රෝන්දකාරී 🧡කොටස – 01

author
0 minutes, 31 seconds Read

‘මම’ පැවතුනු අයෙක් ද පවතින අයෙක්ද නැතිනම් පවතින්නට නියමිත අයෙක්දැයි මට නිනව් නැත. එහෙත් මට සහතික ලෙසම එක් කරුණක් සපථ විය හැක. එනම්,

‘ මම ‘ යන ‘ස්ත්‍රීය’ සර්වකාලීන වේ. සර්වකාලීක වේ. සදාතනික වේ.

එක් ජිවිත කාලයක් යනු බුදු දහමට අනුව සංසාරය මත අල්පමාත්‍රික ගමන් කාලයකි. සීමා මායිම් නැති, එමෙන්ම සීමාමායිම් නැති බැව් දැන දැනත් සෑහීම් හැඟීමක් නොවිඳ අතෘප්තිකර ලෙසින් ඒ ගමන් කාලය වැය කිරීමකි. කෙටියෙන්ම කියතොත් සංසාරය මත ඉබාගාතේ යෑමකි.

ජන්මයෙන් උරුම ලද හා උපත සහතික කොට ලියූ කඩදාසියේ ඇති හෙයින් මා බුද්ධාගම්කාරියෙකි. අනෙකුත් ආගම් හා දර්ශණයන් හී ද ජීවිතය යනු මෙවැනිම දැක්මක් බව කාලයත් සමඟින් ලබා ගත් අවබෝධයක් මට වේ.

ඉදින්.. සර්වකාලික ස්ත්‍රියක් වූ මා ද සංසාරය මත බොහෝ කාලයක් එක් එක් රූ ජායා ගෙන එමින් ඉබාගාතේ ඇවිද නොමැත්තේද.. නැත.. මම ද චාරිකා කර තිබේ. මේ එවන් කෙටි චාරිකාවක මගේ නිරවුල් මතකයේ ඇති දෝතකට ගත හැකි අල්පයක් ම පමණී.

සෝදිසියෙන් ඉන්න !! කොහේහරි තැනකදි මා තුළින් ඔබට ඔබව මුණ ගැසීමට ඉඩ තිබේවි.

මා හිඳින්නේ අන්ධකාරයකය. ජීවන චක්‍රයේ සමණල් අවධිය ද පසු කර ඇතත් බිත්තරයේත් කීටයකු සේත් පිලා කෝෂයේත් මා සිට ඇත්තේ අඳුරේ අතපත ගාමින්මය. මුණි සිරිපා නමස්කාරයට සමණොල ගිර තරණය කොට අත්පිහාටු තුවාල කර ගත් සත්වර්ණ සමණලයෙකුගේත් මගේත් වෙනසක් නොවේ. මම ද ඒ කී ජීවන මට්ටම් පසුකර තිබේ. බැතිබර ගමනකට පසුව කිසිවක් උරුම නොවී ම, නොනිමි සංසාර සංචාරයේ තවදුරටත් ගමන් කිරීමට සූදානම් ය.

අඳුරේදි මට වඩාත් හොඳින් ආලෝක කිණිති පෙනේ. මියගිය ඊයේ මෙන්ම බොහෝ ඈත අතීතයට අයත් දවස් වල වුව මගේ ජීවිතයේ තිබූ ආලෝක කිණිති මට නිසි මාර්ගය පෙන්වා දී ඇති බව වැටහෙන්නේ ගතවන මොහොතේය.

මගේ පළමු හුස්ම සක්‍රීය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේය. ඒ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නම්, එකල්හී අතිදුෂ්කර ග්‍රාමයකය. එයද ලංකා ඉතිහාසයේ අනාගතයට ද අමතක නොවන වසරකය. එහි විශේෂත්වයක් මට නොමැති වූවද ‘අසූතුනේ කලු ජූලිය’ මා නමට කලු පැල්ලමක් එකතු කර තිබුනි.

‘ මු ස් පේන්තු කෙල්ල’

මගේ පියාගේ මව, මගේ ආමන්ත්‍රණයට අනුව ‘ගෙදර ආච්චි’ ඈ මිය යනතුරුම මට හණ ගසා තිබූ නම එයයි.

“උපන්නට මොකෝ උපන්දා ඉඳලා වගතුවක් නැති උනා මේකිගේ මු ස් පේන්තු කොමට.. හරිහමන් ලකයක් තිවුනනම් අප්පට හා හා පුරා මුලිච්චි වෙන්න හය මාසයක් යාවියෑ මං අහන්නේ.. පෙනේද ඉන්න කේඩෑරි කොම.. අතපය පතෝල වාගේ.. අනේ අම්මපා.. මේකි උපන්කොට.. පූරුවේ කරුමෙ කියන්නේ.. මුන්ගේ අර මහ අම්මණ්ඩියේ පෙකිණියත් ඔතාගෙනලුනේ හිටියැයි කියන්නේ. දිවිනහන්නම උපන් එකියක් මේකි.. “

