“අනේ මං දන්නෑ රන්දි ඔයාලා නිකන් ජීවත් වෙන්නේ හිර කූඩුවක ඉන්නවා වගේනේ..මං මේ දැක්කමයි තමන්ගේ කේන්තිය පිට කරන්න ක්‍රමයක් නැති වුණාම තමන්ගේ ළමයින්ට කන්න බොන්න දෙන්නැති තාත්තෙක්ව..සාමාන්‍යයෙන් අපේ පවුල් වල නම් තමන්ට කන්න තියෙන කෑම එක හරි දරුවන්ට දෙනවා එයාලා බඩ ගින්නේ ඉදලා. ඒකට ඔයාලගේ අප්පච්චි එයා කරන්නේ එයාගේ කේන්තියට ඔයාලව බඩගින්නේ තියෙන එක..”
“ඔය දේවල් කොයි තරම් කතා කරත් වැඩක් නෑ චමත් අපේ අප්පච්චි හැම දේම දිහා බලන්නේ හරි අමුතු විදිහට..එයාව කවදාවත් හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි..මං චුටි කාලේ ඉදන් එයා එහෙමයි..මට හරියට දවසක් කියලා එකක් වත් මතක නෑ චමත් අප්පච්චි මාව නළවපු,වඩාගත්තු,මාව තුරුල් කර ගත්තු..එයා එහෙම ආදරේ පෙන්නන කෙනෙක් නෙමෙයි..එයාගේ ඒ සීතල ගතිගුණ වලට අපේ ගෙදර හැමෝම දැන් හැඩ ගැහිලා ඉන්නේ..අපේ මල්ලි වුණත් කොච්චර ගමට චන්ඩියා වුණත් අප්පච්චි ළඟ පූස් පැටියෙක් වගේ කිසිම දෙයක් කියන්න කටක් හොල්ලන්නෑ..එයා එහෙම නම් ඔයා හිතන්නකෝ චමත් මගේ තත්වේ කොහොමද කියලා..”
“මට නම් පේන්නේ රන්දි ෂුවර් එකට ඔයාලගේ අප්පච්චිට මානසික ලෙඩක් තියෙනවා..නැත්තන් එයා ආමි ඔෆිස කෙනෙක් වුණා කියලා ඔයාලත් ඒ විදිහට නීතියට ජීවත් වෙන්න ඕන කියලා හිතන් නෑනේ..ඇයි ඔයාලගේ අප්පච්චිට තේරුම් ගන්න බැරි එයාගේ දරුවෝ වුණාට ඔයාලටත් කියලා ජීවිතයක් තියෙනවා කියලා..ඔයාලා කැමති කිසිම දෙයක් කරන්න ඔයාලට කිසිම නිසහස් නෑනේ..එක අතකින් මල්ලි මුරංඩු වෙන එක අහන්නත් දෙයක්ද,කොල්ලට ඕන කොහොම හරි නිදහසේ ඉන්නනේ..අනිත් එක බාබා.. ”
“මං දැන් තියන්නම් චමත්..අප්පච්චිට අහු වුණොත් අපි දෙන්නම ඉදලා ඉවරයි..”
“පරිසමට ඉන්න..මොකක් හරි ප්‍රශ්නයක් නම් හිත හිත ඉන්න එපා මට කතා කරන්න මොන තූත්තුකුඩියේ හිටියත් මං ඔයාව ගන්න කාවම හරි එවන්නම්..”
“මං ගැන කරදර වෙන්න එපා චමත් ඔයා ඔයාගේ වැඩ ටික පරිස්සමට කර ගන්නකෝ.. අද දොස්තර මහත්තයා රෑ වැඩ නේද..”
“ම්..අද වැඩිය සෙනඟ නෑ..හදිස්සි ලෙඩෙක් ආවොත් තමයි වැඩ තියෙන්නේ..මං තියන්නම් එහෙනම් පරිස්සමට ඉන්න..බුදු සරණයි..”
