ඒ ලාම්පු එළි දල්වන්නට අවසර නැති රාත්‍රියකි. දහවල ගෙවුනේ කෙසේදැයි නිනව් නැත. මම ගල්තලාව දිගේ ගොස් වැට පැන ඒ අතටත් මේ අතටත් මුලු දවස පුරාම දිව්වෙමි. හාමිනේ ආච්චි චීත්ත කොණකින් තිස්සේම දෑස් පිස දැමුවාය. ඈ ගේ පියස්සට වී දෙපතුල් වලින් ඉස්සී ඒ මදිවාට බෙල්ලත් දික් කරමින් පාර දිග බැලුවාය. එතැනින් යන එන අයෙක් හා වචනයක් දෙකක් කතා කරාය. ඒ හැම වෙලාවකම ඈ හඬා වැටුනාය. චීත්ත කොණෙන් දෑස් පිස්සාය.
“විස්ස විද්‍යාල වල කොල්ලන්ව ඉතුරු කරන්නෑ. ආයේ ඒවි කියල නම් බලාපොරොත්තු නොගත්තටම කාරී නෑ.. අඩුගානේ අතක් කකුලක් හරි හම්බුනොත් ඇති නෙව සැනසෙන්න.. “
බාහිර හොඳ පෙනුමැති අයෙක් කීය. හාමිනා ආච්චි පෙරට වඩා වැඩි හඬින් අඬන්නට වූවාය. ගැමි ගැහැණු ඇයව සනසාලන්නට ගත් වෙහෙස නිශ්ඵල ය.
“හැම කොල්ලටම එකම සෙතේ අත් වෙන්නෑ හාමිනා. සේනාධිව ඔය කොහේ හරි පොලීසියක තියාගෙන ඇති . දැන් ඔය සෝදිසි කරන්න ගොහින් නේ. මෙතන මරණ ගේ වගේ වැළපිලා වැඩක් ය”
කවුරුන් කෙසේ කීවාත් මට හරිහැටි යමක් නොතේරුනත්, සේනාධි අයියාගේ කාමරය තිබූ හැටියෙන් ම මට බය දැනිණ. මම විටින් විට ජනේලයෙන් එබී කාමරය විපරම් කලෙමි. ඒ කිසි වෙලාවක මට තත්පර ගණනාවක් වත් ඒ දෙස බලා ඉන්නට අසීරු විය. ජනේලයේ එල්ලෙන එබෙන සැනින් මම බිමට පැන්නෙමි. පැන දිව්වෙමි. එහෙත් යළි ටිකකින් මට එහි යන්නට සිත් දේ. එලෙසින් මම ගිනිය නොහැකි වාරයක් එහි එබිකම් පෑවෙමි. යළි සෙරක සේ දිව්වෙමි. ටිකෙන් ටික කාමරය මගේ ඇහැට හුරු විය. දුර්වර්ණ පිටු සහිත පැරණි පොත පත සේම සෝවියට් රුසියානු, කියුබානු නාමයක් සහිත පොත් ද බිම පුරා විසිරී තිබිණ.
කෙමෙන් බිම් කලුවර විය. රැහැයියන් හඬන්නට පටන් ගත් හ. මැඬියන් විටින් විට හඬ නැඟූහ. එතරම් ම අඳුරු වුව ද සේනාධි අයියා තබා චූටි සීයා වත් යළි නොආවේය. නිවෙස් වල එළි නිවා දමන්නැයි කල් ඇතුවම දන්වා තිබේ. හාමිනා ආච්චි ඇඬූ කඳුලෙන් ම ඉදිරි දොර පලුව වසා දැමුවාය. ඊට පෙර ගැමි ගැහැණියක් හුළු අත්තක් දල්වා ගෙන හිසේ සිට පොරවා ගත් චීත්ත රෙද්දක් තුළ සැඟවී ගෙන මෙන් විත් ගෙට ගොඩ වූවාය. ඈ ඉස්තෝප්පු ගැට්ටේ ගසා නිවා දැමූ හුලු අත්තේ ගිණි පුළිඟු සුළඟට නතුව මදක් විසිරී ගොස් නිවී ගියේය. එතකුඳු ගල් තලාව මත වැතිර සෝදිසියෙන් උන් මා හට අමුතු තිගැස්මක් දැනුනු බව මට මේ දැනුත් සිහියට නැඟේ. ගල් තලාව තවත් ඉන්නට හෝ එතැනින් නැඟිට යන්නට හෝ නොහැකිව මම තවත් වේලා එහිම රැඳුනෙමි.