ගෙදර ආච්චිගේ කියවිල්ල නවතින්නේ නින්දේදී පමණී. ඇය අවදිව ඉන්නා මුළු කාලය පුරාවටම කරන්නේ කාට හෝ බැන වැදීමය. දොස් පැවරීමය. දෙස් තැබීමය. මීට අමතරව මට මතක ඇති කුඩා දවස් වල ඇය වත්ත පහල මඩ වලේ පොල් අතු පෙඟෙන්නට දමා තබා පසුව වියයි. නොඑසේ නම් කිසිම විටෙක විඩාවක් නොගෙන වත්ත පුරා කරක් ගසයි. ගහක් යට වැටෙන කොස් ඇටයක් හෝ ඇය අපතේ නොයවයි. වත්තේ කජු ගස් රාත්‍රියට අයිති කර ගන්නා වවුලන් පුහුලම් වල යුෂ බී අතැර දමන වවුල් කොට සොයා අසල්වැසි වතු පුරා කරක් ගහයි. එවන් විටෙක අසල්වාසි නිවැසියෙකු ගේ අමුතු කතාවකට ඇය පිළිතුරු බඳින්නේ අහල ගම් දනව් පුරා හඬ පැතිර යන උස් හඬකිනි. අපිළිවෙලට මල් විහිදුනු තද පැහැ චීත්ත රෙද්ද කොණකින් උස්සා ඉණේ ගසා ගන්නා ඈ සිය වාග්ප්‍රහාරය දියත් කරයි.

” ඈ බොල බොණ්ඩියේ.. තෝ හිතුවද මගේ ඇහැ කණ පොට්ට වෙලා කියල . මේ මගේ ගස් වල වවුල් කොට. මං එක්කහු කරන්නේ මයේවා.. මේ බැහී වැටීගෙන ආපු පාරට්ටියන්ට නිකන් අතාරින්න මේවා.. තෝ හිතුවද බොල මට අන්දකයිප්පු කැවිලා කියල .. “

අසල්වාසී ගැහැණිය හිස හකුලා ගෙන නිවෙස තුළට රිංගා ගන්නේ ගෙදර ආච්චි චීත්ත පොට ඉණේ ගසා ගන්නා විටමය. නැවත ඇයව දැක ගත හැකි වන්නේ ඉර මුදුනටත් ආ පසුවය. නිවෙස තුළ පිරිමියෙකු සිටින්නේ නම් එවන් වෙලාවට ඔහු සරම කැසිගන්වා ගෙන මදක් පෙනෙන්නට එයි.

” හා හා නෝනේ ආච්චි.. තියෙන ඇටයක් අරන් යන එකයි ඇත්තේ. ආවා මෙතන උදේ පාන්දර කැඹිලිති මල්ල හොලවන්න. මේවායේ කවුද බැහී වැටිලා ඉන්නේ කියලත් කිව්වොත් හොඳයි . මේවා මේ අපේ අත්තමුත්තලගෙත් ඉඩකඩන්.. ආවා මෙතන.. “

ගෙදර ආච්චිගේ දෑඟිලි එවන් වෙලාවට කඩිසර වේ. වවුල් කොට ඇහින්දායින් නෑහින්දායින් ඈ මායිම් පැන තමන්ගේ සීමාවට පැමිණේ. එලෙස සිදුවන බොහෝ දිනවලට ඇයගේ රත් වුනු ලේ වලට සිහිල් ඔසු වූයේ මා ය. ඇය පුරුදු ලෙසටම පුරුදු වචන වලින්ම මා හට බැන වදී. හිස මත්තේ ඇඟිලි නවා ටොකු අනී.

” මේ ඇට්ටර කෙල්ලට මං කිව්වා බිම් එළිය වැටෙන්න කලින් ගිහින් කජ්ජු ගෙඩි ටික එක්කාහු කරන් වරෙන්‍ ය කියල . කොහේද .. මේකි ඇටෙන් පොත්තෙන් ඇවිල්ලත් නැතුව ගෙට්ට වෙලා.. කොහේවත් යන කඩප්පුලියන්ගෙන් මං පද අහගත්තා.. මූ ස ලාවී.. “

හැම විටම හැම දේකටම ගෙදර ආච්චිගේ ඇහැ වදින්නේ මා වෙත වූවද නිවසේ තවත් බොහෝ අය වේ.