**
වෙනදාටත් කලියෙන් පාසල වෙත යෑමට උදෑසනම සනහස් සුදානම් වුණේ කෙසේ හෝ ඊයේ දිනයේ නොහැකි වුණත් අද දිනයේ ඇයව දකින්න බලාපොරොත්තුවෙන්..
“ශික්..මට තාම කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුණානේ..අරූගෙත් කට විතරයි මං අච්චර කියලත් ඌට බැරි වුණානේ අඩුම තරමේ නම හරි හොයා ගන්න..අපරාදේ මට ඊයේ තිබ්බේ බොරුවක් කියලා හරි නදී අක්කගෙන් විස්තරයක් දැන ගන්න..”
“කොහේ යන්නද මේ උදේ පාන්දරම ලෑස්තිවෙලා..”
කැඩපත ඉදිරි පිට ඉදන් අකීකරු කැරලි කොණ්ඩය පිළිවෙළක් කරමින් හිටපු සනහස්ගේ අවධානය බිඳිමින් කාමරයට ඇතුල් වුණේ ශිරන්ති..
“අම්මට පේන්නේ මං කොහේ යන්න ලෑස්ති වෙනවා වගේද..”
“කොහේ යන්න ලෑස්ති වුණත් කමක් නෑ කරුණා කරලා ඔය ඇඳුම් කැඩුම් ටික ගලවලා කාමරේට වෙලා ඉන්නවා ඔය උණ අඩු වෙනකං..”
“උණ..කාටද උණ..”
“අහන ලස්සන..ඔයාගේ මුරංඩු කම් නම් දැන් හොඳටම වැඩියි සුදු පුතේ..ඊයේ අච්චර අක්කා කට කැඩෙනකන් නාන්න එපා කියලත් මහ රෑ තිස්සේ නාලා ලෙඩ වැඩි කරගෙන දැන් අහනවා කාටද උණ තිබ්බේ කියලා..”
“අයියෝ..අම්මා..උදේ පාන්දර ප්‍රෙෂර් වැඩි කරගන්න එපා අනේ මේ හොඳට ඉන්න මට බැනලා..මේ මගේ නලලට අත තියලා බලන්න මට උණ ද කියලා..කෝ දෙන්න අත..”
සනහස් බලෙන්ම මවගේ අත නලලත මතින් තියා ගත්තේ ඔහු සනීපෙන් බව පෙන්වන්න..
“කෝ..ඔයාටම දැණුනනේ මට දැන් උණ නෑ කියලා..”
“උණ තිබ්බත් නැතත් ගෙයින් එක අඩියක් එළියට තියන්න හිතන්න වත් එපා..අද ඔයා දවසෙම ඉන්න ඕන ගෙදර..ඔයාට ගාණක් නැති වුණාට ඊයේ වුණ ප්‍රශ්නේ එතනින් ඉවර නෑ පුතේ..ඒ හිංදා මං කියන විදිහට වැඩ කරන්න..”
මව පවසන දෙයෙහි සත්‍යයක් තියෙන බව දන්නවා වුණත් සනහස්ට ඕන වුණේ අද දවසට පමණක් හෝ නිවසින් පිටතට යන්න..
අන් දිනවල දී නම් මව පවසන දෙය හිස වනා පිළිගත්තත්..අද ඔහුට ඕන වුණේ කෙසේ හෝ නිවසින් පිටතට යන්න පමණයි..
“අනේ..මට අද ඉස්කෝලේ යන්නම ඕන දවසක් අම්මේ ප්ලීස්..මං හෙට ඉදන් ඕන දවසක් ගෙදර ඉන්නම්..ඒත් මට අද නම් එහෙම ගෙදර ඉන්න බෑ..”
“ඔයා ඔළුවෙන් හිටගෙන කිව්වත් අද නම් යන්න දෙන්නෑ..ම්.. මේ කිරි එක බීලා ඉන්න..
අප්පච්චි අද උදේම යාළුවෙක් හම්බෙන්න කියලා ගියා ඕක බීලා පහලට එන්න මං ඔයා කැමතිම කෑම ජාති අද හැදුවේ ඊයේ දවසෙම බඩගින්නේ හිටපු නිසා..”
