කිසියම් රාජ්‍යයක පාලන යාන්ත්‍රණය මේ ආකාරයේ එකක් විය යුතුය යනුවෙන් තීරණය කිරීමේ බලය ඇත්තේ එම රාජ්‍යයේ වැසියන්ට වන අතර එම මොඩලය වෙනස් කිරීමේ නෛසර්ගික බලය ඇත්තේ ද එම වැසියනට ය.එහෙත් එම වෙනස් කිරීම සෑම අතින්ම ජනතා සුබ සිද්ධිය සදහා විය යුතු අතර එම වෙනස් කිරීම හරහා එකී රාජ්‍යයේ වැසියන් අන්ත දුක්ඛිත තත්ත්වය ට පත් වන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි.
ලිබියාව මතු නොව ටියුනීසියාව,ඉරාකය ,ඇප්ගනිස්ථානය වැනි රටවල් බොහොමයක් අතිශය ගැටුම්කාරී සහ අර්බූදකාරි වාතාවරණයක පවති.උක්ත රටවල් අතරින් ඉරාකය අරාබි වසන්තයට බොහෝ කාලයකට පෙර ස්වකීය ශ්‍රී විභූතිය අහිමි කර ගත් අතර ඇප්ගනිස්ථානය ඇමෙරිකානු මැදිහත් වීමෙන් පසුව සහ ඇමෙරිකානු හමුදා මෙහෙයුම් අවසන් වීමෙන් පසුවද ස්වකීය ශ්‍රී විභූතිය අහිමි කර ගනිමින් සිටියි.ටියුනීසියාව සහ ලිබියාව කුපක්‍රට අරාබි වසන්තයේ බල මහිමයෙන් ආර්ථික සහ දේශපාලන ආගාධයේ පතලටම කිඳා බසිමින් සිටියි.මෙම රටවල් වල ජාතික නායකයින් විනාශ කිරීමේ ඓතිහාසික වරදට අද එම රටවල ජනතාව වන්දි ගෙවමින් සිටින බව නොරහසකි .එදා එම රටවල් වල ප්රජාතන්ත්රවාදය නොමැති බවට කිඹුල් කඳුළු හෙලු කිසිදු බලවේගයක් අද එම රටවල් දෙස හැරී බලන්නේවත් නැත .

කුප්‍රකට අරාබි වසන්තය යනු ජාතික රාජ්‍යයන් විනාශ කිරීමේ ජාත්‍යන්තර දුෂ්ඨ කුමන්ත්‍රණයක් බව පසක් කර ගැනීම ට එදා එම රටවල් වල තරුණ ප්‍රජාවට ශක්තියක් නොමැති විය .
අප්‍රිකාවේ සමෘද්ධිමත් රාජ්‍යය වූ ලිබියාව අද වන විට අභ්‍යන්තර අවුල් වියවුල් වල ට මැදි වී ඇති ආර්ථික අර්බූදය අතිශය උච්ච ස්ථානයක් කරා ගෙන ගොස් ඇති විශාලා නුවරකි.කර්නල් ගඩාෆි ඝාතනය කර අටවා ගත් ඊනියා අන්තර් වාර පාලනය ඉතා කෙටි කලකින් ඉරිතලා ගොස් ඔවුනොවුන් ඇණ කොටා ගන්නා තත්ත්වය ට පත් වී ඇත.අද ලිබියාව පාලනය කරන්නේ කවරෙකු ද යන්න බටහිර රටවල් තබා එකදු ලිබියානු වැසියෙක් හෝ නොදනී.මේ ජාතික රාජ්‍යය විනාශ කිරීමේ නෛසර්ගික ප්‍රතිඵලය මිස වෙන කුමක් ද?
අරාබි වසන්තය ටියුනීසියාවේ සුළු වෙළෙන්දෙක් විසින් ආරම්භ කරන ලද නොකළැල් ,.නොඉඳුල් අතිශය පාරිශුද්ධ උද්ඝෝෂණයක අග්‍ර ඵලයක් බව ට බටහිර රටවල් හුවා දැක්වූ අදහස අතිශය සාවද්‍ය ප්‍රලාඵයක් බව නොරහසකි .අරාබි වසන්තය පිටුපස සිටියේ කවරෙකු ද යන්න අද ප්රත්යක්ෂ ය.ස්වකීය බල ව්‍යාපෘතිය සහ ආර්ථික සෞභාග්‍යය උදා කර ගැනීමේ දුෂ්ඨ එහෙත් අතිශය බිහිසුණු කුමන්ත්‍රණ සාක්ෂාත් කර ගැනීමට බටහිර බලවේග අනවරත උත්සාහයක නිරත වී සිටින බව අවබෝධ කර ගැනීම ට තරම් නූතන තරුණ ප්‍රජාව පරිණත නොවීම විශේෂත්වයකි .
ජාතික රාජ්‍යය විනාශ කිරීමේ ඓතිහාසික කුමන්ත්‍රණ වල ස්වරූපය රටින් රටට මෙන්ම කලාපයෙන් කලාපයට වෙනස් ය.විටෙක එය හමුදා කුමන්ත්‍රණයක්,හෝ සිවිල් ගැටුමක් ලෙස විද්‍යාමාන වන අතර විටෙක එය “නිර්පාක්ෂික අරගලය ” ලෙස බවුතීස්ම කරවයි.එම නිර්පාක්ෂික අරගලය සදහා තවත් විශේෂණ පදයක් එක් කර අහිංසක නිර්පාක්ෂික අරගලය ලෙස හුවා දක්වන අතර ස්වකීය ඉලක්කය කරා ලගා වනතෙක් ආගන්තුක බලවේග වලින් පෝෂණය වේ.
මෙම අරගල වලට සහභාගි වන බහුතරයක් මෙම අරගල පිටුපස සිටින අතිශය බිහිසුණු බලවේග සහ කුමන්ත්‍රණ පිළිබඳව කිසිවක් නොදන්නා අතර අවසන තමන් ජාතික රාජ්‍යය විනාශ කිරීමේ ඓතිහාසික කුමන්ත්රණයක කොටස්කරුවන් වූ බව අවබෝධ කර ගැනීම සිදු වුවද එම අවස්ථා වන විට තමන් කළ වරද නිවරැදි කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි කර ගෙන ඇත.

ජාතික නයකයන් අතිශය දූෂිත සහ ඒකාධිපති නායකයින් බව ට ජාත්‍යන්තර බලවේග ගෙන යන සාටෝපවාදි සහ අවිනිශ්චිත ප්රචාරක ව්‍යාපෘති හමුවේ නෛතික ලෙස සහ සාධාරණ සාක්ෂි මත ඔප්පු නොකළ කරුණු මත යැපෙමින් තිරස්චීන අරගල වලට යොමුවෙමින් ස්වකීය විනාශය කරා සිය දේශය ගෙන යාමට තරම් නොමේරු දේශපාලන දෘෂ්ටියක් සහිත නූතන තරුණ පරම්පරාව උත්සාහ ගැනීම අතිශය බරපතළ දේශපාලන උභතෝකෝටිකයක් වන අතර රාජ්‍යයේ පවතින දේශපාලන රික්තකයේ අනිවාර්ය ප්‍රතිඵලය කි.ජාතික රාජ්‍යයේ තරුණ මතයට අවකාශයක් නොලැබීම නිසා එකී දේශපාලන රික්තකය උත්පාදනය වී තිබේ .අවාසනාවකට ජාතික රාජ්‍යය වල නායකයින් ට එම රික්තකය දැකීමට ඇසක් නැත .
සටහන – නීතිඥ එස්.එම්.ජයසූරිය