මා අයත්ව සිටියේ බාහිර සහසම්බන්ධතා අල්ප වූ පවුල්කට ය. එහි එකිනෙකා එකිනෙකා මත බැඳී සිටියේ දැයි අතීත දවස් සිහිකරමින් වත් මට මතකයකට නඟා ගත නොහැක. අම්මා කිසිදිනෙක ‘අම්මෙක්’ නොවුනි. ඈ තුළ මව් සෙනෙහේ සිඳී ගොස් තිබුනි. එමෙන්ම ඇය උදේ සිට රෑ වන තුරුත් උන්නේ තමාගේම කටුවක් තුළය. බාහිරින් ඉස්මතු වන කුමන දෙයක් හමුවේ වුව කටුව ඇතුලට රිංගා ගන්නා ගොලුබෙල්ලෙකු අදටත් මට මගේ මව් සිහිකරවයි. එහෙත් කටුවක් සහිත වුවත් ඉබ්බෙකු දුටු තැනක , ‘අම්මාත් මෙහෙම නේ’ යි මට නොසිතෙයි. ඈ සතු වූයේ ශක්තිමත් දැඩි ඉබි කටුවක් නොව පා පහරකින් පවා කැඩී බිඳී යන ගොලුබෙලි කටුවක්මය. දිනයේ වැඩි වේලාවක් උයන ගේ තුලත් ඊට මදක් අඩු වේලාවක් පැරණි ගෙම්බා ලකුණ සහිත මහන මැෂිම අසලත් ඇය ගෙවා දමයි. තුන් වේලම සිංහල නිවුඩු හාල් බත් තැම්බූ ගෙදරක, තුන් වේලටම මාලු පිණි හය හතක් පිසූ ගෙදරක උයන ගෙය කොහොමටත් කලබලකාරී වේ. ඒ ක්‍රියාවලියේ කරදරකාරී බව එදා නොදැනුනත් පසුකලෙක මට අවබෝධ විය.

අම්මාව අර්ථ දැක්වීමට බොහෝ වචන වැය කරන්නට උවමනා නැත. එය එක් සරල වාක්‍යයකින් කියා නිම කල හැකිය.

‘ අක්කර කිහිපයක් සහිත වත්තක මැද තිබූ මහේශාක්‍ය නිවසේ අම්මා අල්පශාක්‍ය සැප ලැබූ මෙහෙකාරියයි. ‘

ඇගෙන් නිතරම මෙහෙයන් ලබා ගත්ත වුන් අතර මුල් තැන ගෙදර ආච්චි දිනා ගනිද්දි මගේ සහෝදර කැළ ආච්චි පරයන්නට උත්සාහ නොගත්තා නොවේ. නිවසේ වැඩියෙන්ම ඇසෙන්නට තිබුනේ කටවල් හතරකින් නික්මුනු ‘අම්මේ’ වචනයයි.

වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් එක් වැඩිමහල් සහෝදරයෙක් හා එක් බාල සහෝදරයෙක් එකම පෙකෙණිය බදාගෙන උපත ලබා තිබුනි. එහෙත් කිසිදාක ඔවුන් හා මා අතරේ සමානකම් තිබුනේ නැත.

තනිව විචාරයත් හුදකලාවත් මගේ ලඟම මිත්‍රයන් වෙද්දී සහෝදර කැලට මා ‘හොල්මනක්’ විය. ‘මළ විකාරයක්’ විය. නැතිනම් ‘පිස්සියෙක්’ නම ලැබුනි. ඔවුන් මගේ චර්‍යාව මත මාව තව තවත් දුරස් කරද්දී මා තුළින් මුළුමනින්ම හුදකලා වූ ජීවියෙක් ඉපදුනි.

නිවෙස සහිත ඉඩමේ භූමි ප්‍රමාණය නිරවුල් නැත. ඉඩමේ දෙපස තිබුනේ ඇවිදින වැටකි. අක්කර ගණනින් විසල් ඉඩමක් වුවත් ගෙදර ආච්චි වැට මායිම් වලට කෝළාහල ඇති කර නොගත් දවසක් නොවුනි. ඉඩමේ එක් පසක් අයත්ව තිබුනේ ආච්චිගේ සහෝදරයෙකුට වේ. ආච්චිගේ ලොකුම හතුරා වූයේද ඒ සහෝදරයාගේ බිරිඳයි. අනෙක් පස අයත්ව තිබුනෙ අලුතින් ඉඩම් මිලදී ගත් අලුත් පදිංචිකාර පවුලකට ය. ඒ පසට පුම්බාගෙන යන ආච්චිගේ පෙණ ගොබයේ රැස්මාලා නිතරම පාහේ සැනෙන් සැර අඩුව යයි.

නිවසේ ඉදිරිපස මිදුල, නිවසේ සිට ප්‍රධාන පාරට යාමට කුඩා සන්ධියේ දි මට මිනිත්තු පහක් ගතවන තරම් විශාලත්වයක් ගනී. ඒ මිදුල පුරා පළතුරු පිරී තිබූ බව මට, මා එහි උන් කුඩා කාල වකවානුව සිහිපත් වීමේදී සිහි කැඳවයි. අඹ ගස් ගණනාවක් තිබුනි. පේර, අලිගැට පේර, කොකෝවා, ජම්බු, පිණි ජම්බු, රඹුටන් ගස් එකකට වැඩි ගණනක් අනිවාර්යයෙන්ම තිබුනි.

