සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ප්‍රශ්නයක් ලෙස දිළිඳුකම හඳුන්වා දිය හැක. බොහෝ නිමැවුම් කරන සමාජය විසින්ම නිෂ්පාදනය කරන ලද දිළිඳුකම, ආදායම් ක්‍රම ඔස්සේ පමණක් නොව එහි සෑම අංශයක් ඔස්සේම අවධානයට ලක් කළ යුතු සංකල්පයකි. දරිද්‍රතාවයට පැහැදිලි පොදු නිර්වචනයක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. දරිද්‍රතාවය යන්න විෂය මූලිකව සමාජ මූලිකව හා කාලය අනුව වෙනස්වන සංකල්පයක් වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් ලෝක බැංකුව පවසන ආකාරයට පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායම් තත්ත්වයක් නොමැතිවීම දරිද්‍රතාවය ලෙස හඳුන්වයි.
බොහෝ රටවල් දරිද්‍රතාවය මැනීමට කිසියම් මිනුම් ඒකකයක් භාවිත කරයි. ශ්‍රී ලංකාව ඒ සඳහා උපයෝගී කර ගනුයේ නිල දරිද්‍රතා රේඛාවයි. අවදානම් පුද්ගල ඛාණ්ඩ හඳුනා ගැනීමටත් එම පිරිස් වෙත සම්පත් ගලා යාමටත් ක්‍රය ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීමටත් නිල දරිද්‍රතා රේඛාව අත්‍යවශ්‍ය වේ.
නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව සුබ සාධන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එය හිඟ අයවැයක් තුළ ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් දක්නට ලැබිණි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මූලික අවශ්‍යතා රජය විසින් නොමිලයේ සපයනු ලැබීය. ඊට අමතරව ඉලක්කගත දුප්පත් ජනතාවට සහනාධාර වැඩසටහන් දිගුකාලීනව හා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණ. ආහාර මුද්දර ක්‍රමය, පාසල් දිවා ආහාරය සැපයීම, ජනසවිය, ගම්උදාව වැනි වැඩසටහන් ද දරුවන්, වැඩිහිටියන්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් හා ගර්භනී මාතාවන් ඉලක්ක කරගත් වැඩසටහන්ද ඒ අතර ප්රමුඛ විය. මේ හේතුවෙන් 2019 වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 11.3%ක් දක්වා සාධනීයව අඩු විය.
නමුත් 2020 වසරේදී ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් හා මිනිසාගේ ජීවනෝපාය ක්‍රමවලට හා ජීවන වියදම්වලට දැඩිව බලපෑ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022දී දරිද්‍රතාවය 25% දක්වා ඉහළ ගියේය. පුද්ගලයාගේ ආදායම ස්ථාවරව තිබියදී භාණ්ඩවල ඉහළ යාමත් වියදම ස්ථාවරව තිබියදී ආදායම පහළ යාමත් , ඉන්ධන හිඟය, පොහොර හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් අසංවිධිත අංශයේ රැකියා අහිමිවීම ද දරිද්‍රතාවය ඉහළ යාමට හේතු විය.

මෙසේ ඉහළ ගිය දරිද්‍රතාවයට තිරසර විසඳුම් ඉදිරිපත් කිරීමේදී දුප්පතුන් හඳුනා ගැනීම නිවැරදිව සිදු කළ යුතුය. ඔවුන් වෙනුවෙන් වන දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වාගෙන යා යුතුය. දෛනික ජීවිතය අඛණ්ඩව පවත්වාගත නොහැකි ජන කොටස් සඳහා ක්ෂණික සහන සැපයීම, නව ආදායම් උත්පාදනයට යටිතල පහසුකම් සැපයීම, පවතින ව්‍යාපාරවල පිරිවැය අවමකරණයට සානුබල සැපයීම, ප්‍රාග්ධන හිඟය පියවා ගැනීමට හා ජාලගතකරණයට දැනුම ලබා දීම වැනි ක්‍රියාමාර්ගද ගත යුතුය.
දරිද්‍රතාවය තුරන් කරලීමේ වැඩසටහන් සරල නොවේ. එය ඉතා සංකීර්ණ කාර්යයක් මෙන්ම ආර්ථිකයේ සෑම අංශයකම තුලනයක් ඇතිවන පරිදි ඒකාබද්ධව කළ යුත්තක්. එය රජයේ උපාය මාර්ගික සැලැස්මට ඇතුළත් විය යුතු අඛණ්ඩ ක්‍රියාවලියක්. මේ අනුව බලන කළ සමතුලනය පිළිබඳ අවබෝධයෙන් යුතුව සාමූහික ප්‍රයත්නයකින් ජයගත යුත්තකි දරිද්‍රතාවය.
සටහන –

සකුන්තලා රැටියල
