මිතුරාගේ විවාහයට සහභාගි වෙන්න හිත අධිමදි කරත් මොළය සනහස්ට අනතුරු ඇගෙව්වේ කිහිප විටක්ම මිතුරන්ව මඟ අරිමින් කටයුතු කෙරූ නිසා මෙවර ඔහු විවාහයට සහභාගී නොවුණොත් මිතුරන් අනිවාර්යයෙන්ම ඔහුව මිතුරු ලයිස්තුවෙන් නෙරපා හරින බව මතක් කර දෙමින්
“උඹ දැන් තකහනියේ මට එන්න කිව්වේ උඹත් එක්ක ගමට යන්නද..”
“උඹ දන්නවනේ මං මේ ගමන එන්න කැමති නෑ කියලා..මේ පාරේ වාහනේ ඩ්‍රයිව් කරන්න බෑ මචං මගේ අත් දෙක නිකන් වෙව්ලනවා වගේ..”
“මං නම් කියන්නේ උඹ මානසික වෛද්‍යවරයෙක් ළඟට ගිහින් මේ ගැන කතා කරලා බෙහෙත් ටිකක් ගන්න ඕන..වෙච්ච දේවල් එක්ක උඹේ මනස ඔහොම වෙන එක අහන්න දේකුත් නෑනේ..අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක් වුණාට මට නම් ඒ දේවල් අද ඊයේ වූණා වගේ මචං.. සැහැල්ලුවෙන් අපි ගතකරපු ජිවිතේට මේ විදිහේ කුණාටුවක් එයි කියලා දන්නවනම් මං උඹට කවදාවත් අමායා නංගියේ විස්තර හොයලා දෙන්නෑ..”
“මොන දේ කොහොම වෙනස් කරන්න පුළුවන් වුණත් මිනිසුන්ගේ දෛවය එහෙම වෙනස් කරන්න බෑ මිතිල..මේ මගේ දෛවය..”
“මේ පාරවල් වල අපේ මතක කොච්චර ඇද්ද මචං..ඒ දවස් ආපහු එනවනම් මං කැමති නෑ ලොකු වෙන්න මං ඒ වයස් වලම ඉන්නවා..අපි හත්දෙනා දැන් තැන් හතක එක එක විදිහේ වගකීම් නිසා එකතු වෙලා කතා කරන්න තරම් වත් වෙලාවක් නැති තරම් නේ..”
“ජීවිතේ කියන්නේ එහෙම තමයි මිතිලයෝ.. මොකෝ උඹ කවදාවත් නැතුව අද මේ තරම් ඉමෝෂනල් වෙලා..”
“ජිවිතේ ගැන හිතද්දි ඔටෝ හිතට එන කලකිරීම නිසා බං.. දැන් අපි නිකන් රොබෝලා වගේ වැඩ වැඩ විතරමනේ..”
“ඒක නම් ඇත්ත මචං..”
පැය කිහිපයක ගමනට සමු දීලා කුරුණෑගල නගර මධ්‍යයේ ඇති සුවිසල් හෝටල් පරිශ්‍රයේ රථ ගාලෙන් වාහනය නතර කර මිතිල හැරුණේ සනහස් දිහාවට..
“මචං මං දන්නවා උඹ අද ආවේ නොයා ඉන්න බැරි කමට කියලා..මෙතන උඹට ආදරේ කරන මිනිස්සු වගේම උඹට ඊරිසියා කරන මිනිස්සුත් ඉන්නවා ඒ හිංදා කල්පනාවෙන් වැඩ කරපං..මොන විදිහේ ප්‍රශ්නයක් ඇති වුණත් ඉවසපං..මං මෙච්චර මේ දේවල් උඹට කියන්නේ උඹ තරුවක් නිසා සනහසෝ..උඹට වරදිනකන් උඹට මඩ ගහන්න හෙන සේනාවක් බලන් ඉන්නවා කියලා උඹ දන්නවනේ..”
“උඹ කරදර වෙන්න එපා මචං..මට මේ දේවල් බැලන්ස් කරගන්න පුළුවන්..”
