වර්තමාන සමාජයේ ඇති ආර්ථික තත්ත්වය බොහෝ දෙනෙකු අතර මතභේදයකට තුඩු දුන් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම, දරිද්‍රතාවය මතු වීම , වියදමට සරිලන වැටුපක් නොලැබීම හා ආදායම් මට්ටම පහල යාම හේතුවෙන් සාමාජීය වශයෙන් වූ ගැටලුකාරී තත්ත්වයන් මතුවීම ආර්ථික අර්බුදයෙන් පැන නැගී තිබෙනවා.
එසේ නම් අද අප සූදානම් වන්නේ වත්මන් ආර්ථිකය හමුවේ රට කොතනද යන්න පිළිබඳව බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී සහ ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන් කටයුතු කරන වසන්ත මන්ත්‍රී පාල මහත්මයා සමඟ කතාබහක යෙදීමටයි.
ඔබතුමා කවුද?
මගේ නම වසන්ත මන්ත්‍රීපාල. මම අවුරුදු 22 කට පමණ ආසන්න කාලයක් සේවය කරා සහ සේවය කරනවා විවිධ ක්ෂේත්‍ර වල. දැනට මම BMICH එක යටතේ තියෙනවා BCIS Bandaranayake centre for international studies එ කියන්නෙ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථානය එහිදි මම ලේඛකාධිකාරී සහ ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනවා.

රටේ දැනට පවතින ආර්ථිකය මොන වගේ තැනක ද තියෙන්නෙ?
ඇත්තටම ලංකාව ගත්තොත් විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක් වෙනවා. සංචාරක කර්මාන්තය ගත්තොත් ලංකාවට විදේශ විනිමය ලබාදෙන තුන්වැනි මූලාශ්‍රය තමයි සංචාරක කර්මාන්තය. ඉතින් ඒකට ඒක කඩා වැටීම දැඩි ලෙස බලපානවා. ඒ වගේම කොවිඩ් වසංගත එක්ක මුළු ලෝකේම ආර්ථික කටයුතුවල සංකෝචන තත්ත්වයක් සිදුවුණා. අනිත් එක විදේශ ශ්‍රමිකයින් මෙරටට ලබා දෙන මුදල්. එම මුදල් නොලැබීම ලොකු කඩා වැටීමක් වුණා. දැන් ආර්ථිකය විදේශ මුදල් අහිමිවීම තුළ තමයි කඩා වැටීමට ලක්වෙලා තියෙන්නේ. දේශීය වශයෙන් ගත්තොත් එහෙම දේශීය ආර්ථිකය යම් ප්‍රමාණයකට අපිට ආරක්ෂා කරගැනීමට හැකි වුණේ දේශීය කර්මාන්තවල තිබ්බ ශක්තිය නිසා.උදාහරණයක් කිව්වොත් කෘෂිකර්මාන්තය අපි කෙසේ හෝ කරගෙන ගියා. අවශ්‍ය අමුද්‍රව්‍ය වන පොහොර වගේ දේවල් වල හිඟයක් ආවා නමුත් අර විශාල කඩාවැටීමක් අපිට දේශීයව සිදුවුණේ නැහැ. ඒ අපේ රට බිහිවීම තුළම අපට ශක්තීන් දායාද කරලා තිබිබ නිසා ස්වභාවධර්මයෙන්. ඒ නිසා ලොකු පරිහානියක් වුණේ නැහැ. නමුත් විදේශීය විනිමය පැත්තෙන් දැඩි කඩාවැටීමකට පත්වුණා. එය දැඩි ලෙස බලපෑවා අත්‍යවශ්‍ය ආනයන නැවතුනා.මිනිස්සුන්ගෙ ජිවිත වලට එය දැඩි ලෙස බලපෑවා. මොන වගේ ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් ජනතාවට ලබා දුන්නට පස්සේ ජනතාව නිහඩ වුනා. ඇත්තටම ඒ කියන්නේ මිනිසුන්ට දැඩි ලෙස තිබුණේ පොහොර,බෙහෙත්,තෙල් මේ තුන නොමැතිවීම. ඊටපස්සේ ලංකාවේ රජය තීරණයක් ගත්ත විදේශ විනිමය පාලනය කරන්න. ඒක තමයි කරපු එකම දේ.