තාර පාර දිගට බර අඩි ඉහළට පහළට යනු ඇසුනේ, තාර පාර මගේ කන් ඇතුලේ ඇතුවාක් මෙනි. මගේ යටිකය දඬු අඩුවකට හසුවූවාක් සේ හිර වුනි. සුළුදිය ඉබේම පිටවන්නට එනු දැනේ. මා වහා ගල්තලාව මතින් බිමට පැන ගත්තෙමි. තු ව ක්කු බට සියයක් පමණ මගේ දෙසට හැර වී දැන් දැන් ගිණි පිට වේයැයි බියෙන් සලිත වෙද්දි මම ගෙදරට දිව්වෙමි. දොර තල්ලු කෙරුවේත් කාමරයේ මුල්ලකට දිව්වේත් දෙපා අතරේ අත තබා හිර කර ගනිමිනි. මා එතනම වැටී නිදියන්නට ඇත.
පසුදා පහන් වූයේ පෙරදාටත් වඩා අඳුරෙනි. අවදි වූ වහාම මම චූටි සීයාගේ නිවසට දිව්වෙමි. චූටි සීයා ඉදිරි පියස්ස යට උත්කුටියෙන් සිටියේය. සේනාධි අයියා පැමිණ ඇතැයි සිතූ මට සිනහ පහළ විය. නිදි ගැට අතුරුදහන් විය. කිසිවක් නොවිමසාම මම සේනාධි අයියාගේ කාමරයට දිව්වෙමි. කාමරය පෙරදා තිබූ සේම ය. සේනාධි අයියා නැත. මම එසැනින් නාන ලිඳට දිව්වෙමි. සේනාධි අයියා දුරක ගොස් ආ විගස දිය නාන බව මට සිහි වූයේ ඉන්පසුවය. එහෙත් සේනාධි අයියා එතැනත් නොවීය. ලිං මිදුල වියළිය. මම යළි නිවසට දිව්වෙමි.
“චූටි සීයේ.. සේනාධි අයියා කෝ? එයා ආවේ නැද්ද ?”
චූටි සීයා දෙතොල් මතට ඇඟිලි දෙකක් තබා බුලත් කෙළ පහරක් මිදුලට විද්දේය. ඔහු මාව වගක් කොට නොගත්තේය. මගේ දිහාවට ඇස් බැල්මක් වත් නොහෙළුවේය. එහෙත් මට ඉවසුම් නැත. චූටි සීයාගේ උරහිසින් අල්ලා මා සොලවන්නට වූයේ එහෙයිනි.
“කියන්නකෝ. අයියා කොහේ ගියේ?”
“අපායට යවන්නැත්තේ.. ඕකා දිවියලෝකේ යන්න තරමට යමක් කලායෑ මොකෝ”
“අපාය තියෙන්නේ පොළව යට නේ. කොහොමද ගිහින් තියෙන්නේ ?”
චූටි සීයා ඔරවා අහක බලා ගත්තේය. ඉනික්බිති උත්කුටියෙන් මිදුනේය. දෙදණිස් වලට වෙර දී නැඟිට ගත්තේය.
“උහුලන්නම බැරි තැන වෙන්නැති ඌ හමුදාකාරයගේ නම කියන්න ඇත්තේ. නැත්නම් ඔය කාකීකාරයන්ගේ සපතුවට යට වෙන්නෑ මගේ එකා. අර හමුදාකාරයා කිව්වලු පණිවිඩේ යැව්වම එහෙම එකෙක් අඳුනන්නෑය කියල . හිවලා.. අනේ ඕකගෙන් ජිවිත දානේ ලැබෙනවට වඩා සැපයි කොහොමත් පරලොව ගිය එකම මගේ එකා. මට දුක අඩුම ගානේ අතක් පයක් හරි හම්බුනානම් මට ගෙනල්ලා වල දාන්න. මොහොකුත් නැතුව පාංශකූලේ දෙන්න වෙන්නේ උගේ සරමකට කමිසෙකට තමයි .”
චූටි සීයා කියවාගෙන ගියේය. ඉන් එකක් වත් මට නොවැටහුනු මුත් සේනාධි අයියා යළි නොඑන බව පමණක් පසක් විය.
හාමිනේ ආච්චි දොර උලුවස්ස උඩට වී කඳුළු වෑස්සුවාය. යමක් සිහිපත් වූ ඈ චීත්ත පට ඔසවා මුහුණ පිස දමා ගත්තාය.
