මට හය අවුරුද්දක් ලබන විට මගේ ලොකුම අක්කා දහතුන් අවුරුද්දකි. මගේ අම්මා යාන්තමින් තිස් හතර වෙනි වියට එළඹුනා පමණී. තාත්තා ඒ වනවිටත් හතරවෙනි දශකයට ලඟා ව තිබුනි. ගෙදර ආච්චිගේ පෙනුම සාමාන්‍ය ගම්බද ගැමි වියපත් ගැහැණියක සේ ම වූ නමුදු ඈ පනස් වැනි අවුරුද්ද ගෙවා තවත් වසරක් දෙකක් පමණ කාලයක් ගෙවන්නට ඇතැයි සිතිය හැකිය. ඒ මන්ද ඇයට හිමි හඳුනාගැනීමේ පත්‍රයක් හෝ වෙනයම් ලියවිල්ලක් නොතිබුනි. පාසලකට ගොස් නිසි අධ්‍යාපනයක් ලබා නොතිබුනි. පන්සලේ වැලි මලුවේ ගුරු හාමුදුරු කෙනෙකුගෙන් එකල අකුරු උගනීමට ගිය බව කියන නමුදු ඈ දැන සිටි අකුරු සාස්තරයක් නොතිබුනි. එනිසා ඇයට කියවීමටත් ලිවීමටත් නොහැකිය. කාලයකට ඕනෑ වෙන එක් එක් ලිපි ලේඛන වලට ඈ තැබුවේ මහපටැඟිලි තීන්ත සලකුණ යි. එමෙන්ම ඔප්පු තිරප්පු සඳහා ද ශත ගණනේ මුද්දර මත ඇඟිලි සලකුණ තිබිනි. එහෙත් ගෙදර ආච්චිට ත්‍රිපිටක සූත්‍ර කටපාඩමින් කිවිය හැක. ගණ ස්වර හොඳින් වර නැඟෙන්නට මන්තර කිවිය හැක. ධම්මපද ගාථා එකක් නෑර මතකයේ තිබුනි.
එමෙන්ම පැරණි සිදුවීම් දින වකවානු නිවැරදිවම මතකයේ තිබුනි. ගෙදර ආච්චිගේ ලෝකය බොහෝ කුඩා විය. ඇයට දරුවන් එකොලොස් දෙනෙකි. අපේ තාත්තා වැඩිමහල් වූ අතර මා මේ කියන කාලය වන විට ඒ එකොලොස් දෙනාගෙන් ජීවත්ව සිටියේ නව දෙනෙකු පමණී. නවදෙනාගෙනුත් සිංහල අවුරුදු කාලයට මහගෙදරට පැමිණෙන්නේ හත් දෙනෙකු පමණි. නොඑනා දෙදෙනාම ගෙදර ආච්චිට අනුව අඩුකුල වලින් විවාහයන් කර ගත් අයවේ. එයින් එක් නැන්දා කෙනෙකු විවාහ වී සිටියේ අභ්‍යාසලාභී ගුරුවරයෙකු සමඟය. මහගෙදර ප්‍රතික්ෂේප කරමින් නිවසින් පිටව ගොස් තිබූ බාල මාමා තම ගුරු පුහුණුවේදී අඳුනා ගත් දුර පළාතක යුවතියක් විවාහ කරගෙන තිබුනි. මිනිසුන් ලෙසින් ඒ පිටස්තරයින් දෙදෙනාම අවැසි සියලු සුදුසුකම් සපුරා තිබූ නමුදු කුලගොත් ක්ෂීන වීම හේතුවෙන් මව් – දරු පුරුක් බිඳී තිබුනි.
ගමේ අසල්වැසි නිවෙස් වල මරණ ගෙවල් මඟුල් තුලා වලට ඉඳහිටක පැමිණෙන බාල මාමා මට කිහිප වතාවක් මුණ ගැසී තිබුනි.