” තනි ගහක් තිබිලා කොහොමද ඵල හට ගන්නේ. තනි ගහ ගෑනු පිරිමි දෙකම වෙන්නත් පුළුවන් . නැතුව තනි ගහක් උනොත්.. ගෑනු ගහක් නම්.. නැත්නම් පිරිමි ගහක් නම්.. ඵල දරනවයැ මොකෝ.. ඕවා සරු වෙන්න කොම කොච්චක් තිවුනත් එකට ඈඳිලා දෙවංසෙන් තිවුනොත් පහසුයි නෙව ළමයෝ.. ඔය දැරිවි දැනමුතු වෙනකොට ඔව්වා වැටහෙන්නැතෑ.. “

වැට මායිම් වල එකම වර්ගයේ පැළ සිටුවද්දී මගේ පැනයන්ට උත්තර දෙමින් චූටි සීයා ; ගෙදර ආච්චිගේ සහෝදරයා කියා දෙයි.

” එතකොට චූටි සීයේ.. දෙවංසෙන් කිව්වට ඔය පැළ දෙකම ගෑනු උනොත්.. නැත්නම් පිරිමි උනොත්.. “

නිතරම බුලත් හපයක් හක්කේ තබාගෙන ඉන්නා චූටි සීයා කට මදක් සොළවමින් මා දෙස විමසිල්ලෙන් බලන අයුරු මට අදටත් මතකයේ තිබේ. ඉන්පසු තොල් දෙක මතට වී අකුරේ හැඩයට දඹරැඟිල්ලත් මැඳගිල්ලත් තබා ගන්නා චූටි සීයා ඉන්නා තැනම ඉඳ රතුපැහැ බුලත් කෙළ පහරක් පොළවට පතිත කරයි.

“ඔය දැරිවිට තියෙන පුරස්න.. එව්වට කොම සහ විදි තියෙනවා. එව්වා දැනමුතුකම් ගන්න තරං ඔය ලමයා හින්නිකිතර වැඩී තව. ඔන්නෝවා අර අපේ ඉළන්දාරියාගෙන් දැනට අහගත්තොත් නාකෙයි. එවුන්දා නේ ඔය පොත පත අතපත ගාන්නේ.. “

මගේම ගෙදරට වඩා මා වැඩි කාලයක් ගෙවා දැමුවේ චූටි සීයාගේ වැට මායිමේ ය. මායිමේ කෙළවරක ඇති කලු ගල් කුට්ටියත්, කලු ගල් කුට්ටිය පාමුල ඇති තුඹසත් අසල මගේ සුපුරුදු වාසස්ථානය යි. කලු ගල් තලාවේ මුදුනේදී මට, මා අඩි දෙකක් වත් උස් නැති සන්දියේ දී පවා මට දෑසින් පෙනෙන දුර සියලු ඉසව් දැක ගත හැකිය. ඉදිරිපස මිදුලේ වන කලුවර මෙන් දෙතුන් ගුණයක කලුවරක් පිටුපස කොටසේ වේ. එය අද්භූත කලුවරකි. ගුප්ත සිතුවිලි මවන කලුවරකි. හැන්දෑවේ හතර පමණ පසු වූ පසු ගස් හෙවනැලි හොල්මන් කරන කලුවරකි. එක් කෙළවරක පදාසයක් පුරා උස් පුවක් ගස් මණ්ඩියකි. අතරින් පතර කිතුල් ගස් කිහිපයක් ම තිබුනි. සපු, නැදින් , තේක්ක හා බුරුත වැනි දැවමය වටිනාකම් ගෙන්වූ මහා වෘක්ෂ සේම අඹ, කොට්ටම්බා, පුලුන්, ඇට්ටෝනියා ගස් ද පිටුපස වත්ත පුරා ව්‍යාප්තව තිබුනි. පොල් හා තැඹිලි ගස් මායිම් දිගේ සිටුවා ඵළ දරමින් තිබුනි. පුවක් ගස් වල කඳ බදාගෙන ගම්බිරිස් වැල් උඩට නැඟී කරල් පහලට එල්ලීය. එක් කෙළවරක මඩ වලකි. එය පොල් අතු සේම පුවක් ද පල් කිරීමට යොදා ගැනුනි. බුලත් මැසි කිහිපයක් ම යායට සාදා තිබුනේ ඉපල් කෝටු හිටවීමෙනි. ලා හරිත පැහැයේ සිට නීල හරිත පැහැය දක්වා පහසුවෙන් දැක ගත හැකි බුලත් කොළ වල සුවඳ ගල් තලාව මත්තට හුළං හා එක්ව පහසුවෙන්ම හමා එයි. එවන් අමන්දානන්දනීය වෙලාවකට චූටි සීයාගේ බුලත් මඩිස්සලයෙන් හුණු කිල්ලෝටය අතුරුදහන් වේ. එය මතු වන්නේ මගේ ගවුම් සාක්කුවකිනි. ලා බුලත් කොළයක මැද හරියේ ඇඟිල්ලට ගත් හුණු බිඳුවක් තවරා ගන්නා මම එය ඉදිරිපස දත් වලින් විකා කා කෙළ තොල් පුරා තවරා ගනී. තොල් හා දිව රත් පැහැ ගැන්වී ඇතැයි අනුමාන කරන වේලාව එනතුරුම බුලත් කොළය හපමින් ඉන්නා මා ඊළඟට ගල් තලාව දිගේ රූරා පහලට එයි. පසුව පාවහන් නොමැති දෙපා ගල් මුල් වල හැපි හැපී මා දුව යන්නේ පුවක් ගස් මණ්ඩියේ ඇති ගල උඩින් වතුර ගලා යන නාන ලිඳ අසලට ය. ගලා යන ජලයේ ප්‍රතිරූ ඇද ගැහෙන බව ඇත්තකි. එහෙත් මීවන පැල පාදා ගෙන ගොස් ගල්පොත්ත කොණක ඇති ජලයේ නිසල තැනකිනුත් මගේ රත්පැහැ ගැන්වුනු දෙතොලත් දිවත් දත් දහ අටත් මා හොඳින් දැක ගනී. ගොම්මන් යකා කල එළි බහින වේලාවක මා නාන ලිං පොත්තේ උන්නේ නම් හීන් පේර කෝටු මගේ දෙපා වල බත්කෙණ්ඩේ සිත්තම් වේ. මගේ අත් කෙටියෙන් අල්ලා ගන්නා ගෙදර ආච්චි ඇගේ මුළු දවසේම පීඩනය මට පහර දීමෙන් මුදා හල බව මට වැටහෙන්නේ දැන්‍ ය.

