රාස්සගල හෙවත් කිණිහිරි කන්ද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා මනරම් කඳුවැටියකි. මෙයට ළඟා වීම සඳහා ගම්පොළ සිට කුරුඳුවත්ත හරහා දීවෙන දොළොස්බාගේ මාර්ගයේ කිලෝමීටර් දාහතක් පමණ පැමිණ රාක්සාව තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුවේ. මාර්ගය අවසානය තෙක් ගමන් කර එම ස්ථානයෙන් ඉදිරියට පයින් ගමන් කිරීමට සිදුවේ. එම මාර්ගයේ නිවසක් පිහිටා ඇති අතර එම නිවස පිටුපසින් ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් රාස්සගලට පිවිසිය හැක. එමෙන්ම නාවලපිටිය මාර්ගයෙන් පැමිණෙන්නේ නම් කිලෝමීටර් දාහතරක් පමණ දොළොස්බාගේ මර්ගයේ පැමිණීමෙන් ද මෙම ස්ථානයට ළගා විය හැකිය.

මෙම ගමන තරමක් දුෂ්කර බැවින් කෙටි ආහාර වර්ග හා ප්‍රමාණවත් තරම් ජලය රැගෙන යා යුතුවේ. මෙම කන්ද ඉහළට යාමට ඇති මාර්ගය ගස්කොළන්වලින් ආවරණය වී පවතින බැවින් ගතට සිසිලසක් ගෙන දේ. මෙම ගමන සඳහා පැයක හෝ දෙකක පමණ කාලයක් ගතවේ. මෙම පරිසරය තෙත් කලාපයට අයත් බැවින් කූඩැල්ලන් බහුලව දැකිය හැකිය. එමෙන්ම මාර්ගයේ ඉතා හොඳින් නොපවතින අතර ගස් අස්සෙන් රිංගමින් දිගාවෙමින් ගමන් කිරීමට සිදුවේ. හොඳින් විමසිල්ලෙන් ගමන් කිරීම තුළින් අනතුරු මඟහරවා ගත හැකි වේ. අවට සිරි නරඹමින් විඩාව නිවා ගනිමින් ගිමන් හරිමින් කන්ද ඉහළට නගින විට අපට ඉතා මනරම් පරිසරයක් දැකගැනීමට හැකිය.

මිහිඳු මෙන් වැසුණු දර්ශනය නෙත් වශී කරයි. හන්තාන, අලගල්ල ,මොනරගල ,කබරගල මෙන්ම අම්බුලුගල ආදී කඳු මෙහි ඉහළට ගිය පසු දැක ගත හැකිය. මෙම කඳු කඳු නගින්නන් අතර ඉතා ප්‍රචලිත ස්ථානයන්ය. මාර්ගය කෙතරම් දුෂ්කර වුව ද ඉහළට ගිය පසු විඩාව සංසිඳවා ගැනීමට හැකි වන්නේ දර්ශනය වන පරිසරයේ අලංකාරය නිසාමය.

මෙම කන්ද පිළිබඳ ඓතිහාසික කතා පුවත් රැසක් පවතී. එය රාවණා රජුගේ ඉතිහාස කතා පුවතටද සබඳකම් කියයි. ලංකාවේ පවතින බොහෝ කඳු පංති රාවණා රජු හා සම්බන්ධ විවිධ පුවත් වලට සම්බන්ධ බව කියැවේ. රාවණා රජුගේ යකඩ කම්හල මෙහි පිහිටා තිබූ බව ඇතැම්හු කියති. එම යකඩ කම්හලේ ඇතිවූ ගින්නක් නිසාවෙන් එය සම්පූර්ණයෙන් ගිනිගත් අතර යකඩ ඒ ආකාරයෙන්ම ගල් වී තිබෙන බව ද ඔවුහු ප්‍රකාශ කරති. එමෙන්ම එහි අලු පහළට ගසාගෙන යාම නිසා ඇතිවූ ගම අදටත් අළුගොල්ල ලෙස හඳුන්වන බවද තවදුරටත් ජනප්රවාදයේ පවතී. මෙම කන්ද තරණය කිරීමට ඇති ගල් පඩිපෙළ රාවණා රජුගේ රාජ්‍ය සමයේ දී ඉදි වූ ඒවා බවටද මත පවතී. එම ඓතිහාසික කතා පුවතේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද එහි පිහිටීමේ ස්වරූපය දෙස විමසිල්ලෙන් බැලිය යුතුවේ.
එහි පිහිටීම පුදුම සහගත වන අතර ඒම ගල් වර්ණයෙන්ද වෙනස්කම් පවතී. එමෙන්ම මෙයට කිණිහිරිගල, කිනිගිරි,රාස්සගල කන්ද ආදී වූ නම් භාවිතා කරයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකළ පුරා විද්‍යාඥයෝ රාක්ෂයන්ට වැඳුම් පිදුම් කළ රාක්ෂ ගෝත්‍රිකයන් මෙම ප්‍රදේශයේ සිටි බැවින් මෙය රාස්සගල ලෙස හඳුන්වන බව පවසති.
වනයෙන් වටවී පවතින මෙම කන්ද තරණය කිරීම ඉතා විනෝද ජනක අත්දැකීමකි. එමෙන්ම මෙහි ස්වභාවික පිහිටීමද සිත් වශී කෘත කරයි. පරිසරයට ආදරේ කරන කඳු නැගීමට රුචිකත්වයක් දක්වන පිරිසට නව අත්දැකීමක් ලබාගැනීමට මෙම කන්ද කදිම තෝතැන්නකි. මෙම පරිසරයට හානි නොකර එහි ස්වභාවිකත්වය විඳගනිමින් ඓතිහාසික වැදගත්කම ආරක්ෂා කිරීමත් එය නැරඹීමට යන කාගේත් යුතුකම වන්නේය.
සටහන

අනූජා දසවර්ධන