සනහස් කොයි තරම් ඔහුට පාලනය වී සිටින්නට පුළුවන් බව පැවසුවත් මිතිල සිටියේ සනහස්ව බල කරමින් රැගෙන ආපු එක ගැන මද පසුතැවීමකින්..මිතිල බයයි මිතුරා නැවතත් අතීතයේ ඔහුගේ දිවියේ අඳුරුතම කාලයට ඇවිඳගිය හොත් ඔහුව ඔහුවම පාලනය කරගත නොහැකි වේවි කියා..
“දැන් අපි මෙච්චර දුර ආවේ කා පාර්ක් එකේ ඉන්න නෙමෙයිනේ යමන් යමන් ඇතුළට..”
වාහනයෙන් බැස සනහස් ඉස්සර වුණේ ඔහුගේ පසු පසින් මිතිල පැමිණෙද්දියි..
“මචං අර අර මේ සනහස් නේද බං..”
“අඩෝ සිරාවට ඒ සනහස් තමයි බං..”
“අද වෙඩින් එක තියෙන්නේ සල්ලිකාර මනුස්සයෙක්ගේ නෙමෙයි නේ..”
“නෑ බං සාමාන්‍ය මනුස්සයෙක්ගේ..”
“ඒ වුණාට බර සල්ලියක් වියදම් කරන්න ඇති මේ මනුස්සයව ගෙන්නන්න පැය ගාණකට..”
“මෙයාලුනේ දැන් තරුණ ගායකයන්ගෙන් වැඩිම ගාණක් අය කරන කෙනා..”
“ඔව් ඔව් මාත් දැක්කා යූටියුබ් එකේ දාලා තියෙනවා විඩීයෝ එකක්..”
“අපිත් ෆොටෝ එකක් ගමුද මිනිහත් එක්ක..”
“යමන් යමන්..”
ලිෆ්ට් එක පහලට එනතුරු මඟ බලමින් හිටපු සනහස්ගේ සවන් වැකුණේ ඔහුව හඳුනාගෙන ඔහු ගැන කතිකා කරනා තරුණයන් දෙදෙනෙකුගේ සංවාදයක්..ඔවැනි කතිකා බොහෝමයක් ඔහුගේ සවන් වැකී ඇති නිසා ඔහුට එම තරුණයන්ගේ සංවාදය අරුමයක් නොවෙයි..
“සර්..අපි ෆොටෝ එකක් ගමුද..”
ඔහු ගැන කොයි ආකාරයට ඔවුන් කතිකා කරත් හරිම ගරු සරු ඇතිව ඔවුන් පැමිණ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පැවසු නිසා සනහස් විනාඩි කිහිපයක් වැය කරමින් ඔවුන් සමඟ සේයාරූ කිහිපයක් ගත්තේ ඔවුන් සමඟ කිසිදු අමනාපයකින් තොරවයි..
විවාහය ඇති ශාලාවට පැමිණෙන තුරුව දකින දකිනා පුද්ගලයා සමඟින් සේයාරූ විස්සකට පමණ පෙනී ඉදලා සනහස් බොහොම අමාරුවෙන් ඔවුන් සමීපයෙන් ඈත් මෑත් වී මිතිල සමඟින් ඇතුල් වුණේ විවාහ උත්සවය පවත්වන ශාලාව තුළට..
“මේ සනහසෝ තරුවක් වෙන එකත් සෙල්ලම් නෑ කියලා තේරෙන්නේ මේ වගේ මිනිස්සු ගැවසෙන තැනකට ආවමයි නේද
මචං..”
“උඹට දැන්ටම එපා වුණාට මේ පටන් ගැන්ම විතරයි ඔන්න බලපංකෝ තව ටිකකින් මනමාලයා පැත්තක හැමෝම ෆෝන් උස්සන් මගේ පස්සෙන් එයි..”
එසේ පවසන ගමන්ම සනහස් ඉස්සර වී ඇවිඳගියේ පාසල් සමයේ පටන් මිතිලට පස්සේ ඔහුගේ හොඳම මිතුරා වුණ නවෝද් සමීපයට..