මෙහිදී අනවශ්‍ය ආනයන සීමා කරා ඒ වගේම අත්‍යවශ්‍ය ආනයනත් සීමා කරා. සැරින් සැරේ ඒ සීමා ඉවත් කරමින් ගිහිල්ලා තමයි යම් ප්‍රමාණයකට දැන් ආනයනය සිදුවෙන්නේ. ඒත් අපි දන්නවා වාහන ආනයනය කරන්න එහෙම දෙන්නේ නැහැ. විදුලි උපකරණ ආනයනය ගොඩක් අඩුයි. ඒ මත විශාල බදු පැනවීමක් තියෙනවා තියෙනවා. යම් ප්‍රමාණයකට අපි විදේශ විනිමය රැකගන්න උත්සාහ කරලා තියෙනවා. මම දකින්නේ දැන් මේ ආර්ථිකය තුලින් නැවත අපි යථා තත්ත්වයට පත්වෙමින් යන අවස්ථාවක්.අපි එක් අවස්ථාවකදී ආර්ථිකයෙන් පහළට වැටුනා. අපි තවත් සන්ධිස්ථානයකින් ආපසු හැරුණා. දැන් හැරිලා අපි ඉහළට ගමන් කරන අවස්ථාවක් තියෙන්නේ. ආර්ථිකය යහපත් මට්ටමට කවදා ලගා වෙයි ද දන්නැහැ. නමුත් දැන් හොඳ ප්රගමනයක් පේනවා රට තුළ. වත්මන් තත්ත්වය තුළ අර්බුදයක් තියෙනවා නමුත් අර්බුදය ක්‍රමයෙන් සමනය කරගෙන යන බවක් තමා මට නම් දැන් නිරීක්ෂණය වෙන්නේ.
වත්මන් ආර්ථික අර්බුදයේ මූලාරම්භය කොතන ද?
මුලාරම්භය ගත්තොත් දේශපාලනය පැත්තෙන් කියනවා නම් ඒගොල්ලො කියන්නේ අවුරුදු හැත්ත ගානක් තිස්සෙ තියෙන ප්‍රශ්නයක් කියලා මේ ආර්ථික අර්බුදය. ඇත්තෙන්ම අපිට අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි මේක. ශ්‍රී ලංකාව කිසිම විටෙක තම ආර්ථික ශක්‍යතාවන් හා ශක්තීන් හඳුනාගත්තේ නැහැ. අපි දන්නවා නිදහසින් පස්සේ විවිධ රජයන් විවිධ දේවල් කරනවා. දැන් අපි දැක්කා ඩී.එස්.සේනානායක මහත්තයා කෘෂි ආර්ථිකයක් කරා රට මෙහෙව්වා. බණ්ඩාරනායක මහත්තයා ජන සතු කරලා රාජ්‍ය ව්‍යවසාය තුළින් කාර්මීකරණයක් කරා.මේ කියන ක්‍රියාවලිය තමයි 77 දශකය දක්වා කණ්ඩායම් දෙක මෙහෙයෙව්වේ. කොටසක් ආර්ථිකය වහනවා.කොටසක් ආර්ථිකය ලිහිල් කරනවා. ඒ වගේම ප්‍රතිපත්තියක් නැති කම ඒ කියන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් මොවුන්ට තිබුනේ නැහැ.ඊළඟට 78 දි එකපාරටම තීරණයක් ගත්ත විවෘත ආර්ථිකයට යන්න ඕන කියලා. ඒකත් අපි ඉක්මණුනා වැඩියි කියලා තමයි මට හිතෙන්නේ. සමස්ත ආර්ථිකයම විවෘත කරන්නැතුව අවශ්‍ය අංග පමණක් විවෘත කරලා දේශීය කර්මාන්තත් ආරක්ෂා කරගෙන ගියා නම් අපේ ආර්ථිකය සමබර ආර්ථිකයක් වෙනවා. 1978 – 1980 දශකය මූලාරම්භය දක්වා අපේ ආර්ථිකය හොදට තිබුනා.81,82,83 වෙනකම් විවෘත ආර්ථිකය හොඳ ප්රතිලාභ ලැබුණා. ලංකාවේ ඇතිවුණු අරගල හේතුවෙන් ආර්ථිකය නිදහස් කිරීමේ ප්රතිලාභ අඩුවෙන්න ගත්තා.මේකට ප්‍රධාන හේතු විදියට මම දකින්නේ අපි නිසි ප්රතිපත්තියකට අනුව කටයුතු කළේ නැහැ කියන එක. අදටත් කියනව මම මේ ආර්ථිකය ගොඩ ගන්න හොඳම ක්‍රමය තමයි කෘෂි ආර්ථිකය කරා මේ රට මෙහෙය වන එක.ලංකාව කෘෂිකර්මාන්තයට ඇත්තටම තෝතැන්නක්.