” අපේ ලොකු එකාගේ හිච්චි කෙල්ල නේද ” යි අසා ලඟ කඩේකින් බුල්ටෝ අහුරක් හෝ කොල කැබැල්ලක එතූ පාට පාට සීනී බෝල අහුරක් ඔහු ඒ කීපවිටම මගේ අතේ මිටි මොලවපු බව මට හොඳින්ම මතකය.
” අනිත් එවුන්ටත් දීලා කාහන් හිච්චි කෙල්ලේ “
මා රස අහුර ගෙන වැට පැන නිවසට දෙසට දුවද්දී ඔහු හඬ තලනු ඇසේ. බාල මාමා එසේ දෙන්නැයි කීවාට මා මුල් දිනවල අනෙක් අයටත් දුන්නාට මටවත් අනෙකුන්ට වත් ඒවා රස බැලීමට ලැබුනේ නැත. ගෙදර ආච්චි ඒවා උදුරා විසී කරනු මට පෙනුනේත් අපැහැදිලි ලෙසිනි. ඉන්පසු මා ඒවා කෑවේ තනිවය. ගල් තලාවේ පේළියට ඇඳෙන තෙල් කූඹී රංචුවට හෝ නැතිනම් විෂ කඩි පාට පාට හූනු බිත්තර ඔසවා ගෙන යනු දැකීම මට සතුටක් විය.
මේ කිසිවකට අපේ අම්මා මැදිහත් නොවුනි. ගෙදර වත්තේ පොල් කඩන්නට එන මිනිහෙකු සමඟින් හෝ අම්මාගේ කතාවක් නොතිබුනි.
අපේ අම්මාගේ චර්‍යා ගැන එදවස මා බොහෝ සේ සිතුව ද අම්මාගේ රූ රටා මගේ හිතේ සෙවනැලි අඳින්නට වූයේ මට වයස විසි ගනන් වලදී ය. උඩරට පන්නයට ඇඳි ඔසරිය.. වම් ඇලයට දැමූ ඔසරි පොට.. නිරතුරුව ගෙලෙ හි වූ ඇට මාල පොට.. ඍජුකය.. නිවස ඉදිරිපිට දී හැමටම දැක ගත හැකි විය. නිවස තුළ දී ඒ ඔසරි පොටම ඉන වටා එතෙයි. ඔසරියට උඩින් චීත්ත රෙද්දක් එතෙයි. දිලිසෙන මුහුණේ දැලි අඟුරු තැවරෙයි. දුම් රොටු හිස කෙස් අතර තැනින් තැන සුදු පැහැ කරයි. පෝච්චි වැසිකිලියට වතුර පනිට්ටු තැබීමේ සිට ලිප් බොක්කේ අලු අඟුරු ඉවත් කිරීම දක්වාම ‘නුවර හාමිනේ’ යි නම් ලද අම්මා අතින් සිදුවිය. ගොම හා මැටි දිය කර දියාරුව ලිප් ගල් වලත් ඒ තට්ටුවේත් උයනගෙයි බිම පුරාත් අතින් ගාන දවස් වල අම්මා පිටිඅල්ලෙන් කඳුළු පිසිනු මා දැක තිබුනි. එදවස ඒ තෙත් බිම මතින් දුවන්නට ගොස් මා ලිස්සා ගොස් බිම ඇඳ වැටුනු විට අම්මා මාව අතකින් උස්සා එලියට තල්ලු කරන විටත් ඇගේ ඇහේ ඉනූ කඳුලක් තියෙන්නට ඇත. පසු නොබලා දිවූ මා ඒවා එදා දුටුවේ නැත. පසුකාලයක දී දැනෙනා තුරු දැනුනේ ද නැත.
කුලගොත් පිළිබඳ දිගු කතාවන් නිවසේ ඇති වූයේ පහළ වෙලේ අස්වනු කපන කාලයටයි. ගොයම් කපා අවසන ඒවායේ පංගු බෙදන තුරු පවුල් කිහිපයක් එතැනට වී බලා හිඳී. ඒ ඒ පවුල් වල දරුවන් මිතුරන් ය. ඒවාට ආගන්තුක වන්නේ ගෙදර ආච්චි පසුපස වැටී ආ මා පමණී. ගෙදර ආච්චි මඟ හැර ඒ ආසන්න සමවයස් උන් හා වැටී මිනිත්තුවක් ගත වන්නට පෙර ආච්චිගේ දෑසට මා හසුවෙයි.