“සනහස්…අඩෝ…මේ උඹද මචං..”
සනහස්ව දුටුව ගමන් නවෝද් පැමිණ සනහස්ව බදා ගත්තේ ඔහු පැමිණේවි කියා ඔහු විශ්වාස නොකෙරු නිසා දැණුන විශ්මයට..
“අනේ..මට මේක විශ්වාස කරගන්න බෑ මචං..මං පොඩ්ඩක්වත් හිතුවේ නෑ උඹ එන්නම් කිව්වට මෙහෙම ඒවී කියලා..”
“පොරොන්දුවක් වුණාම රකින්න එපැයි.. Happy wedding day මචං..”
“අනේ…මට මාර සතුටුයි බං මං මේ උඹව ඇස් දෙකට දකින්නේ හරියටම අවුරුදු හතරකට පස්සේ..උඹ ටිවී එකේ දකිනවට වඩා පට්ට ගති අඩෝ..”
“උඹ නිසාමයි ඔන්න අද මූ ආවේ..”
“මං ඒක දන්නවා බං..”
නවෝද් සනහස්ව වැළඳ ගත්තේ එලෙස පවසන ගමන්..
“තාම අපේ සෙට් එක වැඩියේ නැද්ද මචං..”
“නෑ..මිතිලයෝ උන් ටික ඊයේ දවසෙම මහන්සිවෙලා ගෙදර ගියේ පාන්දර හතරට විතර..චූටි ඇලට් එකක් දාලා එන්නම් කිව්වා දහයට විතර..ඒක නෙමෙයි උඹලා කීයටද එහෙන් ආවේ..”
“මං ඊයේ මූව එක්කරන් එන්න ඕන නිසා එහේ ගියා බං..මූට තනියෙන් එන්න බෑ කිව්වනේ තනිකම් දෝසේ තියෙනවා කියලා..
උදේ හයට විතර අපි එහෙන් ආවේ..”
“මූට අද ආපු එකේ මෝඩ කම කියලා හිතෙයිද දන්නෑ..අර දැක්කද කට්ටියගෙම ඇස් තියෙන්නේ මෙතන..”
නවෝද් එලෙස පැවසුවේ ශාලාව පුරා ඉන්නා අමුත්තන් දිහාවට බැල්මක් හෙළන ගමන්..
“කෝ ඒක නෙමෙයි මනමාළි දැක්කේ නෑනේ අපි තාම..”
“අන්න සාරි එකේ මොකක්ද අවුලක් කියලා හදාගෙන එන්න ගියා..මං මේ කල්පනා කරේ උඹව දැකලා මගේ ගෑණිට පිස්සු හැදෙයිද කියලා..ඒ තරම් උඹේ වොයිස් එක්කට පිස්සු හැදිලා ඉන්නේ මං එක දවසක් කිව්වා උඹ මගේ යාළුවා කියලා ඒ දවස් වල මං මෙයාට ට්‍රයි කරන කාලෙනේ මචං චතූට උඹව එච්චර මීටර් නෑ..ගෑණි ගණන් ගත්තෙවත් නෑ කියහන්කෝ මං කියපු දේ..එයා හිතුවේ මං මේ අවදානේ ගන්න බොරු කියනවා කියලා..”
“දැන් ඉතිං පිළිගනියිනේ..”
“අන්න එනවා..උඹ පොඩ්ඩක් අනිත් පැත්තට හැරිලා ඉදපං ඈ..”
“සාරි එක හරිද චතූ..”
“ඔව් අයියේ දැන් හරි..අනේ..මිතිල අයියා ආවේ කොයි වෙලේද..”
“දැන් චුට්ටකට කලින් නංගි..”
“මේ චතූ මං එදා ඔයාට කිව්වා නේද මගේ හොඳම යාළුවෙක් කියලා අර සනහස්..”
“මොන සනහස්ද අනේ..”
“දැන් ඔය නම තියෙන සනහස්ලා කීයක් තමුසේ දන්නවද..”
