සිය දිවි නසාගැනීම පිළිබඳ පුවත් මේ දිනවල බහුලව අසන්නට ලැබේ. මවක සිය දරුවන්ට වස පොවා සියදිවි හානි කර ගැනීම, පියා තම දරුවන් එල්ලා මරා සිය දිවි හානි කර ගැනීම, විවාහ වී දින ගණනාවකට පසු නව යුවල සියදිවි හානි කර ගැනීම, පාසල් සිසු සිසුවියන් සිය දිවි හානි කර ගැනීම වැනි ඛේදචාචක ඒ අතර වේ.

විෂාදය, ඉච්ඡා භංගත්වය, විවිධ මානසික රෝග, දරිද්‍රතාවය, පෙම් සබඳතා බිඳ වැටීම්, සමාජයට මුහුණ දිය නොහැකි ගැටලු, ණය ගැති බාවයේ වැඩිවීම, පවුල් සබඳතා බිඳ වැටීම් වැනි කරුණු මීට හේතු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සියදිවි හානි කර ගැනීම හේතුවෙන් වසරකට ලක්ෂ අටත් දහයත් අතර පිරිසක් මිය යයි. ගෝලීය සියදිවි නසාගැනීම් වලින් 77% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වන අතර ඉන් වැඩි පිරිස අවුරුදු 60ට වැඩි වේ. නමුත් ලංකාවේ වැඩි වශයෙන් සිය දිවි හානි කර ගැනීමට පෙළඹී ඇත්තේ තරුණ පිරිස්ය.
සාම්ප්‍රදායික සමාජයක සිට නවීන සමාජයකට පරිවර්තනය වන මිනිසාට මෙම අන්තර් කාලයට අනුගත වීමේදී ඇතිවන වෙනස දරා ගැනීමට අපහසු වීම මෙයට ප්‍රධාන හේතුවයි. මුදල් කේන්ද්‍රගතව නවීන තාක්ෂණික දැනුම හා කාර්යබහුල වන මිනිසා නොදැනුවත්වම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ හරවා ගනී. මේ නිසා සමාජ සබඳතාවලින් දුරස්ත වෙමින් හුදෙකලා වන මිනිසාට තමන් තුළ ඇතිවන මානසික පීඩනය පිළිබඳ කතා කිරීමට කෙනෙක් සොය ගත නොහැකි වේ. කොපමණ පිරිසක් මැද වුවත් තමා තනිවූ බවක් හැඟේ. මේ නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම්, අනියම් සබඳතා ගොඩනගා ගැනීම් වැනි වැරදිවලට පෙළඹීම් දක්නට ලැබේ.
වර්තමාන තරුණ පරම්පරාව විෂයානුබද්ධව දැනුම්වත් වුවත් සමාජීය කරුණු සම්බන්ධයෙන් පවතින දැනුම ප්‍රාථමික මට්ටමක පැවතීම මෙයට තවත් හේතුවකි. පටු ජනප්‍රිය දේවල් අනුගමනය කරමින් අවර ගණයේ ටෙලි සිත්තම් රසවිඳිමින්, හිරි ඔතප් බිඳින දර්ශන රැගත් ගීත නරඹමින් මනෝ ලෝකවල සැරි සරති. මේ නිසා වේදනා විඳ දරා ගැනීමට නොහැකි, හැඟීම්වලට වහල් වන, කෝපය පාලනය කරගත නොහැකි තරුණ පරපුරක් බිහි වේ.
වර්තමාන ආර්ථික අර්බුධ හමුවේ පවතින රැකියා අහිමිවීම්, ප්‍රමාණවත් ආදායමක් නොලැබීම, නිවසටම පැමිණ ලබා දෙන සති ණය පහසුකම් නිසිපරිදි ගෙවා ගැනිමට නොහැකි වීමෙන් ණය බරිත වීම නිසා ඇතිවන මානසික පීඩනය තවත් හේතුවකි.
මෙවැනි කරුණුවල අවසන් ප්‍රතිඵලය වනුයේ පැමිණෙන ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවිය හානි කර ගැනීමයි. එහි ප්‍රවණතාවය තවත් වැඩි කරනුයේ සදාචාරයකින් තොරව මාධ්‍ය අවභාවිතා කිරීමයි. නමුත් විය යුත්තේ මේ පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩ නගා නිවැරදි මග පෙන්වීමක් සිදු කර තමන්ගේ වටිනාකම පිළිබඳ අවබෝධයක් ලබා දීමයි. එවිට ධනාත්මක චින්තනයෙන් පිරිපුන් මනසකින් හෙබි මානවයකු නිර්මාණය කිරීමට හැකිවනු නොඅනුමානය.
සටහන –
සකුන්තලා රැටියල
.
.
