ලෝක නාට්‍ය කලාවේ ආරම්භය දෙස අවධානය යොමු කරන විට ඉපැරණි ගෝත්‍රයන් තුළ වූ ඇදහිලි හා විශ්වාසයන් ප්‍රමුඛ වී ඇති බව අපි දන්නෙමු. එමෙන්ම නාට්‍ය කලාව හා කතෝලික ආගම අතර ඇත්තේද ඉපැරණි සබඳතාවකි. දේවස්ථානයෙන් පටන් ගත් දේවස්ථාන නාට්‍ය කලාව, අනතුරුව දේවස්ථානයෙන් ඉවත්ව ජනයා අතරට පත්ව නාට්‍ය හා නාට්‍ය ස්වරූපය ගත් අංගයන් හා එක්ව මධ්‍යකාලීන යුරෝපීය නාට්‍ය කලාව තෙක් විකාශනය වූ බව අපි දනිමු. මධ්‍යකාලීන යුරෝපීය කිතුණු ජන වන්දනා නාට්‍යය ලෙස,
•මිස්ටරි (අද්භූත)
•මිරැකල් (ප්‍රාතිහාර්ය)
•මොරැලිටි (සදූපදේශ හෙවත් සදාචාර)
බිහිව ක්‍රමයෙන් පාස්කු දුක්ඛප්‍රාප්ති නාට්‍ය කලාව මෙරට ආරම්භ විය.
මුල් කාලීන ජේසු නිකායික මිෂනාරීවරුන්ද තම ආගමික පණිවිඩය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළ බවද, එය ජන සන්නිවේදනයක් වශයෙන් භාවිත කළ බවද පැවසේ. එමෙන්ම මුල් කාලීන නාඩගම් රචකයන් බොහෝ දෙනෙකු කතෝලික භක්තිකයන් වූ අතර, සිංහල නාඩගම් කලාවේ පුරෝගාමියා වශයෙන් සලකනු ලබන පිලිප්පු සිංඤා ද කතෝලිකයෙකු ලෙස සැලකේ. ඔහු විසින් රචිත සුසෙව්, හෙළේනා, රජතුං කට්ටුව වැනි නාඩගම් වලට වස්තු විෂය වී ඇත්තේ ද ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ කතා පුවත්ය. මෙලෙස බොහෝ මුල් කාලීන නාඩගම් වලට පසුබිම් වී ඇත්තේ රෝමානු කතෝලික සමාජයකි. තවද ඒ සඳහා උදාහරණ ලෙස බී.ක්‍රිස්ටියන් පෙරේරා ගේ ඉයුජින්, බැලසන්ත, ඔරිසොන්, බ්‍රම්පෝඩ් යන නාඩගම් දැක්විය හැකිය.
ක්‍රිස්තියානි ආගමික විශ්වාසයේ ඇති සම්බන්තාව සබඳතාව මෙරට ජනතාවට පහදා දෙන්නට නාට්‍ය කලාවද යොදාගත් ආකාරය මෙමගින් පැහැදිලි වේ.

මෙම පාස්කු නාට්‍යය මුල් යුගයේදී රඟ දැක්වූයේ රූකඩ මාර්ගයෙන් යැයි විශ්වාස කෙරේ. පැරණිම පාස්කු නාට්‍යය සංදර්ශනය කරවනු ලැබුවේ මන්නාරමේ පේසාලේ නම් ගමෙහිය. මීට අවුරුදු හාරසීයකට පමණ උඩ දී එය ආරම්භ වී ඇත. මෙම පාස්කු නාටක සම්ප්‍රදාය යාපනයෙහි ව්‍යාප්ත වී, එයින් පසුව මීගමුව ප්‍රදේශයේ පමුණුව, දූව, පිටිපන ආදී ගම්වලට ද මෙම පාස්කු දර්ශන ව්‍යාප්ත වී ඇත. එම ප්‍රදේශයන් හි අද වන විටත් අඩු වැඩි වශයෙන් පාස්කු නාට්‍යයන් රගදැක් වෙන්නේය.
පිටිපන හා පමුණුගම දෙව් මැදුරු ඉදිරියෙහි සාදන ලද ස්ථාවර පාස්කු දැකිය හැකිය. අනෙකුත් බොහෝ තැන්වල පාස්කු නාට්‍යය රඟ දැක්වීමේ දී ඒ සඳහා තාවකාලික රංගාවකාශයන් තනනු දැකිය හැකිය. එනමුත් මෙසේ මඩුවක් සෑදුව ද පාස්කු නාට්‍යයේ බොහෝ ජවනිකා රඟදක්වනු ලැබුවේ එළිමහනේ ජනතාව මධ්‍යයේය. ප්‍රේක්ෂකයන්, නළුවන් වශයෙන් වෙනසක් නොපෙනෙන තරමටම ගමේ හැමදෙනාම එක් වී මෙම නාට්‍යයට සහභාගී වනු දැකිය හැකිය. ඒ නාට්‍ය කලාවට එක් වූ සුවිශේෂී සන්ධිස්ථානයකි.
(බොහෝ පාස්කු නාට්‍ය සංදර්ශනය සඳහා ඉදිකරනු ලබන මඩුව අඩි විස්සක් පමණ උස වන්නේය. මුල් කාලීනව සුරුවම් භාවිත කෙරුණද, මෙම පාස්කු සංදර්ශනය සඳහා නළු නිළි, ප්‍රේක්ෂක භේදයකින් තොරව බොහෝ දෙනෙකු එයට සම්බන්ධ වූ බව පෙනේ.)
දේශීය පාස්කු නාට්‍ය කලාව සඳහා යුරෝපීය ජන වන්දනා සම්ප්‍රදායේ සහ දක්ෂිණ භාරතීය තෙරුක්කුත්තු වලද ආභාෂය ලැබී ඇති බව පැවසිය යුතුය. වසර 1687 දී ගෝවේ නුවර සිට රහසිගතව මෙරටට පැමිණි ඔරතෝරියානු නිකායික ජුසේවාස් පියතුමන් හා 1704 දී පැමිණි ගෝවේ ජාතික ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ලාංකේය කිතුනු සාහිත්‍යයකට මුල පිරීමත් සමඟ ලාංකේය පාස්කු-දුක්කප්‍රාප්ති නාට්‍යයේ ස්වර්ණමය යුගය උදාවිය.
“පාස්කු නාට්‍යයේ තේමාව වනුයේ, ක්‍රිස්තුස් වහන්සේ ව කුරුසියේ ඇණ ගසා අනේකවිධ දුක් දී ඝාතනය කළ ආකාරය සහ දින තුනකින් එතුමා මළවුන්ගෙන් උත්ථාන වීමයි.”
මෙම පාස්කු නාට්‍යවල කතෝලික ලබ්ධිකයන් රූපණ කාර්යයේ බහුල වශයෙන්ම නිරත වී ඇත.

දේශීය පාස්කු නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රධාන ධාරාව ලෙස ගත හැකි දුවේ පාස්කු දුක්ඛප්‍රාප්ති නාට්‍යයේ රඟ දක්වනු ලබන ප්‍රධාන අවස්ථා පහත පරිදිය.
•ලෝක ආරම්භය- සුගති උද්‍යානය, ආදම් ඒවා කතාව.
•පිලත් රජුගේ මාළිගාව අසලින් ජෙරුසලම් නුවරට ජේසුතුමා ජනතාවගේ “හෝසන්නා ජයගෝෂාවෙන්” යුතුව වැඩම කිරීම.
•අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය.
•ද්‍රෝහී වූ යුදාස් (ජුදාස්) ජේසුතුමා ව සතුරන්ට පාවාදීම සඳහා පිටත්වීම.
•ගෙත්සමෙනි උයනේදී ජේසුතුමා මරණයට තීන්දු කිරීම.
•අන්නාස් සහ කයාෆාස් නායක පූජකවරුන් අබියස අනඩු ගුරු සභාව වෙත ජේසුතුමාව ඉදිරිපත් කිරීම.
•ජේසුතුමාව ගල්කණුවේ බැඳ කසපහර දීම.
•පිළාත් ආණ්ඩුකාරවරයා ජේසුතුමාව මරණයට තීන්දු කිරීම.
•ජේසුතුමාගේ කර මත කුරුසය පටවා ගමන් කරවීම.