“චික්..කතා කරන කැත..බලන්න අයියේ මෙයාගේ ඔක්කොමත් හොඳයි මේ කට තමයි මට පේන්න බැරි..මං දන්න සනහස්ලා ඉන්නේ එක්කෙනයි..ඒ සනහස්ව නම් ඔයා දන්නවා කියලා බොරු නොකියා ඉන්න අනේ..”
නවෝද් සනහස් ළඟට ඇවිත් ඔහුව ඇගේ පසට හැරෙව්වේ සිනහා වෙන ගමන්..
“දැන් මගේ නෝනා මොකෝ කියන්නේ..”
“අනේ..සනහස් ඔයා මෙහේ..”
සනහස් ඇය සමීපයට ගිහින් විවාහ ජීවිතේට සුභ පතද්දි පවා ඇය සිටියේ පුදුමවීයි..
“අනේ..මට තාම විශ්වාස කරන්න බෑ අනේ..මං ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්..මං ආසම අර ලැවෙන්ඩර් මලක් සිංදුවට..”
“මූට ඉන්න දීලා මෙහේ එනෝ ගෑණියේ මේ වෙඩිම අපේ..අර දැක්කද ෆොටෝ ගහන්න බලන් ඉන්න පෝලිම..මං උඹව ගෙන්නගෙන අද දවසේ වත් තරුව වෙන්න තිබ්බ චාන්ස් එක මිස් කරගත්තද මංදා..”
සනහස් ඔවුන් දෙදෙනාටම සුභ පතලා ශාලාවේ කෙළවරට වෙන්න තිබුණ අසුනකින් අසුන් ගත්තේ ඔහු මතට වැඩි අවධානයක් නොලැබෙන විදිහට ඉන්න වුණත් ඔහු අසුන් ගත්ත මොහොතේ පටන් තරුණ ,මහළු,කුඩා දරුවන් පවා පෝලිමට ඔහු සමීපය පැමිණියේ ඔහුත් සමඟ ඡායාරූපයක් ගැනීමේ අරමුණින්..
“අද දවසේ තරුව ඉතිං උඹ තමයි අන්න අරුන් ටිකත් ආවා..මං මෙතනට එක්කරන් එන්නම්..”
මිතුරු නඩයේ ඉතිරි මිතුරන් කිහිප දෙනා ශාලාවට ඇතුල් වෙනවා දුටු මොහොතෙම මිතිල ඔවුන් වෙත දුව ගියේ ඔවුන්වත් සනහස් සමීපයට රැගෙන එන්න බලාපොරොත්තුවෙන්..
සනහස් බලාගෙන හිටියේ මිතුරන්ට අත් දිගු කරමින් තමන් ඉන්නා දිහා පෙන්වන ගමන් මිතිල කුමක් හෝ ඔවුන්ට පවසන අයුරුයි..
ඔවුන් වෙනතකට යනවත් මිතිල කුමක් හෝ පවසමින් බැන වදින අයුරුත් දුටුව නිසා සනහස්ට තේරුම් ගිහින් හමාරයි ඔවුන් තමන් සමඟින් අමනාපයෙන් බව..
“සොරි බං අරුන් ටික උඹත් එක්ක එච්චර හිත හොඳ නෑ..උඹ උන්ව අමතක කරා කියලා…”
“මාත් වැරදියිනේ බං උන්ට වරදක් කියන්න බෑ..එක බත් එක කකා හිටපු උඹලව මං පැත්තකට කරපු එක වැරදියි..”
“උඹ එහෙම කරේ උඹේ කැමැත්තෙන් නෙමෙයිනේ මචං..ඔබට එහෙම කරන්න සිද්ධ වුණානේ..අරුන් ටික ඒක දන්නවා..ඒත් උන්ගේ හිතේ තියෙන්නේ දුකක්..උන් උඹ ලඟින් ඉන්න ඕන කාලේ උන්ට උඹ ළඟ ඉන්න උනේ නැති නිසා..”
“උන්ට මගේ ළඟට එන්න බැරි වුණාට, මට උන් ළඟට යන්න පුළුවන් නේ මචං..අපි යමු උන් ඉන්න තැනට..”
