සබරගමුව දුම්රිය –  The Sabaragamuwa Railway  පර්යේෂණාත්මක ග්‍රන්ථය අද ජනගත වේ! 

author
0 minutes, 11 seconds Read

රසික වික්‍රමනායක   විසින්  රචිත   සබරගමුව දුම්රිය –  The Sabaragamuwa Railway  (පර්යේෂණාත්මක ග්‍රන්ථය) 2024 ජනවාරි 03 දා ජනගත කෙරුණි.

රසික වික්‍රමනායක   විසින්  රචිත  Narrow Gauge Railways of Ceylon  ග්‍රන්ථයේ කැලණි නිම්න සහ සබරගමුව පටු ආමාන දුම්රිය මාර්ගයන්ට අදාළ පරිච්ඡේදවල සිංහල පරිවර්තනය  සබරගමුව දුම්රිය –  The Sabaragamuwa Railway  (පර්යේෂණාත්මක ග්‍රන්ථය) ලෙස ප්‍රකාශයට පත්වී තිබේ. ඊට අමතරව ලංකාවේ පටු ආමාන දුම්රිය මාර්ග ඇති වීමට මූලික වූ හේතු කාරණාද මෙම ග්‍රන්ථයට එකතු කර ඇත. අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය හරහා ඇදී ගිය සබරගමුව දුම්රිය මඟට වෙසෙස් අවධානය යොමු කරමින් සමස්ත කැලණි නිම්න දුම්රිය මඟෙහිම ඇති වීම, ස්වර්ණමය යුගය, පිරිහීම සහ අවසානය දක්වා සියලු කරුණු සංක්ෂිප්තව, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සහ එහි ඉතිහාසය පිළිබඳව උනන්දුව දක්වන සිංහල පාඨකයන් ඉලක්ක කරගත් ග්‍රන්ථයකි. මුද්‍රණයෙන් පළ නොවූ අදාළ දුම්රිය මාර්ගවල දුර්ලභ කළු සුදු ඡායාරූප 51කින් සහ කතුවරයා විසින්ම නැවත සකසනු ලැබූ සිතියම් 21කින් සමන්විතය. වැඩි පාඨක පිරිසක් වෙත දැනුම සම්ප්‍රේෂණය අරමුණු කරගෙන සකසුරුවම් මුද්‍රණයක් (Budget Edition) ලෙස පළමු මුද්‍රණය නිකුත් වේ.

පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කීර්තිමත් ආදිසිසුවෙකු වන රසික වික්‍රමනායක මහතා, වරලත් වාස්තු විද්‍යාඥයකු මෙන්ම සහතික ලත් ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස මෙරට සහ විදේශවලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහිද සේවය කර ඇත. දැනට ඉදිකිරීම් උපදේශකයෙකු ලෙසද, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, දුම්රිය ඉතිහාස ගවේෂකයෙකු සහ සහ ජාතික දුම්රිය කෞතුකාගාරයේ කමිටු සාමාජිකයෙකු ලෙසද රසික වික්‍රමනායක මහතා සේවය කරයි. කතුවරයා ලංකාවේ පටු ආමාන දුම්රිය පිළිබඳ වසර 30කට එපිට කාලයක් නිරන්තර ගවේෂණයේ යෙදී සිටි අයෙකි. ඔහු විසින් 2021 වසරේ ලියා පළ කරන ලද Narrow railways ග්‍රන්ථය එම විෂය ඔස්සේ ලියවුණු එකම පර්යේෂණ ග්‍රන්ථය ලෙස සැලකේ. එම ග්‍රන්ථය දෙස් විදෙස් නොමඳ පැසසුමට ලක් වූ අතර එහි පිටපතක් ලොව විශාලම පුස්තකාලය ලෙස ගැනෙන ඇමරිකාවේ ක්‍රොන්ග්‍රස් පුස්තකාලයේද පරිහරණය සඳහා තැන්පත් කර ඇත.

මෙම පොත ලංකාණ්ඩුවේ දුම්රිය සේවය, පටු ආමාන දුම්රිය; ලාංකීය ආගමනය, කැලණි නිම්න දුම්රිය මාර්ගයේ ආරම්භය සහ විකාශය, සබරගමුව දුම්රිය මාර්ගය ඉදිකිරීම, කැලණි නිම්න සහ සබරගමුව දුම්රිය මාර්ගවල ස්වර්ණමය යුගය, ලංකාවේ පටු ආමාන දුම්රිය මාර්ගවල බිඳ වැටීම, සබරගමුව දුම්රිය මාර්ගය වසා දැමීම සහ ඉන්පසු යුගය, කැලණි නිම්න සහ සබරගමුව දුම්රිය මාර්ග හා සබැඳි සමාජ-ආර්ථික කරුණු ආදියත් , කැලණි නිමන සහ සබරගමු දුම්රිය මාර්ගවලට අදාළ වැදගත් දින වකවානු, එන්ජින් යන්ත්‍ර සහ රේල් කාර්වල තාක්ෂණික පිරිවිතර, මැදිරි සහ ගැල් කේත සහ සිතියම් ද ඇතුලත් අනර්ඝ කෘතියකි. 

Similar Posts