“හිච්චි එකියේ.. ගෙදර ප ල. මට කියල කකුල් කෙටි දෙක තලා ගන්නැතුව”
ඇගේ එක අණකින් මා එතැනින් මිදෙන්නේ කුඩා සන්ධියේදී ද දැනුනු අමුතු ලැජ්ජාවෙනි. එහි ඉතිරි කොටස ආරම්භ වන්නේ හැන්දෑවේ ලාම්පු දල්වන විටදීය.
“මේකී ගිහින් අර බෙරවගොඩේ නටන්න. අලුතෙන් ඉඩන් අරන් කියාලා අර නවන්දන්නේ එවුනුත් අපේ මහ ඉඩම් වලට පය ගැහුවා. හිච්චි එකියේ දැන ගන් උන් උ ඹලෑ අප්පට පෑහෙන සම්මජ්ජාතියෝ නෙම්. රදාවෝ.. බෙරවායෝ.. නවන්දන්නෝ.. හකුරෝ.. උබලෑ අප්පා හොඳ පිරිවට ගොයිගමයෝ.. කවලම් එව්වෝ නෙමේ .. උබලෑ මහ අම්මණ්ඩි අතපය වන වනා ආවට එවුන්දෑ නුවර හාමිනේ කෙනෙක්. නිළමේ රාළලාගේ. මේකි ගිහින් පෑහෙන්නෙම අර පර හැත්ත එක්ක. කරුංකා එක්කාහු කරන්න එන ත ම් බි එක්ක බුදියාලා හම්බෙච්ච එව්වෝ ඔය. පේන්නැදද ත ම් බි පාට. “
ගෙදර ආච්චි හුස්මක් නොගෙනම කියවයි. ඇගේ භාෂාවෙන් දොඩවයි. ඒවා අසා සිටීමට තරම් රස කතා වුවත් ඒවාම අසා සිටීමට නොහැකි තරම් කර්ණ කඨෝර ම විය. එවිට මගේ කන් රිදුනි. මා කාමරයකට ඇදී මැටියෙන් හදා හංඟාගෙන ඉන්නා කුඩා මිනිස් රෑපයක් ගෙන තනිවම හිතින් කතන්දර කීමට පටන් ගනී.
” නමට නම් නුවර හාමිනේ. කොහේද ඉතින් මහලොකු වංශේ විතරනේ ගෙනව්වේ. අතපය වනාගෙන ආවේ ඔය බඩ ගෙඩියකුත් උස්සන්. “
ඒ අතර ගෙදර ආච්චි කියවනු මට ඇසේ. ඒවායේ තේරුම් මට හරි හැටි වැටහුනේ නැත . එහෙත් හදිසියේම කාමරයට කඩා වදින අම්මාගේ අත්ල පහරවල් මගේ පිට මත එවන් දිනවල පතිත වුනි.
” තෝ හින්දා මං හැමදාම අපහාස අහන්නෝනේ. කට කැඩිච්චි කතා අහන්නෝනේ. මොන කරුමයක්ද යකෝ මේක. තෝ ආයි එළියට බැස්සොත් මං බලා ගන්නම්. ලමයා කියල බලන්නේ නෑ අර නාන ලිඳේ ගිල්ලලා හුස්ම හිර කරන්නේ. ඒකටම අතෑරලා කියනව ලිඳේ වැටිලා මලා කියල . මගේ කරුමේ මේක මගේ කරුමේ ඉවරයක් නැති. “
අම්මා මා අත හැර යන්නට යයි. ඒ සියල්ල හදිසියේ වූ දේවල් සේම වැඩි වේලා ගත නොවන දේවල් ය. එහෙයින්ම මට කිසිවක් හිතා ගත නොහැකි සේම කිසිවක් කටින් පිටවන්නේ ද නැත. එවන් දින වල රැයෙහි මගේ කුස හිස් ය. එතැනම සීතල පොළවේ වැටී මා නිදාගෙන තිබුනි.