අඳුරු සහ තෙත් බිමක් නිවස ආසන්නයේ තිබුනද ගල් තලාව මතට දිව්‍ය විමානයක් ද දිස් වේ. නාන ලිං තොටෙන් මෙපිට තිබුනේ කුඹුරු යායයි. එහි අයිතිය කා හටදැයි මා තවමත් දන්නේ නැත. එහෙත් එහි පැල වී ඵළදරා කැපී හුළං වී අවසන බැත වන අස්වැන්න ගෝනි වලට බහා අවුරුද්දකට දෙවතාවක් අපගේ උයන ගෙයි මුල්ලකට එයි. ඉන්පසු නම් එහි අයිතිය අපේ අම්මා සතුවේ. මහා මුට්ටි වල කට බැඳ වී තම්බා කොටා පොළා සියල්ල ඉටු වන්නේ අම්මා අතිනි. මාගල් වල අතුරන වී තේරෙන්නේත් අම්මා අතිනි.

නිවෙස පිහිටියේ කොටස් දෙකකට වන්නටය. මුල් කොටස නිදන ගේ නම් විය. උයන ගේ තිබුනේ නිදන ගෙට අඩි හතරක් පමණ ඈතකිනි. ඒ දෙක එකිනෙකට සම්බන්ධ ව තිබුනේ අතරමැද කොටසේ තිබූ කොරිඩෝවක් වැනි කොටසකිනි. ඒ කොටසේ වහල ඇතුලට නැවුනු ටකරන් තහඩු වලින් ආවරණය කොට තිබුනි. නිදන ගෙට සමානව ම උයන ගෙදර මුහුණතත් පළල් විය. උයන ගේ ඇතුල කොටස් දෙකකට බෙදා තිබුනි. එක් කොටසක ප්‍රධානම ලෙසින් වී අටුවත් අනෙකුන් ඵලභෝග ගබඩා කිරීමත් සිදු කෙරිණි. අනෙක් කොටස ගිණි මොළවන කොටසයි. පාරම්පාරික මුළුතැන්ගෙයි උපකරණ රැසක් එහි විරාජමානව තිබුනි. ඒ අතරින් ශෛල උපකරණ වලට විශේෂ තැනක් හිමි විය.

උයන ගෙයි වහලේ තවත් බොහෝ කැඳිලි තිබුනි. දඬුලේන් කූඩුවක්, උගුඩු රංචුවක් හා ලේන් කූඩු කාලෙන් කාලයට වහල හා සොල්දරය අතර කොටසේ තැනුනි. රන් කුඹල් ගෙවල් දොර උලුවහු මත හැමදාකම තිබුනි. රන් කුඹල් යුවලගේ පියාපත් ගැහෙනා හඬ ඇස් පියාගෙන මා සිටින මේ අන්ධකාරයේත් මට පැහැදිලිව මවා ගෙන ඇසිය හැකි තරම් ම හුරු පුරුදුය.