“ප්ලීස් අම්මා..මං අද යන්නද..”
අහිංසක මූණක් මවාගෙන සනහස් කොයි තරම් කන්නලව් කරත් ශිරන්තිගේ තීරණයේ වෙනසක් නොවුණු නිසා ගතලාගෙන හිටපු පාසල් ඇඳුම් ඉවත් කර සනහස් ඉහළ මහලේ සිට පහල මහලට අඩි තිබ්බේ ගීයක් මුමුනමින්..
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
ආ හ ආ හ ආ….
ල ල ලා ලා ල
ලා ලා ල ලා….
සුදු පාට ගවුමේ…ආදරය
බැදුනේ…නුඹ ලස්සනයි නංගියේ…
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ….
දෙන්න මට ආදරේ..
දෙන්න මගෙ ජීවිතේ…
නුඹ මගෙ තමයි පැංචියේ…
ආ…ආ..ආ..ආ…
මා ආදරෙයි නංගියේ…
කිසි දිනක මා සිතේ නැවතුනු නැතී…
නුඹම පමණක් ඇවිත් නැවතුනු හැටී…
ආදරය මා සිතේ දලුලන හැටී..
නුඹට මම ජීවිතෙත් පුදමී සිතී..
සිත ඔබගෙ ලගමයි..
නවතන්න බෑමයි…
මා අසරණයි ..පැංචියේ..
ආදරය පුදුමයි
මට නම් නොතේරෙයි..
මා ආදරෙයි නංගියේ..
“මොකෝ අද අමුතු චූන් එකක් ගිහින්..”
“එහෙම එකක් නෑ..ඇයි මං වෙනදා ඉන්නේ මෙහෙම නෙවෙයිද..”
ඔහු එලෙස පවසමින් ඇවිත් අසුන් ගත්තේ වැඩිමල් සහෝදරයා වුණ සංඛ සමීපයෙන්..
“කෝ එනවා බලන්න ඔලුවේ තත්වේ..”
“අයියෝ ඒක එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි බ්‍රෝ..”
“ඔව් ඉතිං ගුටි කාලම තමුසෙගේ ඇඟ දැන් කොහොමත් පත්තියන් වෙලානේ තියෙන්නේ..”
“එහෙම කැත කතා කියන්න එපා බ්‍රෝ..අපි එහෙම වලි වලට යන මිනිස්සු නෙමෙයි..”
“ඒ ගැන නම් ඉතිං කවර කතාද..මේ ගෙදරට සතියකට පාරක් අත පය කඩාගෙන එන්නේ මං වෙන්නැති..”
රන්දි උදෑසන කිරි වීදුරුවත් රැගෙන ඔවුන් සමීපයෙන් අසුන් ගත්තේ එලෙස පවසමින්..
“දැන් මං කවුරු නිසාද ගුටි කෑවේ..තමුසේ මං කියන එක ඇහුවනම් මට මෙහෙම එක එකා එක්ක ගහ ගන්න වෙන්නෑනේ..”
“අන්න ඒ කතාව නම් ඇත්ත නංගි..බලනවා මං වෙනදා මූට බනින්නේ මූ කරොත් කරන්නේ අපත වැඩක් නිසා..හැබැයි මේ පාර මං බනින්නේ මූට නෙමෙයි තමුසෙට..”
“හරි..හරි ඉතිං මං හිතලා කරපු දෙයක් නෙමෙයිනේ..අනිත් එක මේක හරි වැඩක් වුණානේ..ඔයාලගේ රාජකාරිය ඔයාලා හරියට කරා නම් මට ඒ වගේ කුඩු කාරයෝ කරදර කරන්නෑනේ..”
“දැන් එතකොට ඒකට වැරදි මමද..”
“නැත්තන් පොලිස්සිය හරියට වැඩ කරානම් ඒ කුඩු කාරයෝ මේ වෙනකොට හිරේ..”
“අන්න ඒක නම් සිරා කතාව අක්කේ..”