එකම කාල වකවානුවක වයස් සීමා තුනක මනස් මේරූ සීමා තුනක ‘ස්ත්‍රීන්’ තිදෙනෙක් එකම කරුණක් අරභයා කටයුතු කර තිබුනේ එලෙසය.
අම්මා නුවර පළාතේ කාන්තාවකි. තාත්තා ඇය හා හාද වී අම්මාගේ නිවෙසට හොරෙන් සැඟව පලා විත් තිබේ. ගෙදර ආච්චි දෑවෑද්දක් නැතිවම පැමිණි ඇයව පිළිගෙන ඇත්තේ අම්මාගේ රෑප සොභාවටත් ඇගේ උඩරට කුළයටත් පිං සිදු වන්නට ය. අන්තිමේ අම්මාගේ කුළ ආඩම්බරය නිවස ඉදිරිපිට ට සීමා වුනි. අම්මා වුව ලැබුනු හැම මොහොතකම ඇගේ උඩරට මාන්නය පිටස්තරයින් උදාරම් ලෙසින් හුවා පෙන්විය දෑවැදි නොමැති කම නිවසේ ඇතුලු කොටසේ දී ඇයට කටු ඔටුන්නක් වුනි.
කෙසේ හෝ තාත්තාගේ කවලම් නොවූ ගොවිගම කුළයත් අම්මාගේ උඩරට මාන්නයත් හේතුවෙන් විශේෂයෙන්ම මට මගේ ලමා කාලය අහිමි කර තිබුනි.
කුළ පිළිබඳ ඊළඟ සමීප අත්දැකීම ලැබුනේ බාලාංශ පන්තියේදීය. අම්මාගේ තාත්තාගේත් වැඩියෙන් ම ගෙදර ආච්චිගේත් මාන්නය හේතුවෙන් පිටස්තර සම්බන්ධතා අහිමි වූ සේම පාසලේදීත් එය එහෙමම සිදුවිය. එහෙත් ඒවායේ අරමුණු මදක් වෙනස් ව තිබුනි. ගෙදර උන් මුළුමහත් සමාජයෙන්ම ඉහළ තැනක් ගැනීමට උත්සාහ කළ හෙයින් අන් කිසිවෙක් නොතැකූ නමුදු ගුරුවරිය අන් අයගෙන් කැපි පෙනෙනු වස් මාව පාවිච්චි කරන්නට විය. මා හරහා අපේ ගෙදර හා සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට උනන්දු විය. පාසලේ ශ්‍රමදාන , රැස්වීම් වලින් මාවත් මගේ භාරකරුවන්වත් නිදහස් කෙරුණි. එවන් දින වලට පෙර දා හවස අපේ ගෙදරට පැමිණෙන ඈ දිගු වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදේ.
“නෝනේ අම්මා මේවායේ බරක් ගන්නෝන්නෑ. ඔය බෙරවායෝ ටිකයි රදාවෝ ටිකයි ඇවිත් උදලු වීසිකැතැ ගහන්නේ නැතෑ. නොනේ අම්මලාට පුළුවනෑ ඕකුන් එක්ක හරිහරියට පෑහෙන්න. මං මේ දුවාටත් නිතොරෝම කියන්නේ යන්නෙපා එවුවෝ එක්ක පෑහෙන්න කියල . මව් තැන නුවර මැණිකේ කෙනෙක් වෙච්චි මෙහෙව් දරුවෝ මේ අපේ කැලෑසි වලට එන එකත් කොච්චර ආඩම්බරයක් ද මං අහන්නේ.. “
මෙවැනි කතා නිවෙසේ ඉදිරි පියස්ස යට දී මාසයකට වතාවක් හෝ ඇසීමට ලැබේ. පාසලේදී නම් නිතර ඇසෙන්නට ලැබේ. ගුරුතුමියම වෙන් කල කාණ්ඩ කිහිපයක් තිබුනි. ඒවා කඩා තිබුනේ කුළයන්ට අනුව බව එදා මට අවබෝධයක් නොවුනි.