උයන ගෙයත් නිදන ගෙයත් අතර මැදි කොටසේ දෙපස ආවරණය කරමින් කෙටි දොර දෙකක් දෙපස තිබේ. එහෙත් දඩාවතේ යන සුනඛයින්ගේ හා කෑමට පුරුදු වූ සුනඛයින්ගේත් අයිතිකාරයින් නොමැති පූසන්ගේත් රාත්‍රී නවාතැන ඒ අතරමැදි තීරය විය. පූසන් පුරුදු ලෙස බිත්ති දිගේ නැඟ පහලට බැස විත් එහි නවාතැන් ගත්ත ද සුනඛයින් පැමිණියේ වසා ඇති කෙටි දොර උඩින් වෙර යොදා පැනීමෙනි. සිවුපා සතුන් රැයට නිදා ගන්නා ඒ තීරය දහවලට මගේ සෙල්ලම් අඩවිය විය. මා හා සෙල්ලමට කිසිවෙන් පැමිණියේ නැත. අක්කලාට අයියට වෙනත් වැඩ තිබුනි. බාල සහෝදරයා අම්මාගේ දෑස් වලට නිතර හසු වෙන තැනක ඉන්නට කටයුතු යෙදුනි. එහෙයින් මා තනිව දොඩමලු විය. එය වූ කලි පුංචි දවස් වලත් මා හට උරුම වූ නිදහස බව , පුංචි දවස් වල දුකින් බර වූ හිතක් සතු වූවත් දැන් මට හැඟේ. හුදකලා දොඩමලුව තරම් සැපතක් සුවයක් පසුකාලීනව මට නොතිබුනි. බිත්ති අයින් වල කුඩා කුඩා වැලි කඳු තිබුනි. ඒවා කූබි ගෙවල් ය. ඒ ආසන්නයේම ඇතුළට හෑරුනු බොහොමත්ම හැඩ සියුම් වැලි රටා ඇති බිංකුඩු ගෙවල් ද පේළියට තිබුනි. ඒ එක් ගුලකට ඇඟිල්ලක් දමා සීරූවට කරකවන විට බිංකුන්ඩෝ මතුවෙයි. හිසත් කඳත් රවුම් දෙකක් සේ පෙනෙන බිංකුන්ඩෝ කීපදෙනෙක් ගෙවල් හාරා සොයා ගැනීමට එතරම් කාලයක් ගත නොවේ. ඔවුන්ව අල්ල උඩ තබා ගන්නා මා, මට එකල්හී තිබූ සතුටු උප්පාදන ක්‍රම වල ඉහළම තැන තිබූ සෙල්ලම කරන්නට පටන් ගනී.

” බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ
තෝ ත් නටාපිය මාත් නටන්නම්
බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ .. “

ගෙදර ආච්චි ඇවිදින් කනෙන් අල්ලා උස්සා පිට හරහා පහර දෙනතුරු මගේ සද්දය උස්ව නැඟුනු බවට මට වැටහීමක් නොවේ.

එදවස මා දවසකට වචන කිහිපයක් වත් කාසමඟින් වත් කතා නොකරයි. කතා කිරීමට කෙනෙක් නැතුවා සේම කතා කිරීමට හේතුවක් ද නොවේ. බඩගිනි වූ විට උයන ගෙයි හට්ටි ඇතිලි වලින් මැටි කෝප්පයකට බත් ටිකක් මාලු පිණි ටිකක් බෙදා ගත හැකිය. මා එතරම් උස් නොවූ කාලයේ හට්ටි ඇතිලි අල්ලා ගැනීමට මිටි බංකුවක් මතට නඟී. එහෙම වේලාවකට හදිසියේ පෙරලී යන හැන්දක් නැතිනම් ඇල්මිනියම් ජෝග්ගුවක් ගෙදර ආච්චීව එතැනට ගෙන්වයි. ඈ පැමිණෙන්නේම කෝප ගින්නේ දැවෙමිනි.

” කඩපන් කඩපන්.. කාබාසිනියා කරපන් සේරම දේවල්.. උ ඹේ මල මුස්පේන්තු කම නිසාමයි උ ඹේ අප්පට සැනසිල්ලේ ගෙදරක නිදා ගන්නවත් නැත්තේ.. පල යන්න මෙතනින්.. “

මිටි බංකුවෙන් බිමට ඇද දමන මා ඒ වේගයෙන්ම වීසී වී ගොස් කොහේ හෝ තැනක ආධාරකයක් හේතුවෙන් නවතියි. නැතිනම් බිම පතිත වේ. කාලවර්ණ සමක්, කෙසඟ අත් පා ඇති හැඩපලු ගෙතුනු රැළි දිගැති කොණ්ඩයක් සතු කුඩා කෙල්ලක දණිපනි ගා නැඟිට උයන ගෙයි දොරෙන් පිටතට දුව ගොස් කෙසෙල් ගස් පඳුරක සැඟවේ.

දැන් මට කඳුළු උනන්නේ නැත. එදවස ද කඳුළු ඉනුවේ නැත. එනමුත් එදවස පපුවේ හිරවුනු ඉකියක් තිබුනි. එය මුවින් පිටතට ආවේ නැත. රත් වුනු යකඩ ගුලියක් සේ තව තවත් පපුව තුළට කිඳා බැස්සා පමණකි.