නිසිකලට වැසි ලැබෙනවා. මේ පොළොව හරි සාරවත්. ඊළඟට අපේ සංස්කෘතිය ගොවිතැන සමග බැඳිලා තියෙනවා. අපේ ජාතීන් තුනයි ඉන්නේ.ඒ සියල්ලන්ටම සිංහල සංස්කෘතිය සම්බන්ධයි. ඒ නිසා මේ අපි සංචාරක කර්මාන්තය තුළින් විශාල ප්රතිලාභ ගන්න පුළුවන් රටක් මේක.මේ රටේ මොනවද නැත්තේ… ලංකාව අධ්‍යාපනයට තෝතැන්නක්. විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා කිහිපයක් මෙරටට දැම්ම නම් විදේශීය සිසුන් අපේ රටේ අධ්‍යාපනය ලබන්න එනවා ඒ හරහා අපේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ලංකාවෙ තියෙන භූගෝලීය පිහිටීම අතින් වගේම ජාත්‍යන්තර වෙළඳාම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ ශක්‍යතාවන් අපි හඳුනාගෙන නැහ. බොහොම ටිකයි මං මේ කිව්වේ.යහපත් ආර්ථික දැක්මත් අප සතුව නැහැ අපි විචාරශීලී බුද්ධියකින් ඉන්න ඕන මේ පිලිබදව.
දැනට පවතින මේ ආර්ථික අර්බුදය නිර්මාණය වීමට බලපෑ හේතු විදියට මොනවද ඔබ තුමා දකින්නෙ?
මිනිස්සු හිතන්නේ කලින් හොඳට ආර්ථිකය තිබ්බ කියලනේ.කලින් හොඳට ආර්ථිකයේ තිබ්බේ නැහැ. උස් පහත් වීම් තිබුණා. නමුත් මෑත කාලීනව නම් ගොඩක් කඩා වැටීමට හේතු වුණේ ලංකාවට ලැබෙන විදේශ විනිමය ගෙන දෙන මූලාශ්‍රවලට වැදුණු මරු පහර.එකක් තමයි පාස්කු ප්‍රහාරය. අපි දන්නව සංචාරක කර්මාන්තය කියන්නේ ඉතා ඉක්මනින් ගොදුරක් වෙන කර්මාන්තයක්. පොඩි දෙයක් ඇති මේ කර්මාන්තයට බලපාන්න.පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක කර්මාන්තය කඩාවැටුනා. ඒ තුළින් බැට කකා ඉන්නකොට අනිත් පැත්තෙන් කොවිඩ් වසංගතය ආව. එතකොට විශේෂයෙන් විදේශීය ප්‍රේෂණ අඩුවුණා. හේතුව විදේශ රටවල රැකියා ගොඩ දෙනෙක්ට අහිමි වුණා. එංගලන්තය.දකුණු ඇමරිකාව වගේ රටවල්වල නොයෙක් ආර්ථික සංකෝචන ඇතිවුණා. මේ කොවිඩ් වසංගතය නිසා අපේ රටෙව් අපනයන අඩු වුනා. මේ විදේශ විනිමය අඩුවීම තුළ අත්‍යවශ්‍ය ආනයන සීමා වුණා. මේ සීමා වීම තුළ තමයි මිනිස්සු දකින්න ගත්තේ ආර්ථික පරිහානියක්. නමුත් මම කියන්නේ මෑත කාලීනව මේ තියෙන අර්බුදය ඔය සිද්ධීන් මත පමණක්ම ඇති වෙච්ච එකක් නෙවෙයි.
බොහෝ කාලයක් තිස්සේ නිවැරදි ආර්ථික දැක්මක් හා ආර්ථික ප්රතිපත්තියක පිහිටලා කටයුතු නොකළ නිසා තමයි මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ.අනිත් රටවල් වලටත් කොවිඩ් තිබ්බා කියලා රටේ ආර්ථිකය වැටුන දමේ තරමට ….?වැටුණේ නැහැ. ඒ රටවල අවශ්‍ය තරම් සංචිත තිබුණා. රටේ මුදල් නාස්ති කරේ නැහැ. ආර්ථික වශයෙන් වාසිදායක නොවන ව්‍යාපෘති අපේ රටෙව් ක්‍රියාත්මක වුනා. රටේ විදේශ විනිමය අඩුවීම තුල තමයි සැබෑවටම මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ. කාලයක් තිස්සේ නිවැරදි මගකට අපි අපේ ආර්ථිකය මෙහෙයුම් නැති නිසා මේ තත්වය නිර්මාණය වුනේ.