•වෙරෝනිකා නම් බැතිමත් ලද විසින් ජේසුතුමාගේ මුහුණ රෙදිකඩකින් පිස දැමීම.
•ජේසු තුමාව කුරුසියේ තබා ඇණ ගැසීම.
•ජේසුතුමාගේ ශ්‍රී දේහය ගල්ලෙනෙහි තැන්පත් කිරීම.
•ජේසුතුමා මළවුන්ගෙන් උත්ථාන වීම. (නැගී සිටීම)
“පාස්කු නාට්‍ය ඇරඹෙන්නේ ගොප් ඉරිදා ය. උදෑසන පූජාවෙන් පසු ජේසුස් වහන්සේ කොටළුවෙකු පිට යෙරුසලම් නගරයට වැඩි අයුරු පෙරහැරකින් නිරූපණය කරනු ලබයි. මේ සඳහා කොටළුවෙකුගේ ආකාරයෙන් සාදන ලද දඬුවම් විට යේසුස් වහන්සේගේ සුරුවම හිඳුවා, දේවස්ථානය වටා නැතහොත්, දූවෙහි නම් දූපත වටා ගෙන යෑම සිරිතයි. ඇතැම් ගම්වල ගොස් ඉරිදා පෙරවරු පරණ ගිවිසුමේ එන ලෝකය ආරම්භය පිළිබඳ ආදම් සහ ඒව පිළිබඳ කතාව ද වෙන කතා කීපයක්ද ජීව රූප මගින් නිරූපණය කරති. පස්වරු වේලේ අලුත් ගිවිසුමෙහි එන සමහර කතා ද රඟ දක්වති. මහා බ්‍රහස්පතින්දා රඟ දක්වනු ලබන්නේ පිළාත් ඉදිරියෙහි කෙරෙන නඩු විභාගයෙන් හා මරණ තීන්දුවෙන් කෙළවර කරන නාට්‍යයෙහි, පළමුවෙන් දැක්වෙන්නේ යේසුස් වහන්සේ කුරුසිය කර තබාගෙන ගමන් කිරීමයි. මෙතැන් සිට සිදුවන සිද්ධිදාමය අතිශයින් හැඟීම් දනවන සුළුය. එසේ යන අතර වෙරෝනිකා නම් ස්ත්‍රිය විත් ලේන්සුවකින් උන්වහන්සේගේ මුහුණ පිස දමයි. එවිට මුහුණේ සටහන ලේන්සුව මත ඇඳේ. ඉන්පසු දේව මෑණියෝ විත් යේසුස් වහන්සේ හමුවූ සැටි, දෙවැනි වරට බිම වැටෙන සැටි, සිමොන් සිරිනෙයුස් වඩුවා අවුදින්, උන්වහන්සේ ඔසවා කුරුසිය ගෙන යාමට උපකාර වූ සැටි, දරුවන් වඩාගෙන විත් හඬමින් වැළපෙමින් තමන් වෙත පැමිණි ජෙරුසලම් ස්ත්‍රීන් සැනසූ සැටි නිරූපණය කරනු ලබයි. මෙකී අන්තිම දර්ශනය නැරඹීමේදී ස්ත්‍රීහු බෝනික්කන් වඩාගෙන විත් පසන් ගයමින් මද දුරක් පෙරහරේ ගමන් කරති. මෙහි දී යේසුස් වහන්සේගේ සුරුවම වේදිකාවට ගෙනයනු ලබයි. කඩතුරාව ඉවත් කරන විට වේදිකාව මැද දක්නට ලැබෙන්නේ මැද වේදිකාවේ යේසුස් වහන්සේටත්, දෙපස වේදිකා දෙකෙහි සොරුන් දෙදෙනාටත් ඇණ ගසා සිටීමය. දුක් ප්‍රාප්ති කාලය අවසන් වූ විට සුරුවම දේවස්ථානයට ගෙන යනු ලැබේ. සෙනසුරාදා උදේ යක්ෂයින් පිටවීමේ සිද්ධිය පේසාලෙහි හා යාපනයේ නිරූපණය වූ පිළිවෙලටම දූවේත්, වෙන ගම්වලත් කරනු ලැබේ. මෙහි දී සිදු කරනුයේ කතෝලික ආගමික යක්ෂ සෙන්පතියා වූ ‘සාතන්’ ඉදිරියේ කෙරෙන නඩු විභාගයකි. පිටිපන වැනි ගම්වල “සාතන් ගේ පරාජය” නමින් වෙනම නාට්‍යයක් ද රඟ දක්වනු ලබයි. ඉරිදා නිරූපණය වන්නේ යේසුස් වහන්සේ මියගොස් යළි ඉපදීම පිළිබඳ පුවතයි. (උත්ථාන වීම). මෙහිදී මරියා මද්දලීනා හා මාර්තා යන දෙදෙනා සොහොනට ගොස් ශරීරය සොයන අයුරුත් උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බව දේවදූතයා දැනුම් දෙන අයුරුත් ගීත හා සංවාද යොදා නාට්‍යානුසාරීව රඟ දක්වනු ලැබේ. එතැනට දේව මෑණියෝ ද, අනතුරුව ගෝලයෝ ද පැමිණෙති. කෙළවරේදී ජේසුස් වහන්සේගේ සුරුවම රැගෙන සියලු දෙනා පෙරහැරේ යති.”
