ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තුළ විදේශ සේවා නියුක්තිය ප්‍රධාන භූමිකාවක් උසුලනු ලබයි. එම භූමිකාව මෑත වකවානුව තුළ ආර්ථිකයේ කැපී පෙනෙන අංශයක් ලෙස ඉදිරියට පැමිණීම දක්නට ලැබේ. මෙරට ශ්‍රමිකයන් රැකියා සදහා රටින් පිටවීමේ මුල්ම අවස්ථාවක් ලෙස වාර්තා වන්නේ 20වන සියවසේ මුල් භාගයේදීය. වර්තමානයේ දී ජාතික ආදායම සඳහා දායකත්වය ලබා දෙන අංශ අතරට විදේශ රැකියා මගින් ආදායම් ඉපයීම වැදගත් ස්ථානයක් හිමි කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සලකා බලන විට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් විගමනය වීමක් පිළිබඳ තොරතුරු ලැබී නැත. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමත් සමඟ එතෙක් තිබූ ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථික රටාව බිඳ හෙළමින් ආනයන අපනයන ආර්ථික රටාවක් ඇති කිරීම සිදුවිය. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වා දුන් වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණිකයන් භාරගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකර ඇති බව පෙනේ. විදේශගත වූවන් පිළිබඳ තොරතුරු විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම ලැබී ඇතත් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් විගමනය වීමක් පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ 1960 ගණන්වල සිටය. 1960 ගණන්වල සිට විදේශ රැකියා සදහා විවිධ වෘත්තිකයන් යුරෝපීය රටවලට, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව යන රටවලට රැකියා සදහා විගමනය වීමක් සිදුවී ඇති බව පෙනේ. 1972න් පසුව දශක දෙක මෙරට ශ්‍රම විගමනය පිළිබඳ පැහැදිලි සංවර්ධනයක් පෙන්නුම් කරයි. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ විදේශ ගමන් සඳහා නිදහස ලැබීමෙන් රැකියා සඳහා නිදහස ලබා දීමෙන් රැකියා සඳහා විදේශ රටවල් කරා ඇදී යාමේ දොරටු විවෘත කිරීමෙන් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් විදේශ රටවල සේවා නියුක්ත විය.
1987 සිට 1994 දක්වා කාලය සලකා බලන විට තරමක විචලනයක් සහිතව ශ්‍රම විගමනය ඉහළ යාමක් පෙන්නුම් කරයි. පසුගිය කාල සීමාව සලකා බලන විට ඉහළම අගයක් වාර්තා වී ඇත්තේ 2014 වර්ෂයේදී ය. එහි අගය 300703ක් වෙයි. අඩුම අගයක් වාර්තා වී ඇත්තේ 1987 වර්ෂයේ 14157ක් ලෙසිනි. 1995 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට හේතුව ලෙස එම වර්ෂයේදී නුපුහුණු සේවකයන් සඳහා වැඩි ඉල්ලුමක් පැවතීමත් ඉන් වැඩි කොටසක් එනම් 66%ක් පමණ සේවිකාවන් සඳහා වීමත්ය. වේගවත් ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරන දකුණු ආසියාතික හා ආසියාතික රටවලින් නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් බිහි වීම 1995 වර්ෂයේ දී විදේශ සේවා නියුක්තිය ඉහළ යාමට දායක විය.

2008 වර්ෂයේ විදේශ රැකියා සඳහා පිටත්ව යාම 2004 වර්ෂයට වඩා 14.7% ක වර්ධනයකි. ගෝලීය ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමිකයින් සඳහා විදේශවලින් ලැබුණු ඉල්ලුම අඩුවීම නිසා 2009 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසේ අඩුවීමක් පෙන්නුම් කෙරිණි. 2013 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සේවා සඳහා පිටත්ව යාම 37.4%% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වසර තුළදී 2016 වසරට සාපේක්ෂව විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන් 12.6% ක පහළ යාමක් වාර්තා විය.
1970 දශකයේ ට පෙර විදේශ රැකියා සදහා යොමුවී සිටි පිරිස බොහෝ දුරට උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපීය රටවලට විගමනය වී ඇත. එහෙත් 1970 දශකයෙන් පසුව මැදපෙරදිග රටවල ඇති වූ විශාල ශ්‍රම ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මැද පෙරදිග හා ඊට ආසන්න කලාපවලට සේවා නියුක්ත වී ඇත. 2000 දශකයේ මුල සිටම සෞදි අරාබිය, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ගෘහ සේවිකා හා නුපුහුණු ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් එම රටවල ශ්‍රමික ශ්‍රී ලාංකික පිරිස් රැකියාවක් සදහා යොමුවී ඇති බව සංඛ්‍යා සටහන් මගින් පැහැදිලි වේ. නමුත් 2018 වර්ෂයේ දී සෞදි අරාබිය සඳහා පිටත්වන විට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන ලදී. මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සමාජීය පිරිවැය අවම කිරීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ගෘහසේවිකා කාණ්ඩය යටතේ විදේශ රැකියා සඳහා පිටත්ව යාම අඩුවීම 2018 වර්ෂයේ දී සෞදි අරාබිය වෙත රැකියා සඳහා පිටත්ව යාම වල අඩු වීමට හේතුවයි.