නිදිමත වූ විට ගුලි වී නිදා ගැනීමටත් දිය නෑමට හිතුනු විටක පහල නාන තොටෙන් දිය නෑමටත් අමතරව මා බොහෝ විට කලේ ගල් තලාවේ දිගා වී සිටීමය. ඈතින් ඇසෙනා ගොයමේ රිද්මයට කන් දීගෙන සිටීමය. වලාකුළු රටා සෙවීමය. හුළගේ උපත ගැන සිතීමය. ගහක උස ඇස් මිම්මෙන් මැනීමය. කුරුළු තටු වල සැකැස්ම සිතීමය. බත් කූරන්ගෙන් හෙලිකොප්ටර් යැවීමය. සමණලුන්ගේ තටුවල පාට ගණන් කිරීමය. පොල්කොළ පත්තෑයන් සෑදීමය. කුරුම්බා ඇට්ටි මැෂින් සෑදීමය. කොස්කොල ඔටුනු සැදීමය. ගඩා ගෙඩි වලින් සාක්කු පුරවා ගැනීමය. හිතුනු විටෙක ඒවා හපා විකා බැලීමය.

ගඩා ගෙඩි හා බුලත් හේතුවෙන් මගේ උගුර ගොරෝසු වී තිබුනි. ගොයම් කපන කාලයට ඈතින් ඇසෙන ගොයම් කවියක්, ගෙදරට ඇවිත් කියවා ශත පනහකට විකුණා යන කවි කොළයක කවියක් මට මතකයේ හැටියට ගයන්නට මා ගත් උත්සහායන් කැස්සක් සමඟින් ම නැවතුනි. වෙසක් දවස් වලට උස් ගස් වල බැඳෙන ලවුඩ්ස්පීකර් වලින් බුදු බැති ගී ඇසේ. නැතිනම් මාතර චිත්‍රපටි ශාලාවක තිරගත වන චිත්‍රපටියක ගීයක් වාදනය කරමින් ලවුඩ්ස්පීකර් බැඳි ලොරි රථයක් පාරේ එහා කොණෙන් මතුව මෙහා කොණෙන් නොපෙනී යයි.

” පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ..
පණ සේ මා පෑහී පෑහී ආ මිතුරේ
කවුදෝ දන්නේ ඔබ හා යළි මා
හමු වේදෝ මේ ගමනේ..
පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ.. “

එලෙස ඇසී මා මතකයේ රැඳුනු මේ ගීයේ නිසි අරුත අරුත් ගන්වා ගැනීමට මට බොහෝ කලක් ගත විය.

අතීතාවර්ජනයෙ හීදී මා මිතුරා මා ම වූ බව මට දැන් මාව ආදරයෙන් වැළඳ ගෙන ආදරය පෙන්වීමට හැකිය.

මගේ පියා මා කුඩා කාලයේ දැක නොතිබූ තරම් ය. ඔහු නිවෙසට ආවේ ගියේ කාලාන්තරයකි. ඒ පැමිණිය ද මා ඔහු සමීපයට නොගොස් සැඟවී සිටියේ ගෙදර ආච්චිගේ දෝෂදර්ශනයට හසු වීමට නොහැකි හෙයිනි. පියා මට ප්‍රදර්ශන භාණ්ඩයක් සේ දැනුනේත් පෙනුනේත් එහෙයිනි. පියා යුධ හමුදා සෙබලෙකු බැව් මා දැන සිටි නමුත් යුධ හමුදා සෙබළෙකු යනු කවුරුන්ද යන වග වටහා ගන්නට මට කාලයක් ගත විය.

එක් වරක් ඔහු නිවෙසට පැමිණියේ මාව පාසලකට ඇතුලත් කිරීමට ය.

” පිරුවට ගවුම් ඕනෙයෑ. ඔන්නොහේ අර ලොකු කෙළීගේ ගවුම් කොටයක් රෙදි නැන්දට යවලා අහවර කැඳ පොවාගෙන ආවනම් අහවරනේ. මක්කට සල්ලි කොළ අදිනවයැ. “

ගෙදර ආච්චි ගේ පුරා ඇවිදිමින් කියෙව්වේත්,

“අම්මා පොඩ්ඩක් පාඩුවේ ඉන්නකෝ. ” යි තාත්තා කිව්වේත් එක විටමය.

“ඒ ලමයට අනිත් අයට වගේ මාතර ඉස්කෝලේකට නම් දෙන්නත් බැරි වෙච්ච කොට ගමේ එව්වෝ හැම එකාලම යන තැනට සුදුවට පිරුවට ගියා කියල මක් වෙනවයි.. “

තාත්තා කෙරේ මා තුළ තිබූ අඳුරු කලාපයේ පලමු පහන් දැල්ල එදා යාන්තමින් දැල්වුනු බව මට මතකයේ වේ.

වැඩිමහල් සහෝදරයන් මාතර පාසල් වලට ඒ වනවිට යමින් සිටියත් කුමන හෝ හේතුවකින් මා ඇතුලත් කරනු ලැබූයේ මාර/ක/ නම් තිබූ පාසලකට යි.

