සමාජයක් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයකින් සමන්විත වන අතර පැරණි සමාජයන්හි මේ දෙපක්ෂයෙන් අපේක්ෂා කළ සංවර්ධනය වර්තමානය වන විට වෙනසකට භාජනය වී තිබේ. එකල කාන්තාව සතු භූමිකාව අනුව ඇයගේ කාර්යයන් ඉටු කරනු ලැබුවේ පවුල නැමති සමාජ සංස්ථාව තුළය.ඇගේ කාර්යය ඉටු කිරීම සඳහා සමාජයෙන් ද ඉඩ ප්‍රස්ථාව නොමඳව ලැබුණි.කාන්තාව පුරුෂයාට වඩා වැඩි ශ්‍රද්ධාවකින් යුතුව ආගමික කටයුතු වල නිරත වීමේ ප්‍රවණතාවයක් ද අතීතයේ දක්නට ලැබුණි. එබැවින් ඇය පවුල් ජීවිතය මෙන්ම සමාජ ජීවිතයේ ද කුල ස්ත්‍රී ගුණ ධර්මයෙන් යුතුව කුල ප්‍රතිපත්තිය අනුගමනය කළාය.මේ නිසා ඇයගේ දරුවන්ද අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතුව සමාජය තුළ යහපත් අන්දමින් දිවි ගෙවූහ.

බුදු දහමින් සුපෝෂිත සංස්කෘතියකට උරුමකම් කියූ පැරණි ලක්දිව සමාජයේ පොදුවේ සේවා නියුක්තිය සඳහා සාධාරණ දැහැමි මාර්ග අනුගමනය කළහ. සරල ජීවන රටාවකට අනුගතව සිටි ජනතාවගේ අවශ්‍යතා ද සීමිත විය. ස්වභාවික සම්පත් තිරසරව කළමනාකරණය කරමින් සිය ජීවන කටයුතු සඳහා ද ස්වභාවික සම්පත් උපයෝගී කර ගත්හ. සිංහල සංස්කෘතිය අනුව පැවති පීතෘ මූලික සමාජ ක්‍රමය තුළ ස්වාමි පුරුෂයා වෙත පැවරී තිබුණ මූලික කටයුතු හැරුණු විට ගෙදර දොර සියලු කටයුතුවල වගකීම කාන්තාව සතු විය.ගෘහ ජීවිතය තුළ අරපරිස්සමෙන් යුතුව නිවසේ කටයුතු පාලනය කිරීම පිළිබඳව හසල බුද්ධියක් ඇය සතු විය.
ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ජනගහනයෙන් අඩකට වඩා නියෝජනය කරනුයේ ඉහත කී කාන්තාවන්ය. රටක සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා එවන් කාන්තාවගෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැක.මෙවන් භූමිකාවක අතීත ගෞරවය රැක දුන් කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ වර්තමානය වන විට සමාජ මාධ්‍ය තුළ විවිධාකාර කතිකාවත් බිහිවෙමින් පවතී.ගෘහස්ථ ප්රචණ්ඩත්වය ගෘහස්ථ හිංසනය ලිංගික හිංසනය කායික හිංසනය මානසික හිංසනය යනාදිය ඒ අතර වේ. මෙම තත්ත්වය මග මඟහරවා ගැනීම සඳහා ආර්ථික වශයෙන් කාන්තාව සවිබල ගැන්වීම කළ යුතුය. ඒ සඳහා රජය රාජ්‍ය නොවන ආයතන පෞද්ගලික ආයතන වෘතීය ආයතන බැංකු යනාදී සියළුම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතුය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ග්‍රාමීය ප්‍රදේශ වල සිටින කාන්තාවන් දැනුවත් කළ යුතුය. පාසල් පද්ධතියේ පටන් රැකියා නියුක්තිය යෙදෙන්නන් දක්වා කාන්තා පෞරුෂත්වය ගොඩ නගන ආකාරයට ක්‍රියාමාර්ග ගත යුතුය. ආත්ම විශ්වාසයෙන් යුතුව ආයතන තුළ තනතුරු ලබාදීමට මෙන්ම ඔවුන්ගේ සේවය ඇගයීමටත් වැඩපිළිවෙළක් යෙදිය යුතුය .

ඒ අනුව කාන්තාවගේ සංවර්ධනය කෙරෙහි නීතියෙන් තොරව සමාජය තුළ නිදහසේ ජීවත් වීමට සුදුසු වාතාවරණයක් සකස් කිරීම කෙරෙහි මෙන්ම කාන්තාව ද පුරුෂයා හා සමාන වන පුරවැසියෙක්ය යන්න කාන්තාවගේ මනස තුළ තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
සටහන – සකුන්තලා රැටියල