මරණෙට මඟුලට බෙර ගැසූ උන් නර්ථනයේ යෙදුනු උන් බෙරවායන් වී තිබුනි. වැව්තොටේ රෙදි වෙල්ලාව සේදු ගැහැණු පිරිමින් රදා නම් විය. මල්වර වූ කෙල්ලන් හිස දිය වත් කරන්නට නිවසේ පිළිකන්නේ කිරිගහ යටට ආවේද එකි රදා තළතුනා ගැහැණියකි. රන් කර්මාන්තයේ යෙදී උන් මිනිසුන් නවන්දන්න නම් විය. මැටි භාණ්ඩ සෑදූවන් කුඹලුන් නම් වුනි. මෙවන් තවත් කුළ කිහිපයක්ම මා ජීවත් වූ ඒ ගම් දනවුවේ ජීවත් විය.
එදා ගෙදර ආච්චිට අමතක වූ යමක් තිබී ඇත. නැතිනම් ඇගේ මාන්නය විසින් ඇයට එය අමතක කරන්නට ඇත. ඉහත කී කුළ පරම්පරා සියල්ලෙන් එක් පරපුරක් හෝ සමාජයේ නොවුනි නම් සමාජ පැවැත්ම අසංතුලිත වන බව ඇයට අවබෝධයක් තිබෙන්නට නැත.
“මැටි හට්ටි හදන කට්ටිය නැත්නම් උයන්නේ කොහොමද සේනාධි අයියේ. එතකොට ආච්චි මැටි හැදුවාම ආච්චි කුළඹා නේද ?”
චූටි සීයාගේ මුනුපුරා වන සේනාධි අයියා එවිට මහ හඬින් සිනාසෙනු මට මතකය. පුංචි කමට මා එසේ ඇසුවාට සේනාධි අයියා ජේෂ්ඨයත් සමත් වූ ඉලන්දාරි කොල්ලෙකි.
“කුළඹා නෙමේ ගොං කෙල්ලේ කුඹල්.. කුඹල්.. ඔව් ඔව්.. රදාවෝ රදාවෝ කිව්වට බලන්න තිවුනා තමයි එව්වෝ නැති උනානම් උඹලගේ ආච්චි රෙදි වෙල්ලාව ඔලුවේ තියන් වැවේ බහින හැටි. “
” ඒක තමයි .. “
පුංචි දවස් වල ඒ ගැන ප්‍රශ්න නැඟුවද පසුකාලීනව මට ‘කුළය’ට මැදින් ‘ක’ අකුර දමාගෙන කුළකය නම් බෙදීමක් ඉගෙන ගන්නට ලැබුනි. සමාජ කුලක බෙදීමට කුළය මෙන් නිර්නායක නොතිබුනි. ඒවා සාපේක්ෂතා විය. ඇති – නැති.. පොහොසතුන් – දිළින්දන්.. බලවතුන් – දුබලයන් ආදී ලෙසින් කුළ සියල්ල එක රාශියක් වී පසුව ඒවා කුලක දෙකකට බෙදුනි. කුලක ගැන අවබෝධයට පෙර කුලයන් ගැන බොහෝ මතක මා සතුය.
සිරිවර්ධන ගුරුතුමියගේ බෙදීමට අනුව මා හා එකම මේසයක සිටියේ තවත් තිදෙනෙක් පමණි. ඔවුන් මිත්‍රශීලී වූ මතකයක් නැත. ඔවුන් නිතරම පාහේ ගුරුතුමිය වටේ එක් රැස් වී සිටි බවක් මට මතකය. එකලත් පසුකලකත් මගේ ප්‍රියතම දේ වූයේ නිර්මාණ කිරිමයි. ඒ අතරම චිත්‍ර කර්මයයි. බාලාංශ පන්තියේදී අපට කරන්නට තිබුනේ ත් ඒවාම පමණයි. කිරිමැටි අනා අලි කොටි වැනි සතුන් ඇඹීම, නැතිනම් ස්වාභාවික වර්ණ තනාගෙන සිතුවම් කිරීම දිනපතාම කෙරුණි.