සති කිහිපයකට පසු නිවසට පැමිණි වැඩිමහල් සෙහොයුරා සමඟින් පැයක් පමණ රන්දියි, සනහසුන් කතා බහ කරමින් හිටියේ සහෝදරයා නැවතත් රාත්‍රියේ රාජකාරියට පිටත්ව යන නිසයි..
දහවල් එක පමණ වන විට සනහස් මවට රහසේ නිවසින් පිටත් වුණේ මිතුරන් මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිවයි..පාසල සමීපයට යා නොහැකි නිසා ඔවුන් නිතර දෙවේලේ හමුවෙන මැයි මාර ගස් හෙවන යට බංකුව මතින් අසුන්ගෙන පාසල නිම වෙන තුරු ඔහු බලාසිටියේ නොයිවසිල්ලෙන්..
“අපි හිතුවා උඹ ඊයේ ගිය විදිහට අද කොහොමත් උඹට ඉස්කෝලේ නම් එන්න වෙන්නෑ කියලා…”
“දන්නැද්ද බං අම්මගේ බර බරේනේ..දැනුත් මේ ආවේ පොඩි ජිල්මාට් එකක් දාලා..”
“නැන්දා බය වෙන එක සාධාරණයි බං..අරුන් අපි ඉස්කෝලේ ඇරෙන ටයිම් එකට ගාණට මග රැකන් හිටියා අද..”
“උඹේ අක්කත් ඉදලා ඉදලා දාන්න පුදුම ලෙඩ බං..දැන් බලපං අද උඹ නාපු නිසා හොඳයි ඒත් උඹ අද හිටියනං ආපහු වලියක් ෂුවර්..”
සනහස් සමීපයෙන් අසුන් ගන්නා ගමන් නවෝද් එලෙසින් පැවසුවේ ඔවුන් ආ මඟ දිහාවට බැල්මක් හෙළන ගමන්..
“මොනවද උඹ එබි එබි බලන්නේ..”
“නෑ මචං මං මේ බැලුවේ අරුන් අපේ පස්සෙන් වත් ආවද කියලා..”
“උන්ට මතක මාව බං..උඹලා පැත්තක හිටපු එවුන් නිසා කරුවලේනේ එච්චර මීටර් නැතුව ඇති..අනිත් එක බං මේක උන්ට ගිය රට නෙවෙයිනේ අපේ අයියා කෝකටත් පොලිස්සියේ ඇන්ට්‍රි එකක් දානවා කිව්වා..”
“එහෙනම් කමක් නෑ..උඹලෑ අයියා ඉන්න නිසා හොඳයි..මොනවා හරි ප්‍රශ්නයක් වුණත් කෙලින්ම සපෝට් එක ගන්න පුළුවන් නේ..”
“ඒක නෙමෙයි සනහසෝ මං අර උඹ කිව්ව වැඩේ කරා..”
මිතිල එසේ පැවසුවේ ඇස් පවා නටවමින්..
“මොන වැඩේද..”
“ඇයි බං අර මැඩම්ගේ දූ කුමාරි ගැන විස්තර හොයන වැඩේ..”
“සිරාවට..වරෙන් මෙතනින් වාඩි ගනින් මට කියපං උඹ හොයා ගත්තු ඒවා සේරම..”
නවෝද්ව පැත්කට තල්ලු කර දමා සනහස් මිතිලව ඔහු සමීපයෙන් වාඩිකරෝ ගත්තේ ඇය ගැන දැන ගන්න නොනිමි ආසාවකින්..
“කෙල්ල තාම ඉන්නේ එකොළහ වසරේ මේ අවුරුද්දේ ඕලෙවල්..ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි..මල්ලි අපේ ඉස්කෝලේ නමය වසරේ ඉන්නේ..පොඩි එකාව නම් උඹ සමහර විට දැකලත් ඇති..”
“ඔව්…ඔව්..මට මතකයි..උඹ දවසක් මැඩම්ගේ පුතා කියලා පෙන්නුවා..”