විදේශ රටවල ගෘහ සේවයේ යෙදීම පිණිස ශ්‍රී ලාංකික කාන්තාවන්ට තිබූ ඉල්ලුම හා ඊට සරිලන අයුරින් සැපයුමක් ද පැවතීම නිසා ශ්‍රී ලංකාවේ ශ්‍රමික සංක්‍රමණයේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ පිරිමින්ට සාපේක්ෂව ඉතා ඉහල ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිව තිබීමයි. නමුත් වර්තමානය වන විට රැකියා සදහා විදේශගතවන පිරිමින්ගේ ප්‍රතිශතයද කාන්තාවන්ගේ ප්‍රතිශතයට වඩා ඉහළ අගයක් ගන්නා බව සංඛ්‍යා දත්ත වලට අනුව පැහැදිලි වේ. විදේශ සේවා නියුක්තියෙහි පුරුෂ පක්ෂ දායකත්වය වර්ෂ කිහිපයක සිටම නොකඩවා වර්ධනය වන තත්වයක් පැවතුණි. මෙම වැඩි වීමට ප්‍රධාන හේතුව වශයෙන් කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානයෙහි විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සහ නිෂ්පාදන අංශයන්හි පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සඳහා පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් සිදු වී ඇත.
වත්මන් ආර්ථික අර්බුදය COVID-19 ආශ්රිත සංචාරක සීමාවන් ලිහිල් කිරීමත් සමඟ පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ නැගීමක් ඇති කිරීමට හේතු වී තිබේ. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාව සඳහා විදේශ විනිමය උත්පාදනය කරන දෙවන විශාලතම අංශයයි. ඇතැම් අපනයන කර්මාන්තවල අගය එකතු කිරීම සාපේක්ෂව අඩු බැවින් ප්‍රේෂණ අපනයන ආදායමට වඩා වැඩි විය හැක.
ද්විතියික දත්ත මත පදනම්ව, ශ්‍රම සංක්‍රමණයේ මෑත කාලීන ප්රවණතා පහත පරිදි ගණනය කෙරේ.
- සමස්ත ශ්‍රම සංක්රමණයෙන් පිරිමි ශ්‍රම සංක්‍රමණික ශ්‍රමිකයින් සංඛ්‍යාව වැඩි වී ඇත.
වගුවේ දැක්වෙන පරිදි පසුගිය දශක දෙක තුළ කාන්තා විදේශ රැකියා ස්ථානගත කිරීම් අඩු වී ඇති අතර පිරිමි විදේශ රැකියා ස්ථානගත කිරීම් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. ගෘහ සේවිකාවන් ලෙස සංක්‍රමණය වීමට පෙර කාන්තාවන් සඳහා පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති රජයේ රෙගුලාසි අඩුවීමට එක් ප්‍රධාන හේතුවකි. රෙගුලාසියට අනුව, ගමනාන්ත රට අනුව කාන්තාවන් වයස අවුරුදු 21 සිට 25 දක්වා වයස්ගත විය යුතු අතර වයස අවුරුදු 55 ට අඩු විය යුතුය. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින විවාහක කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස සංක්‍රමණය කිරීම සඳහා නිර්දේශ නොකරන අතර වයස අවුරුදු 5ට වැඩි දරුවන් සිටින අය ළමා රැකවරණය සඳහා සතුටුදායක සැලසුම් සකස් කළ යුතුය. කෙසේ වෙතත්, පිරිමි සංක්‍රමණික සේවකයින් සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නොමැති බැවින් ඉහත සඳහන් රෙගුලාසිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීමක් බව කෙනෙකුට තර්ක කළ හැකිය.
- අඩු නිපුණතා සහිත සංක්‍රමණික සේවකයින්ගේ සුළු අඩුවීමක් සහ වෘත්තීය කාණ්ඩයේ වැඩි වීමක්
අඩු පුහුණු ශ්‍රම සංක්‍රමණය 2017 දී 36.89% සිට 2021 දී 30.77% දක්වා ක්‍රමයෙන් අඩු වී ඇත. වෘත්තීය කාණ්ඩයේ ශ්‍රම සංක්‍රමණය 2017 දී 4.26% සිට 2021 දී 9.54% දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
- 2021 සහ 2022 ප්‍රේෂණ අඩුවීම
වගුවේ පෙන්වා ඇති පරිදි, විනිමය අනුපාතිකය කෘතිමව පාලනය කිරීම සහ COVID-19 වසංගතය පැතිරීමත් සමඟ 2020 දී සංක්‍රමණික සේවකයින් ආපසු ගෙන්වා ගැනීම හේතුවෙන් 2021 සහ 2022 දී සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ විශාල ලෙස පහත වැටුණි. තවද, 2020 සහ 2021 කාලය තුළ, වසංගතය හේතුවෙන් විදේශ රැකියා ස්ථානගත කිරීම් සංඛ්‍යාව අඩු විය.
- ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රම සංක්‍රමණය පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇත
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇති වීමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන් රට හැර යාමට උත්සාහ කරන බව පැහැදිලිය. 2022 දී පුද්ගලයින් 311,269 ක් රට හැර ගොස් ඇති බව හෙළි කරයි. මීට පෙර වැඩිම අගය වාර්තා වී ඇත්තේ 2014 දී වන අතර එය 300,703 කි.
සටහන –
T.R.P. Madhumini
Temporary Lecturer, Department of Economics, University of Kelaniya.