එකල්හී කිසිවෙකුට නිසිපරිදි පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් නොලැබුනි. එනිසාම ප්‍රාථමික අධ්‍යාපනය ඉතා වැදගත් තැනක් ගෙන තිබුනි.

මිනිසුන් හා ගැටී නොමැති මට ගෙදර සිට පා ගමනින් යා හැකි දුරක තිබූ පාසල පවා අමුතු අහසකට ආ හැඟීමක් දැනවීය. සමවයස් බොහෝ දෙනෙකුගේ ඇඳුම් , පාවහන්, පොත් හා කෑම පෙට්ටි පවා ඔවුන්ගේ සමාජ මට්ටම හෙළිදරව් කරවීය.

එකෙකුගේ කකුලක් වැරදීමකින් පෑඟුන ද නැතිනම් අතක ගෑවුන ද බාලාංශයේ කොල්ලන්ට වුව අම්මාගෙන් පටන් ගන්නා අසැබි වදන් පිටවෙයි. එය සාමාන්‍යයක් බැව් පැයක් ගත වන්නටත් පෙරම මට වැටහුණි.

උස් නොවූ පුටු හා මේස තිබූ පන්ති කාමරයේ අලුත් තීන්ත සුවඳ දැන් පවා මගේ නාස් අගට දැනේ. එක්සයිස් පොත් තුනක් හෝ හතරක්, ගල් ලෑල්ලක් හා හුණු කූරක් පරිස්සමට බෑගය තුළ තිබුනි. ඊට අමතරව කුමාරෝදය පළමු පොත එහි වූ බවට මතකයේ වේ. මා අකුරු හඳුනාගෙන සිටියේ නැත. එහෙත් මා හට කුමාරෝදය පොතේ තිබූ දෑ කට පාඩමින් කීමට හැකියාව තිබුනි. කුමාරෝදය පමණක් නොව සිරිත් මල්දම, සුභාෂිතය, හීන්සැරය, හත්පණ වැනි පොත් වල තිබූ කතන්දර හා කවි, ආදර්ශ ගැන අවබෝධයක් මට තිබුනි. ඒ කියවා බලා නොව ඇසීමෙනි. අසා සිටීමෙනි.

අතීතාවර්ජන දිගේ මතක මං පෙත් වල ඇති ආලෝක කිණිති වඩාත් දීප්තිමත් ව මට දැන් දැනේ.

හැමදා පීඩිතව සිටි කෙසඟ කෙල්ල මිනිසුන් ඉදිරියේ ඇස් ඇර වටපිටාව බැලුවේත් දෙවුර ඍජුව හිස කෙළින් තබා ගත්තේත් ඒ බාලාංශ පන්ති කාමරය තුළදීය.

කොණ්ඩය පැහී ඇති මැදිවියේ තලතුනා තරබාරු ගුරුතුමියක් පන්ති කාමරයේ මේසය මතින් පොත් ගොඩක් තබා සාරිපොට හා දෑත් පිටුපසට කරගෙන පන්තිය සිසාරා දෑස් හෙළුවේ අනුකම්පා රහිත මෘදු නොවූ බැල්මකිනි. පසුව එකිනෙකාව නැඟිටුවා නාමයක් හා නම් විමසීය.

එකිනෙකා නැඟිට සිටියේ ලතැවි ලතැවීය. වැනි වැනීය. ” මොකෝ කැඳ බීලද ආවේ?” ගුරුවරිය ඇසීය්. එකියක්, ” සුනීතා පතිරණ ” කියද්දි ගුරුවරියගේ මුහුණේ සිනා මතු විය. තවකෙක් ” කසුන් ” හා නාමයක් එක්ව කියද්දි ඇගේ මුහුණ හැකිළිණි. “අප්පෝ.. රදා ගොඩැල්ලේ.. ” මිමිණිනි. නැතිනම් ” බෙරව ගොඩේ.. ” මිමිණිනි. පන්ති කාමරයේ අන්තිම මේසයේ උන් මගේ වාරය එනතුරු මා මගේ නම නැවත නැවතත් මටම කිය ගනිමින් මතක් කර ගන්නා ලදි. මා අසල සිටි දැරියගේ නම ” පවිත්‍රා ” විය. මා වහා නැඟිට සිට මගේ නම ගුරුවරියට කියා සිටි අයුරුත් ඒ සඳහා මට ගත වූ කාලයත් බොහෝ කෙටි විය.

” මාණික්‍යා විජේමුණි.. ටීචර් “

සමණොළුන් මිය යද්දි
හැපී ගිරි හිස මත්තේ
අකම්පිත හිත් වලිනි
සිරි සමන් දෙව් ඇත්තේ
බැතිබරව පේවුනත්
උනා ආ කඳුලැල්ලේ
සිව් මහා ගං වෙලා
චාරිකා නිම නැත්තේ..

© අරලියා පෙරේරා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa