ලෝක ග්ලෝකෝමා දිනය අදයි. ( මාර්තු 12)
ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානත ම රෝගී තත්ත්වයකි. එය අන්ධභාවයට බලපාන තුන්වන හේතුව ලෙස ද දැක්විය හැකියි. ග්ලෝකෝමාව නිසා අන්ධභාවයට පත් වූ ජනතාව මිලියන 4.5 කි. තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළේ. ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. මෙම තත්ත්වය වළක්වා ගැනීමට කල් ඇතිව රෝගය හදුනා ගැනීම කළ යුතු අතර එමගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතු බවයි. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ග්ලෝකෝමා අක්ෂි වෛද්‍ය අනුකමිටුවේ හිටපු සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ ග්ලෝකෝමාව යනු ඇස තුළ පීඩනය වැඩිවීම නිසා සිදුවන තෙරපීමෙන්, දෘෂ්ඨි ස්නායුවට හානිවීම, ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවීම සහ අන්ධභාවයට පත්වීම සිදු වන බවයි. වැඩිහිටි ජනගහනය වැඩිවිමත් සමග ග්ලෝකෝමා රෝගීන් ප්‍රමාණය ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. මෙහිදී විශේෂයෙන් ම , වයස අවුරුදු 40 ට වැඩි නම්, පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇත්නම්, අවිදුර දෘෂ්ටිකත්වය හෝ , දියවැඩියාව රෝගය ඇත්නම්, ඇසට අනතුරක් සිදුවී ඇත්නම්, ස්ටීරොයිඩ ඖෂධ භාවිතා කරන්නන් වේ නම් සැළකිළිමත් විය යුතු වෙනවා.

ග්ලෝකෝමාව හදුනා ගැනීම සදහා දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම, ස්නායු සදහා OCT පරීක්ෂාව සිදු කරනු ලබයි. ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන ඖෂධ ඉතා මිල අධික බවින් යුක්ත බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ග්ලෝකෝමාව පාලනය සදහා ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර මේ වනවිට සිදු කරනු ලබයි. එමෙන්ම ග්ලෝකෝමා රෝගියෙකු ඇසට නිවැරදි ලෙස බෙහෙත් දමන අකාරය පිළිබදව ද ජනතාව තුළ දැනුම්වත්භාවයක් පැවැතිය යුතුයි.
ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ඒ.ආර්.එම් තවුෆික් මහතා සඳහන් කරන්නේ ග්ලෝකෝමාව යනු සියළුදෙනා දැනුවත්භාවය ලබාගත යුතු මෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන රෝගී තත්ත්වයක් බවයි. එමෙන්ම පෙනීමේ අඩුවක් පවතී නම් කඩිනමින් අක්ෂි වෛද්‍ය සායනයකට හෝ වෛද්‍යවරයෙකු වෙත යොමුවීම සිදු කළ යුතු බවත්, අවධානම් සහගත රෝගී තත්ත්වයක් වන මෙම රෝගී තත්ත්වය පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරනවා.
ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් කරගත හැකි අතර, ලංකා ජාතික අක්ෂි රෝහල ඕනෑම ශික්ෂණ රෝහලක, ඕනෑම මහ රෝහලක මෙන්ම ඇතැම් මූලික රෝහල් මගින් ද මෙම පරීක්සණය නොමිලේ සිදු කර ගතහැක.
රෝගී තත්ත්වයට වැඩිදුර පරීක්ෂණ හා වැඩිදුර ප්‍රතිකර්ම අවශ්‍ය වූ විට රෝගියා ශික්ෂණ රෝහලකට යොමු කෙරෙන අතර, ඒ වනවිටත් රෝගියාගේ පෙනුම ග්ලෝකෝමාව නිසා දුර්වල වී ඇත්නම් ඒ් සදහා අවශ්‍ය දෘෂ්‍යාධාර උපකරණ හා අවශ්‍ය සහයෝගය ලබාදීමට විශේෂිත සායන ද ශික්ෂණ රෝහල් තුළ ස්ථාපිත කර ඇත. මෙයට අමතරව පෞද්ගලික රෝහල්වල ද අක්ෂි පරීක්ෂාව සහ අවශ්‍ය පරීක්ෂණ සදහා පහසුකම් ඇත.
තව ද ග්ලෝකෝමා සතිය තුල අක්ෂි රෝහලේ සායන සදහා සහභාගි වන ග්ලෝකෝමා රෝගීන්ගේ ළඟම ආශ්‍රිතයින් පරීක්ෂාවට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද ලබන සතියේ සිට ආරම්භ කිරිමට නියමිතය.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ ග්ලෝකෝමා රෝගී තත්ත්වයට අදාළව ප්‍රධාන කරුණු 04 ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. ග්ලෝකෝමාව හදුනා ගෙන කටයුතු කිරිම සදහා පුහුණු කිරිමේ වැඩසටහන් සිදුකිරිම (පශ්චාත් වෛද්‍ය උපාධිය සිදු කරන වෛද්‍යවරුන්ගේ පටන් සාමාන්‍ය වෛද්‍යවරු දක්වා, අක්ෂි තාක්ෂණවේදීන් සහ හෙද නිලධාරින් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල), ග්ලෝකෝමාව සමාජය තුළින් හදුනා ගැනීම සදහා දීප ව්‍යාප්තව ජනතාව පරික්ෂාවට ලක් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, ග්ලෝකෝමාව සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම, ග්ලෝකෝමාව පිළිබද තොරතරු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා සමාජගත කිරිම සිදු කරන බව ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසනවා.
ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව මාර්තු මස 12-18 දින දක්වා ජාතික ග්ලෝකෝමා සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සතිය තුළ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන්, සායන හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදුකිරිමට ද නියමිතයි.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විෂන් 2020 ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව පවත්වන ලද මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරෙනි.

ඉරේෂා මධුරකාවිනී