මා තනිව විචාරණ කෙල්ලකු නිසාවෙන් දෝ නිතරම පාහේ මාගේ නිර්මාණ අනෙකුන්ගෙන් වෙනස් උනි. නිතරම දකින්නට ඇති දේ වුව මා අතින් ඇඳී තිබුනේ යථාර්ථයට ලංවය. ගුරුවරියගෙන් මා පැසසුම් ලැබූ අවස්ථා ගණනාවක් මට මතකයට නැගේ. වෙල් යායක් සිතුවම් කිරීමට දී තිබූ දිනෙක සියල්ලන්ම පාහේ ඉංග්‍රීසි වී අකුරක හැඩයේ කොළපාට ගොයම් ගස් ඇඳ ඒ මැදින් ඍජු රේඛාවක් ඇද වී කරල නිර්මාණය කර තිබුනි. මා පමණක් ඇලයකට පහලට නැමුණු ගොයම් කොළත් පහළට බරව නැමුණු බර පෙනෙන වී කරලුත් ඇඳ තිබුනි. සාමාන්‍යයෙන් එදිනෙදා දකින දේ මගේ මනසේ තැම්පත්ව තිබූ සේ මා එය ඇඳි නමුදු එයට ප්‍රශංසාත්මක බවක් ලැබේයැයි පුංචි කෙල්ලට සිතී තිබුනේ නැත. අහසක් වුව මා උදෑසන, දහවල නැතිනම් හැන්දෑව, රාත්‍රිය ලෙස වෙන්කොට ගෙන වර්ණ වෙනස් කරමින් සිතුවම් කලේ හිතාමතාම නොව මනසේ සටහන්ව තිබූ ලෙසිනි.
පරිකල්පනයත් අත්දැකීමත් මනසේ මාර්ග දෙකකි. එය නිවැරදිව වටහා ගත්තේ මා ජීවත් වීමේ ආදායම් උපයන මාර්ගයක් ලෙස මනසේ තැම්පත්ව ඇති දේ හාරා අවුස්සා ගන්නා කාලයේ දීය. ඒ ගැන කතා කිරීමට පෙර කුඩා සන්ධියේ තව බොහෝ දේ කීමට තිබේ. මේ තරම්ම කුඩා සංධියේ දේ මතකයට නැඟෙන්නේ වැඩිහිටි කෙල්ලක වූ පසුව ත් කුඩා දවස් වල හැම මොහොතක් ම පාහේ එකිනෙකට බද්ධ ව තිබූ හෙයිනි.
සිරිවර්ධන ගුරුතුමියගේ පැසසුම් වලට බොහෝ විට මා හසුවද්දී පාසලත් මට නීරස වි තිබුනි. හැමදාම ඒකාකාරී රටාව මට අලස විය. පන්තියේ අනෙකුන් අතරින් මට ම මාව වෙනස් ව පෙනුනි. අනෙකුන් සාමාන්‍ය ලමයින් වෙද්දි මා පමණක් අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබුනි. එකල්හි පාසලෙන් දිවා විවේකය සඳහා සීනී බනිස් ගෙඩියකුත් කිරි කෝප්පයකුත් ලැබුනි. මුල් දවස් වල ඒවාට මා ප්‍රිය වුනු නමුදු කල්යත්ම ඒවාද නීරස වුනි. පන්තියේ කොල්ලන් කෙල්ලන් බනිස් ගෙඩියත් කිරි කෝප්පයත් එක් කටට නිම කරනු මා බලා සිටියේ දුකකිනි. ඉන්පසුව උන් පාසල් වත්තේ අඹ ගස් වලට නඟී. අමු අඹ කඩා ගන්නා උන් අඹ ගෙඩි ගල් වල ගසා පොඩි කර ගනි. කෙල්ලන්ගේ ගවුම් සාක්කු වලින් ලුණු කැට කොච්චි අහුරු පිටතට පැමිණේ. ඉන්පසූ ඔවුන්ගේ කට ඇඹුල් වෙමින් අඹ ගෙඩි ගිල දමයි. නැතිනම් උන් අඹ කොටයි. ලා අඹ ගෙඩි කෝටුවකින් හාරා මදය ඉවත් කරගෙන ඉන්පසු කොච්චි හා ලුණු දමා කොටා ලෙල්ල පිටින්ම හපා විකයි. නැතිනම් උන් කොට්ටම්බා තලයි. බෙලිං කයි. හීන් නාරං , ලාවුලු, සැතපිල්ලා හොයා ගනී. මේවා මට අහිමි ය. ඔවුන් ඒවා කන විට මගේ කට ට කෙළ උනා එයි. කට ඉල්ලන ඒවා නොමැති කමින් සීනි බනිස් හා කිරි කෝප්පය ඉවත දමන්නට මට සිදු වෙයි. නිවසට ආ පසු අඹ ගෙඩි කඩා මා ඒවා රස බැලූව ද මගේ දිවා විවේකයේ ආසාව නොසංසිඳේ.
මේවා වෙනස් වූයේ දිනෙක කෙල්ලෙකු අතින් වූ අත්වැරදීමකිනි. එදින චිත්‍ර කාලය සඳහා කුකුල් සායම් ගෙනෙන්නට නියමිතව තිබුනි. පොල්කටු වල දිය කර ගත් කුකුල් සායම් වලින් උදේ කාලය පුරාම චිත්‍ර ඇද පාට කර අවසන් වුනි. අනතුරුව ඉතිරි පාට සායම් වීසී කිරීමට ගුරුවරියගෙන් අණ ලැබුනි. කෙල්ලකු අතින් අත්වැරදීමකින් ඉන් කුකුල් සායම් පාට ස්වල්පයක් මගේ සුදු ගවොමේ තැවරුනි. ඈ පොල්කට්ට එතැනම අතැර දමා දිව්වා මට මතකය. පාසල් ලිඳේ පණිට්ටුවේ තිබූ වතුරෙන් මා ගවොම සෝදා ගත්ත ද ඒ පාට පැල්ලම මුළුමනින්ම මැකුනේ නැත. අර කෙල්ල බොහෝ වේලා යනතුරු දකින්නට ලැබුනේ ද නැත. මා සාමාන්‍ය ලෙසින් ම උන් නමුත් ගෙදර ගිය පසු ගවුමේ පැල්ලමට පහර ලැබෙන බවත් දනී. එහෙත් අනෙකුන් මෙන් මා ගුරුවරියට පැමිණිලි කරන්නටද පෙළෙඹුනේ නැත. පෙර කී කෙල්ල සැඟවී සිටි තැනින් මතු වූයේ බොහෝ වේලාවකට පසුවය. ඈ මුලදි මගේ දිහා බැලුවේ නැත. තවත් වේලාවක් ගත වූ පසු ඒ කෙල්ල මට කෙමෙන් කිට්ටු විය. නැවත පිටවිය. ඒ රවුම කීප වාරයක් වූවාට පසුව ඇයගෙන් වචන කිහිපයක් නික්මුනි.
” ඒ හලෝ … ඔයා ටීචර්ට කියන්නේ නැද්ද.. “
“නැ”
“ඇයි?”
“චීචර් ගවුම් හෝදන්නේ නෑනේ”
කෙල්ල මදක් නිහඬ විය. මද වේලාවක් කකුලේ මහපට ඇඟිල්ලෙන් බිම හාරමින් සිටි ඇය එක්වරම හිස එසවීය.
“අපි ගවුම හෝදමුද?”
