක් පමණ ඉතිරිව පවතින බව හා එහි මුලුන්ගමු වෙහෙර යන වචනය දැකිය හැකි බවත් එය මහාවංශයේ සඳහන් වන මුලානගාමය ලෙසින් හැඳින්වෙන නමට සමාන බවත්ය. එමෙන්ම මෙම වනාන්තරය පුරා විශාල වශයෙන් හමුවන කණු විසි හතරක් සහිත විහාරයක නටබුන්ද ඒ අතර ඇති බවත් සඳහන් කර තිබේ.
මෙම ස්ථානය පිළිබඳව විධිමත් ගවේෂණයක නිරත වූ එච්.සී.පී.බෙල් මහතා සඳහන් කර ඇත්තේ මෙහි බෞද්ධ සංගාරාමයක නටබුන් පවතින බවයි. එමෙන්ම මෙහි තිබූ සෙල්ලිපි තුනක් එච්.සී.පී.බෙල් මහතා විසින් කියවා තිබේ. එම ලිපියක බුද්ගම් වෙහෙර යන නම සඳහන් වන බව හා අම්බමු ප්‍රදේශයේ පිහිටි එම වෙහෙරට කොබෝයටලීයේ සෙන් නැමැත්තෙක් මහදෙන- පුළු-උම්බර් නම් වූ කුඹුරු ඉඩම පිරිනැමූ බව එම ලිපියේ කියවෙන බවයි. තවත් ලිපියක්ගෙවී ගොස් ඇති නිසා අබා සල මෙවන් නම් රජෙකුගේ අටවන රාජ්‍ය වර්ෂය යන සඳහන පමණක් කියවිය හැකි බවත් ප්‍රකාශ කරයි. එමෙන්ම ඔහු එම පුවරු ලිපි දෙකම දහවන සියවසට අයත් බව කාල නීර්ණය කර තිබේ.

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා මැණික්දෙන පුරාවිද්‍යා භූමියේ තිබී කියවා පළ කළ සෙල්ලිපි පහක් පවතී. ඉන් එකක් ටැම් ලිපියක් වන අතර අනෙක්වා පුවරු ලිපි වේ. ඉන් ලිපි දෙකක් හඳුනා නොගත් අබා සලමිවන්නම් විරුදය ලත් රජුන්ගේ රාජ්‍ය කාලයන්හිදී පිහිටුවා ඇති අතර එයින් කියවිය නොහැකි කොටසේ නම සඳහන් නොවන විහාරයකට අත්තානි පිදීමක් පිළිබඳව සඳහන් වන බව පවසයි. අනෙක් පුවරු ලිපියෙහි අබා සල මෙවන්නම් වූ රජෙකුගේ නව වන රාජ්‍ය වර්ෂයේ බුද්ගමු වෙහෙරට සලාක ආහාර පූජාවට සහ එහි පිළිමගයට ආහාර පූජාවට රත්රන් තැන්පත් කිරීමක් පිළිබඳව කියැවේ. තවත් ලිපියක බුද්ගමු වෙහෙර පස්කැමියන් හට එහි පොලියෙන් භික්ෂූන් උදෙසා ආහාර පිරිනැමීමට ලැබුණු රත්රන් පිළිබඳව පැවසේ.
ii වන සේන රජතුමා බුද්ධගාම විහාරයට භෝග ගාම සපයා එය වැඩිදියුණු කළ බව මහාවංශයේ සඳහන්වේ. i වන විජයබාහු රජතුමා චෝලයන් පරාජය කිරීමේදී බුද්ධගාම හරහා මහාතිත්තයට ගිය බව සඳහන්ය. මෙන්ම i වන පරාක්‍රමබාහු රජතුමා රජ වීමට පෙර ii වන ගජබාහුට අයත් වූ රජරට ප්‍රදේශයේ තොරතුරු සෙවීම සඳහා තමා විසූ දක්ඛිණ දේශයෙන් පලා ගොස් වසන්නේ බුද්දගාමයේ බව සඳහන්ය. එමෙන්ම පළවන පරාක්‍රමබාහු රජවීමට පෙර ii වන ගජබාහු හා රුහුණේ පාලකයා වූ මානාභරණ අතර ඇති වූ සිවිල් යුද්ධ අතරතුර ද බුද්දගාම පිළිබඳ වංශකථාවේ කිහිප වරක් ම සඳහන් කර ඇත. ඒ අනුව මෙහි බලකොටු තිබූ බව පැහැදිලිය. ඓතිහාසික වශයෙන් මෙම ස්ථානය ඉතා වැදගත් වන්නේ ඒ නිසාවෙනි.
දඹුල්ල, සීගිරිය ,අනුරාධපුරය,පොළොන්නරුව ආදී නටබුන් නැරඹීමට යන බොහෝ පිරිස් වලට දඹුල්ල ආසන්නයේම පිහිටි මෙම ඓතිහාසික නටබුන් හා වන රක්ෂිතය මගහැරේ. නමුත් ඉතා පහසුවෙන් නැරඹිය හැකි මෙම ස්ථානය දැක බලාගත යුතුය. එමෙන්ම ඓතිහාසික වටිනාවකම පමණක් නොව පාරිසරික වටිනාකමක් ද සහිත මෙම ස්ථානය අපේ මතු පරපුරට හඳුන්වා දීම අප කාගේත් යුතුකම වන්නේය.
සටහන –

අනූජා දසවර්ධන