දැනට රටේ පවතින උද්ධමනය ගැන විවිධ අය විවිධ ගණන් මිනුම් ඉදිරිපත් කරනවා ඇත්තටම ඔබ තුමා දකින විදියට දැනට රටේ තියෙන උද්ධමනය කෙබදු ද?
පාරිභෝගික නිල දර්ශනය ගත්තම දැන් තියෙන්නෙ උද්ධමනය තනි අගයක.අපිට සතුටු වෙන්න පුළුවන් නමුත් වෙළඳපොළට ගියාම උද්ධමනය තාම ඉහළ මට්ටමක තියෙනවා. සියයට එකසිය ගණන් වලට අපි උද්ධමනය ඉහළ ගියා. 2022 වර්ෂයේ බොහොම කණගාටුදායක තත්ත්වයකට ගියා.ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ගොඩක් බාල්දු උනා. දැන් තනි අගයක් කියලා විවිධ අර්ථකථනය කරත් යම් යම් ක්ෂේත්රවල කඩා වැටීම් තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තය තුළ දැඩි පසුබැසීමක් තියෙනවා.ලැබෙන ආදායම මිනිසුන්ට ප්‍රමාණවත් නෑ.හේතුව අසීමිත බඳු ගැහිල්ල සහ තියෙන මුදලට ගන්න භාණ්ඩ නෑ. ඒ නිසා උද්ධමනය ප්‍රායෝගිකව රට තුළ තියෙනවා තවම මොන මොන අදහස් කවුරු ප්‍රකාශ කරත්.
ලංකාවට දැනට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණවත් නැද්ද මේ ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදෙන්න?
යම්තාක් දුරකට දැනට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඇති කියලා අපට හිතෙන්නේ දැනට තියෙන ආර්ථිකය සංකෝචනය වෙලා තියෙන නිසා. ලංකාව තාම විදේශිය ණය ගෙවන්නේ නැනේ.ණය ගෙවන්නෙ නැතුව තමයි මේ විදේශ විනිමය එකතුවෙලා තියෙන්නේ.යම් ප්‍රමාණයකට ඉස්සර වගේ ගොඩාක් ආනයන අපිට පහසුවෙන් කරන්න බැහැ.විදේශ සංචිත බිලියන දෙක තුනක සීමාවකට අපි දැන් ආවත් ඒ ප්‍රමාණය කොතෙක් දුරට ප්‍රමාණවත් ද කියලා තීරණය වෙන්නේ අපි විදේශීය ණය වාරික ගෙවන්න ආරම්භ කරාල.හොද සාධනීය පැත්තක් දකිනවා රජයේ සල්ලි අච්චු ගහන්නේ නෑ.පරණ මුදල්ම තමයි සංචරණය වෙන්නේ. යම්කිසි ප්‍රවණතාවක් තියෙනවා ඒ තුල.ලංකාව රට තුළ ආදායම් බදු මගින්, වක්‍ර බදු මගින් දේශීය අය මාර්ග වැඩි කරගෙන තියෙනවා. විදේශීය විනිමයට අත නොගහ රජය කරන්නේ දේශීය මුදල් යොදාගන්නවා. දැනට තියෙන විදේශ විනිමය අපිට ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන් ආර්ථිකය සංකෝචනය වෙලා තියෙන නිසා නමුත් ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ගත්තොත් විදේශ විනිමය ප්‍රමාණය ප්‍රමාණවත් නෑ කියලා තමා කියන්න වෙන්නේ.
අද අපි මේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට වෙළද ක්ෂේත්රය තුල දිගු කාලයක් තිබ්බ හිගය සෘජුව බලපෑමක් කරල තියෙනව ද?