“පාංශුකූලේ දෙන්න වෙන්නේ ඔහේටයි මටයි තමයි . මොකෝ හාමුදුවරු වඩිනවා කියලයෑ. මේ.. හිච්චි එකියේ .. මෙහේ නාවට කමක් නෑ. උඹලෑ අප්පා තමයි කියල තියෙන්නේ එහෙම එකෙක් අඳුනන්නෑය කියල . වගක් නෑ මගේ කොලුවා මැරිලා ගියේ වීරයෙක් වෙන්න ගිහින්. ඔය උන් වගේ මහ එව්වොන්ට වහන් වෙලා නෙවේ. මේ ඇහුනද.. තවත් විනාශයක් වෙන්න කලියෙන් අර පොත් ටික ගිණිලෑවා නම් මොකද .. නැත්නම් ඕවා නිසා වෙන්නේ මේ මුදුන් වහලෙත් ගිණි ගන්න එක . මගේ කොල්ලා ආයේ එන්නෑ. අනේ ඒකා අලුවෙච්ච තැන පොළවේ දහස්පෙතියා පිපෙන්න ඕනේ. “
ඒ වනවිටත් මම අඬමින් සිටියෙමි. මට උන් එකම හිතවතා යළි දකින්නට වන්නේ නැත. අහසේ වළාකුළු වලට පාට එන හැටි, වැස්ස වහින හැටි, අකුණු ගහන හැටි, අසා දැන ගන්නට කෙනෙක් දැන් නැත. කුරුල්ලන් බිමට නොවැටී පියාඹන හැටි අහන්නට කෙනෙක් නැත. චූටි සීයාත් හාමිනා ආච්චිත් බැන වැදුනහ. මින්පසු නොඑන්නයි කීය.
උරහිසෙන් මදක් හැලුනු ගවුමේ කර මම අත මදක් ඔසවා සකසා ගන්නට වූවෙමි. අත යළි හැලේ. ගවුමේ පිටුපස පටියත්, පිටුපස උඩ බොත්තමත් ගැලවී ඇත . එහෙත් මට ඒවායේ වගක් නැත. මම මිදුලේ සිට ගෙන ම සිටියදී චූටි සීයා බුලත් කෙළ පහරක් මිදුලට ගසා ගෙට ගියේය. එසැනින් දෙදෙනාම අතට අහුවුනු පොත් ගෙනැවිත් මිදුලේ තැනක ගොඩ ගැසූහ. සේනාධි අයියා පරිහරණය කළ පොත් ගිණි තියන්නට ඔවුහු සැරසෙති. එතෙක් වේලා අඬමින් සේම අත් කකුල් හිර වී මෙන් තිබූ මාව හදිසියේම ක්‍රියාත්මක විය. චූටි සීයාත් හාමිනා ආච්චිත් පොත් ගෙනෙන්නට ගොසිනි. වහා දිව ගිය මා මිදුලේ ගොඩ ගසන පොත්, මගේ අතට අහු වී පපුවට හිර වෙන තරමේ ප්‍රමාණයක් ගෙන දිව්වෙමි. ගල් තලාව උඩට අත ඇරියෙමි. යළි දුව ආවෙමි. පෙර සේම ගෙන ගියෙමි. වට කිහිපයක දී තරමක පොත් ගොඩක් ගල්තලාව මත තිබින. ටික වෙලාවකට පසු මට පෙර චූටි සීයා ඉස්සර වූවේය. සේනාධි අයියාගේ වෙනුවෙන් මා එකතු කර ගත් පොත් කිහිපය හැරෙන්නට ඉතිරිය ගිණිබත් විය. අලු වී හුළඟේ ගසා ගෙන ගියේය.
මම එතැනින් නික්මුණෙමි. ගල් තලාව මත වැතිරුනෙමි. හති ඇරියෙමි. පරණ පාට පොත් එකින් එක දිග හැරියෙමි. එතරම් බැරෑරුම් පොත් කියවන්නට මට අසීරුය. අකුරු ගැට ගහමින් පේළියක් දෙකක් කියවන්නට උත්සාහ කලෙමි. පොත් පිට කවර වැඩි හරියක් රතු පැහැතිය. ඒවායේ දෑකැති, මිටි, තරු ඇඳ ඇත. එයින් රතු පැහැ ඉංග්‍රීසි පොතක නම කියවන්නට ඒ අකුරු අතරේ දන්නා ඉංග්‍රීසි අකුරු වේ දැයි සෙව්වෙමි.
එච් ඕ ඩබ්ලිව් .. ටී එච් ඊ .. එස් ටී ඊ ඊ එල් .. ඩබ්ලිව් ඒ එස්.. ටි ඊ එම් පී ඊ ආර් ඊ ඩී..
(How the steel was tempered – Nicolai Ostrovsky – 1920 සෝවියට් නවකතාවක්)
——————————————————
(පසුකලෙක දැදිගම. වි. රොද්‍රිගෝ මහතා අතින් ‘වානේ පන්නරය ලැබූ හැටි නමින් පරිවර්තනය විය . )
පසුගිය සතියේ කොටස මෙතැනින් –
© අරලියා පෙරේරා