“මං හේදුවා හලෝ. යන්නෑ. මේං”
“ඉන්නකෝ හලෝ”
අඩියට දෙකට දුව ගිය ඇය අතුරුදහන් විය. තවත් ටික වේලාවකින් ඇය පෙනෙන්නට සිටියේ හති දමමිනි. ඇයගේ අතේ කොළපාට කිසියම් ගෙඩියක් හා කුඩා සුදු රෙදි පොට්ටනියක එතූ යමක් විය. ඇය ම ලිදෙන් වතුර පනිට්ටුවක් පිරවීය. පලමුව පැල්ලම මත අර ගෙඩිය අතුල්ලා ඊට පසුව සුදු පිට්ටනිය ඇතිල්ලීය. ගවුමේ තිබූ පැල්ලම අතුරුදහන් වී තිබුනි.
ඇයටත් මටත් සිනහවක් නැඟුනේ එකම විටය.
ඉන්පසුව ඔවුන්ගේ සමාගමේ මට ඉඩක් ලැබුනි. ඒ රස අඹ මටත් ලැබුනි. ඇගේ අතයි මගේ අතයි එකට වෙළී තිබුනි. ඇය කුමන දෙයක් කෑවත් ඒවායින් කොටසක් මටත් ලැබුනි. සිරිවර්ධන ගුරුතුමිය දුටුව හොත් ඇය මාව අත හැර සැඟවුනි. එහෙත් කෙටි කාලයකට හෝ මට ඇයව මිතුරියක ලෙසින් ලඟින්ම ඇසුරු කරන්නට ඉඩ ලැබුනි.
” මාණික්‍යා ,
මං එදා එකේ පන්තියෙදි හොඳටෝම බය වුනා. ඔයා ටීචර්ටත් කියල ගෙදරටත් කියල මට ගස්සවයි කියල . එදා එහෙම උනානම් මට අපේ අම්මා ඊට පස්සේ ඉස්කෝලේ එන්න දෙන්නෙත් නැතුව ඉන්න ඉඩ තිබුනා. ඔයා එහෙම නොකල නිසා මට විශ්වවිද්‍යාලෙට වෙනකම්ම යන්න හම්බුනා.”
සුභාෂිණි අවුරුදු ගණනාවකට පසුවත් එවා තිබූ ලිපියක එදා සිදුවීම සිහිපත් කර තිබුනි.
ඉන්පසුව මට පාසල නීරස වූයේ නැත. බෙදාහදා ගැනීමත් සහයෝගයෙන් ඉඳීමත් මා බාලාංශයේදීම ඉගෙනගෙන තිබුනි. පැල්ලම් වදින හැම ගවුමක්ම සෝදන්නට අපි එකතුව තිබුනි. කුඹුරේ පැහුණු වී කරල් බිමට නැවෙන බව මා ඔවුනට පෙන්වා දුනි. උදේ පාසලට එනවිට අහසට වඩා පාසලෙන් පිටවන විට අහස වෙනස් බව ඔවුන්ද දැන ගෙන තිබුනි. තාත්තා කොළඹින් ගෙනන මකන කෑලිවලට ඔට්ටපාලු බෝල හුවමාරු වුනි. කොළ ඇලවීමට කොළඹ ගම් දියර මෙන්ම රබර් කිරි ද කජ්ජු ලාටු ද හැමකෙක් අතරම බෙදුනි.
එහෙත් ඒ සුන්දර කාලයට මට හිමිකම් කීමට සිදු වූයේ ඉතාමත් කෙටි කාලයකි.
මා බාලාංශ පන්තියේ සිටියදී උගත් තරුණ කණ්ඩායම් සමානාත්මතාවය වෙනුවෙන් ඉල්ලීම් දිනා ගන්නට නැඟී සිට තිබුනි.
තරුණ විප්ලවය දේශපාලන මුහුණුවරක් ගෙන ගම් දනව් සිසාර පැතිරෙන්නට වුනි.
සීත සළු පොරවාන නමුණුකුල සැඟවෙද්දි
ගිරි සිරස පිපුණු මල් අපරාදේ පරවෙද්දි
තරණයට ගිය කෙනෙක් කුළ මුදුනේ තනිවෙද්දි
තනි නොකර අත්වැලක් දුන්න වුන් පැරදිච්චි..
පසුගිය සතියේ කොටස මෙතැනින් –
© අරලියා පෙරේරා