සනහස් එහෙම කියලා ඔහු අසුන්ගෙන හිටපු තැනින් නැගිටලා මේස එකින් එක පහු කරමින් ඉදිරියට ඇඳුනේ මිතුරන්ව හොයාගෙන..
මිතුරන් සමීපයට පැමිණ ඔහු ඔවුන්ට සමීප අසුනකින් අසුන් ගනිද්දි මිතිලත් අසුන් ගත්තේ මිතුරන්ට ඇස් බැල්මෙන් කතා කරපං කියා අඟවමින්..
“මට සමාවෙයන් බං..මං දන්නවා මං වැරදියි කියලා..ඒත් මට ඒ දවස්වල ඕන වුණේ මුළු ලෝකෙන්ම හැංඟිලා ඉන්න මචං..සමහර විට මං ආත්මාර්ථකාමී වෙන්නැති ඒත් මචං මං ඒ කාලේ දැනගෙන හිටියේ නෑ සිද්ධ වෙච්ච දේවල් දරාගන්නේ කොහොමද කියලා..මට මං ගැනම දැණුනේ වරදකාරී හැඟීමක්..මං බය වුණා ගමේ මිනිස්සු වගේම උඹලත් මං ගැන වැරදියට හිතනවා ඇති කියලා..”
“ගමේ එවුන් මොන කතන්දරේ කොහොම කිව්වත් අපි හැමදාම විශ්වාස කරේ උඹව මචං..අපි උඹේ හොඳම යාළුවෝ විදිහට අපි කොහොමද බං උඹ ගැන දන්නෙවත් නැති මිනිස්සු කියන කතා විශ්වාස කරන්නේ..”
“මූ කියන කතා ඇත්ත සනහස් උඹ අපිට කතා කරන කන් අවුරුද්දක් දෙකක් නෙමෙයි අපි අවුරුදු හතරක් බලාගෙන හිටියා..උඹ දැන් කතා කරයි දැන් අපිට කතා කරයි කියලා හිත හිත..උඹ ඒ ප්‍රශ්නේ වෙලා අවුරුද්දකට විතර පස්සේ වොයිස් ස්ටාර් එකට යද්දි උඹ අපිට කතා කරලා එක එස්.එම්.එස් එකක් හරි උඹ වෙනුවෙන් අපිට ගහපන් කියයි කියලා අපි මඟ බලාගෙන හිටියා..ඒත් උඹ අපිට කතා කරේ නෑ..ඒත් එහෙමයි කියලා අපි උඹව අතැරියේ නෑ මචං..උඹව දිනවන්න අපි උඹ වෙනුවෙන් කරපු දේවල් අහපං මුගෙන් මූ හැමදේම දන්නවා..”
සනහස් මිතිල දිහා බැලුවේ අසරණව..මිතිල කියන හැමදේම සනහස් අහගෙන හිටියේ කඳුළු පිරුණු ඇස් වලින්..
“සමාවෙයන් මචං..මං උඹලව අතැරියේ මගෙත් එක්ක ඉදලා උඹලගේ නමත් සවුත්තු වෙයි කියලා බයට..මං අද මේ ගමන ආවේ වුණත් නොයා ඉන්න බැරි කමට මචං.. මොකද මං දන්නවා උඹලා මගේ ළඟ හැමදාම එදා ඉදන්ම හිටපු විත්තිය..”
පැය කිහිපයක් මිතුරන් සැම ඔවුන්ගේ දුක බෙදා ගත්තේ සැවොම කුඩා වියේ පටන් සහෝදරයෝ මෙන් වු නිසයි..
“ටවුම දැන් හරියට වෙනස් වෙලා බං ඉස්සරට වඩා..”
“අවුරුදු පහක්නේ මචං ඉස්සර අපි පන්ති ගියපු තැන් පවා දැන් මාරෙට වෙනස් වෙලා..
උඹ අදම යන්නේ නෑනේ..හවස් වෙලා ටවුම වටේ රවුමක් යමු..
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්