“ඒ නංගි මේ ළඟදි බං මෙහෙට ඇවිත් තියෙන්නේ මැඩම් ඉස්කෝලේ මාරු කරාට නංගි ගිහින් තියෙන් කලින් ගිය ඉස්කෝලෙටමයි..ආරංචියේ හැටියට නම් මේ පාර ඕලෙවල් වලින් පස්සේ නංගිව මෙහේ ඉස්කෝලෙට දාන කතාවක් තමයි තියෙන්නේ..”
“මට කෙල්ලගේ නම කිව්වේ නෑනේ උඹ..”
“ඔහොම හිටපං පිළි වෙලට එක එක කියාගෙන එනකන්..උඹට තියෙන්නේ පුදුම හදිස්සියක්නේ..”
“කෙල්ලගේ නම..අමායා පැහැසරණි වීරවර්ධන..”
“අමායා…”
සනහස් කිහිප විටක් ඇගේ නම මිමිණුවේ මිතුරන් ඔහුට සිනහා වෙද්දියි..
“ඒකත් ජය සිරි මංගලම් කිව්වලු..හැබැයි පුතෝ උඹට ලේසි වෙන්නෑ..උඹලෑ අප්පච්චිගේ කනට ගියොත් එහෙම උඹ කෙල්ලෙක් පස්සෙන් යනවා කියලා..අනිත් එක මැඩම්ට ආරංචි වුණොත් උඹ ඉස්කෝලේ ඇවිල්ලත් ඉවරයි..”
“ආදරේට කොහෙන්ද බං බාධා නැත්තේ..ඕවා සාමාන්‍ය දේවල්..ඔක්කොටම කලින් අමායා මට කැමති වෙලා ඉන්න එපැයි..”
සනහස් එලෙසින් පැවසුවේ කොහොමත් ඔහුගේ පියා ඔහු කුමක් කරත් අකමැති වෙන එකේ ඔහුගේ කැමැත්ත අකමැත්ත ගැන සිතා කටයුතු කර පලක් නොමැති නිසයි..ඔහුට මේ මොහොතේ අවශ්‍ය වුණේ ඇගේ කැමැත්ත පමණයි..
“නංගිගෙන් කැමැත්ත ගන්න නම් උඹ මුලින් අමායව හම්බෙන්න එපැයි..ඒකී උඹව දන්නෙ වත් නැතුව එහෙම එක පාරට අහපු ගමන් කැමැත්ත දෙයි කියල නම් හිතන්න අමාරුයි..
මට ඔය විස්තර කියපු නංගි කිව්ව හැටියට නම් අමායා කියන්නේ පන්තියේ හැමදාම පළවෙනියා..පොත් ගුල්ලියක්ලූ..වැඩිය කතා බහ කරන කෙනෙකුත් නෙමෙයිලු..”
“මං ඒක බලාගන්නම්කෝ..”
“උඹ ඉතිං අපේ එකානේ මං උඹට තව එක උදව්වක් කරන්නම්..අමායා නංගි හැම ඉරිදම ටවුමේ library එකට යනවලු උදේ දහයට විතර..”
“ඒ මේ මිතිලයෝ උඹ විස්තර හෙව්වේ cctv එකකින්ද..”
මිතුරු නඩයේ එක් මිතුරෙක් එලෙසින් ඇසුවේ ඇය නිවසින් පිටත්වන කාල වේලාව පවා ඔහු පැවසු නිසයි..
“ඉස්සර බං ඔය අද කාලේ වගේ cctv කියලා ගැජමැටික් තිබුණේ නෑනේ.. ඒ කාලේ cctv වුණේ මිනිස්සු..මං අද ඒ කාලේ වගේ මිනිස් cctv එකක් හොයා ගත්තා මට අවශ්‍ය තොරතුරු ටික හොයා ගන්න..”
“හැබැයි කවුරු වුණත් සනහසෝ උඹ මල් තියලා වඳින්න ඕන මේ විස්තර ටික දවස ගාණේ බලන් ඉදලා මූට කිව්වට..”
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්