(සරච්චන්ද්‍ර,පි.176/177)

පාස්කු නාට්‍යයේ රංග ශෛලිය නාට්‍ය ධර්මී ලක්ෂණවලින් යුතු වුවත්, සංවාද නිර්මාණයේ දී තාත්වික මෙන්ම භාවාතිශය විලාසයත් දක්නට ලැබේ. පාස්කු නාට්‍යයට යොදාගත්තේ බටහිර සංගීතයයි. එම සංගීත ශෛලිය හා සම්බන්ධ වූ භක්ති ගීත මෙහිදී ගායනා කරනු ලැබේ. පාස්කු නාට්‍ය සංදර්ශන අතර ඉතා වැදගත් තැනක් හිමි කරගන්නා සංදර්ශනය ලෙස බොරලැස්ස පාස්කු සංදර්ශනය සඳහන් කළ හැකිය. මෙම නාට්‍ය රචනා කර නිෂ්පාදනය කරන ලද්දේ බොරලැස්සේ කේ.ලෝරන්ස් පෙරේරා මහතා ය. බටහිර සංගීතයත්, භාරතීය සංගීතයත් හැදෑරූ ලෝරන්ස් පෙරේරා නුර්ති ශෛලිය අනුව යමින් ආගමික නාට්‍ය නිෂ්පාදනය කිරීමේ යෙදුනේය. මොහුගේ මූලික අභිප්‍රාය වූයේ ජීවමාන නළුවන් යොදා උසස් ගණයේ පාස්කු නාට්‍යයක් නිර්මාණය කොට,රඟදැක්වීමටය. මෙතෙක් බිහිව තිබූ පාස්කු නාට්‍ය පිළිබඳව සෑහීමකට පත් නොවූ ලෝරන්ස් පෙරේරා, ආගමික ක්ෂේත්‍රයට යෝග්‍ය පරිදි පාස්කු නාට්‍යයක් සම්පාදනය කිරීමට, ජර්මනියේ “ඔබර් අම්මර්ගව්” නමැති ගමේ වසර දහයකට වරක් රඟ දක්වනු ලබන ලෝක ප්‍රසිද්ධ පාස්කු නාට්‍යයේ පිටපතක් ලබාගෙන, ඒ අනුසාරයෙන් බොරලැස්සේ පාස්කු නාට්‍ය නිෂ්පාදනය කළේය. නමුත් ඔහු මෙම පාස්කු නාට්‍ය නිෂ්පාදනය කළේ දේශීය නාට්‍ය සම්ප්‍රදායට අනුකූලව වීම විශේෂත්වයකි.
පාස්කු නාට්‍ය සංදර්ශන අදටත් රඟදැක් වුවත් එහි නාට්‍යමය මෙන්ම, ගුණාත්මක වටිනාකම් හඳුනා ගනිමින්, මතු අනාගතය වෙත විකල්ප රංගාවකාශයන් තනා ගනිමින් ඒවා ඉදිරිපත් කරවීම නාට්‍යකරුවන් වන අප කාගෙත් වගකීමකි.
සම්පාදනය – ඩිල්රංග පෙරේරා