අපි ගත්තොත් එහෙම විවෘත ආර්ථිකයකට අපි 78 ගියාට පස්සේ ඒහිදී මුල් වසර තුන හතර තුළ අපිට භාණ්ඩ අතිරික්තයක් තිබ්බා.නමුත් මේ ආර්ථිකය ක්රමානුකූල හිඟයක් බවට පත්වුණා විශේෂයෙන් මේ ආනයන අපනයන පරතරය එක්ක දැන් ගත්තොත් ආනයන අපනයන වලට වඩා දෙගුණයක් ඉක්මවලා ගිහින්. කාලයක් තිස්සේ මේ ආනයන අපනයන පරතරයේ වැඩි වීම් වුණා. දැන් ආනයන අපනයන වලට වඩා දෙගුණයකට වඩා විශාලයි. ඉතින් අපි කොහොමද අපනයන ආදායම එක මට්ටමක තියාගෙන රටේ ආනයනය සිදුකරන්නේ. එතකොට අපිට විදේශ විනිමය ණයට ගන්න වෙනවා.එතකොට මේ කාලයක් තිස්සේ තිබ්බ මේ වෙළඳ ක්ෂේත්රයේ හිඟය හරියට බලපෑවා මේ අපි වර්තමානය තුක අත්විඳින ආර්ථික අර්බුදයට.
මේ ආර්ථික අර්බුද හමුවේ මිනිස්සුන්ට වෙලා තියෙන බලපෑම ගැන කතා කරොත්?
ඇත්තටම මිනිස්සුන්ට මානසික හා ශාරිරික යන අංශ දෙකෙන්ම වැඩි බලපෑම් වෙලා තියෙනවා. හුඟක් පවුල් අපේක්ෂාභංගත්වයට පත්වුණා. හුඟාක් පවුල්වල පියා වස බීල මැරෙන තත්ත්වයට පත්වුණා. හේතුව මූලික අවශ්‍යතා සපුරා ගන්න බැරිවීම. 2020 -2023 කාලය ගත්තම හරිම දුක්ඛිතයි.ළමයින්ට අධ්‍යාපනය හරියට කරගන්න බැරි වුණා. මිනිසුන්ගේ ජන ජීවිතය හරියට සංකෝචනය වුණා. මේ තත්ත්වය එක්ක තුන්වේල සපයගන්න ආර්ථික කටයුත්තක නියැලෙන්න බැරිවුනා. කොවිඩ් වසංගත කාලය තුළ විදේශ විනිමය සපයන බොහෝ කර්මාන්ත කඩා වැටුනා.මේ නිසා බොහෝ රැකියා අහිමි වුනා. විදේශීය රටවලට යන්න අවස්ථාවක් ආවේත් නැහැ.මේ තත්ත්වය එක්ක මිනිසුන්ගේ අපේක්ෂාවන් නැතිවෙලා ගියා. උපන්නාට ජීවත් වෙනවා කියන ගානට මහජනයා වැටුනා. මේක දැඩි බලපෑමක් වුනා පුද්ගලයාගේ ජන ජිවිතයට.
ආදායම් වැඩි කරගැනිමේන් මේ ආර්ථික අර්බුදය ජයගන්න පුලුවන් ද?
ඇත්තටම දැන්වත් අපිට කරන්න තියෙන්නෙ අපෙ ශක්‍යතාවන් හදුනාගන්න.තවමත් ප්‍රමාද නැහැ කෘෂිකාර්මාන්තය දියුණු කරන්න.කෘෂිකාර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න.කෘෂි උපාධිදාරින්ට අවශ්‍ය දැනුම ලබා දීලා ඔවුන් කෘෂි ව්යසායකන් බවට පත්කරන්න.මොවුන් අපනය පැත්තට යොමු කරන්න.ආදයම් වැඩි කරන්න ඔනි තරම් අවස්ථා අපෙ රට තුල තියෙනවා.සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුලුවන්.ලැබෙන විදේශ විනිමය හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඔනි.විශේෂයෙන් අධ්‍යාපනය ,සෞඛ්‍ය කියන ක්ෂේත්රයන්ට වැඩි මූල්‍ය ප්‍රමාණයක් යොදවන්න ඔනි.
මේ ආර්ථිකය හමුවේ රටේ අධ්‍යාපනයට වන බලපෑම ගැන කතා කළොත්?
ඔව් අධ්‍යාපනයට දැඩි බලපෑමක් කලා. කොවිඩ් එක්ක තාක්ෂණය මිශ්‍රව අධ්‍යාපනය ආවා. මේ online ක්‍රමයට අපේ අධ්‍යාපනය හැඩගැසුණා. දැඩි පහරක් එල්ල වුණා මේ ආර්ථිකය අර්බුදය එක්ක.අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හීන වුණා. ඒ කියන්නේ පෙළපොත් update කලේ නැහැ.ළමයින්ගේ මනසට ගැලපෙන දැනුමක් අධ්‍යාපනයක් ලබා දුන් නැහැ.පාසලට වසා ටියුෂන් පන්තිය තුල ගුරුතුමා උගන්වනවා. ළමයට අධ්‍යාපනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගන්න බැරි වුණා .දුප්පත් පවුල් වල ළමයින් හැර යන්න ට යොමු වුනා. ගොඩක් ළමයි අධ්‍යාපනය අතහැර රැකියාවලට යොමු වුණා.
2023 වසර සදහා ලෝක බැංකුවෙ ගෝලීය ආර්ථික දැක්ම තුල ඉදිරිපත් වුනා 2024 වර්ෂය වනවිට 1% ක වර්ධනයක් ලගා කරගනිමින් වර්ධනීය මාවතකට ශ්‍රි ලංකාවේ ආර්ථිකය අවතීරණය වනවා කියලා…එතකොට මේ වත්මත් තත්වයන් එක්ක මොකක්ද ඒ සම්බන්ධ ව ඔබ තුමාගෙ අදහස?
දැනට තියන තත්ත්ව එක්ක නම් දැන් සංචාරකර්මාන්තය ටිකක් ප්‍රවර්ධනය වෙලා තියෙනවා. මේ රට අතහැරල සෑහෙන්න පිරිසක් විදෙස් ගත වුණා. ඉතින් ඒ අය විදේශ විනිමය ප්‍රේෂණය කරයි. අපි දැන් ලෝක බැංකුව ,IMF කියන විදියට වැඩ කරන නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙනවා මූල්‍ය විනිමයක් මේ රටේ තියෙනවා කියලා. ඒ නිසා විදේශීය ආයෝජන යම් තරමකට රටට ගලාගෙන ඒවී කියලා හිතනවා. පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේ දේවල් තුළ 1% තත්ත්වයට ආවට ප්‍රසාරණය කරගන්න පුළුවන්. මූල්‍ය විනයක් නොමැති වීම තමයි මේකට හේතුව ඉතින් මම හිතන්නේ මූල්‍ය විනයක් පවත්වාගෙන ගියොත් අපිට මේ අර්බුදය සාර්ථකව ජය ගන්න පුළුවන්.
ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන මොකක්ද ඔබ තුමාගේ අදහස?
රජය අරන් යන වැඩපිළිවෙළක් නෙවෙයි ඉතින් අපිට ජාත්‍යන්තර වශයෙන් විවිධ කොන්දේසි දාලා තියෙනවා ඒ කොන්දේසි මත තමයි අපි මේක දුවන්නේ.ද ඉතින් සාමාන්‍ය ජනයාට තමයි මේ මරු පහර වදින්නේ.නමුත් කරන්න දෙයක් නැහැ.මේක තමයි මේ වෙලාවේ කලයුත්තේ. ඉතින් රජය ඒක කරගෙන යනවා.රජය කරේ බදු වැඩි කරලා ආදායම් තර කරපු එක.රජය මහජනතාව පිටින් තමයි යන්නේ. මහජනයා දැනගන්න ඕන පරිපූර්ණ දේශපාලන මිනිසෙක් වශයෙන් නොගැලපෙන මිනිස්සු පත් නොකර ඉන්න.නොගැලපෙන මිනිස්සු පත්කරාම ඒ ආදීනව ගෙවන්න වෙනවා කියලා මහජනය දැනගන්න ඕනේ. රටේ ප්‍රශ්න හඳුනාගෙන ඊට අවශ්‍ය කරන විදියට ඡන්දය තමන් ප්‍රකාශ කරන්න ඕන ජන්දය තමා රටක් වෙනුවෙන් පුද්ගලයෙක් කරන ලොකුම ආයෝජනය.ඒ ආයෝජනය ප්රතිලාභ නොලැබෙන එකක් වුණොත් තමනුත් ඉවරයි තමන්ගේ දරුවනුත් ඉවරයි. දැනට මේ විදිහට රට යන එක හොඳයි නමුත් මහජනතාවට මේ තත්ත්වය අමාරුයි. යම් ප්‍රමාණයකට මෙහෙම හරි ආර්ථිකය ස්ථාවර වෙච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕන.
එස්.කේ.ඒ.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදන (ගෞරව )
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
