මිනිසුන්ගේ පිරිහීමට හේතු වෙන්නා වූ කරුණු මොනවාදැයි දෙවියන් විසින් අසන ලද අවශ්ථාවේ දී පිරිහීමට හේතු වෙන කාරණා 12 ක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදි. මෙම කරුණු ඛුද්දක නිකායට අයත් සූත්‍රයක් වන පරාභව සූත්‍රයෙහි මැනවින් විස්තර කොට ඇත.

ඒ මෙසේය,
ධර්මයට ද්වේෂ කිරීම හා මිථ්‍යා දෘෂ්ටි ඇති අසත් ධර්මයට ප්‍රිය වීම.
මෙයින් අදහස් කරන්නේ සද්ධර්මයට අකමැති වීම සහ අසද්ධර්මයට ප්‍රිය වීමයි.
සද්ධර්මය පිළිපැදීම තුළින් තමාගේ අධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම මුළුමහත් සමාජයට ම යහපතක් සිදුවන අතර අසද්ධර්මය තුළින් තමාට මෙන්ම සමාජයට ද සිදු වන්නේ මහත් වූ අවැඩකි.
එබැවින් ධර්මයට ද්වේෂ කිරීම සහ අසත් ධර්මයට ප්‍රිය වීම සියලු අංශයන්ගෙන් පිරිහීමට හේතුවන කරුණු දෙකකි.
මෙහි තුන්වන කරුණ වශයෙන් සඳහන් වන්නේ,
අලස බව, නිතර නිදන සුළු බව, නිරතුරුව කල්ලි ගැසීමට රුචි බව, කිපෙන බව හා හීන වීර්යය යන කරුණු
ය. මෙම කරුණු අතරින් එකක් වුවද කෙනෙකුගේ දියුණුවට බාධා පමුණුවයි.
සිගාලෝවාද සූත්රයේද මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කර ඇත.
මේ අතරින්,
එකක් හෝ නිරතුරුව කෙනෙකු තුළ ඇත්නම් එයින් ලෞකික දියුණුවෙන් මෙන්ම අධ්‍යාත්මික දියුණුවෙන් ද පිරිහීම සිදුවෙන බව ධර්මයෙහි විස්තර කර ඇත.
පොහොසත්ව සිටිය ද මහළු මව්පියන්ට නොසැලකීම යන හතරවන කාරණය ද පිරිහීමේ දොරටුවක් වශයෙන් සඳහන්ව ඇත. මවුපියන් යනු අපගේ ජීවිතවල ආරම්භය හෙවත් මුල වන අතර තමන්ට හැකියාව තිබියදී ඔවුන්ට නොසලකා හැරීම යනු එක් අතකින් මුල අමතක කිරීමක් වැනිය. එබඳු දරුවන් ද සමාජමය වශයෙන් මෙන් ම අධ්‍යාත්මික වශයෙන්ද පිරිහීමට පත් වෙයි.
මහණ බමුණන් සහ යදියන් බොරුවෙන් රැවටීම යන කරුණ ද පිරිහීමේ දොරටුවක් වශයෙන් සඳහන් වන අතර එය ද සමාජමය හා අධ්‍යාත්මික යන අංශ දෙකෙන්ම පිරිහීමක් ඇති කරයි.
බොහෝ ධන ධාන්‍ය සහ ආහාර පාන තිබුන ද තනිව පරිභෝජනය කිරීම යනු හයවන පිරිහීමේ දොරටුවයි. මිනිසා වූ කලී සාමූහිකව ජීවත්වන සත්වයෙකි. එබැවින් ඔවුනොවුන් අතර සහයෝගය බෙහෙවින් අවශ්‍ය වෙයි. එබැවින් තමන් උපයන්නා වූ ධනය අන්‍යයන් සමග බෙදා හදා ගැනීම අනිවාර්ය වෙයි. යමෙක් එසේ නොකළ හොත් සමාජය තුළ තනි වූ පුද්ගලයෙක් බවට ඔහු පත් වනු ඇත. එය ඔහුගේ සමාජමය පිරිහීම වන අතර දැඩි වූ ලෝභය ඔහු තුළ වර්ධනය වන බැවින් අධ්‍යාත්මික පිරිහීමක් ද සිදු වෙයි.
ජාති මානයෙන්, ධන මානයෙන් සහ කුල මානයෙන් යුතුව නෑයන් නොසලකා හැරීම යනු ද තවත් එක් පිරිහීමේ දොරටුවක් වන අතර එයද ඉහත ආකාරයෙන්ම සමාජමය හා අධ්‍යාත්මික වශයෙන් දැක්විය හැකිය. මානය යනු ඉතා බලවත් වූ අකුසල චෛතසිකයක් වශයෙන් ධර්මයෙහි පැහැදිලි කර ඇත. ඒ සඳහා ජාතිය, ධනය හා කුලය ආදී විවිධ කරුණු හේතු විය හැකිය. එය අකුසල චෛතසිකයක් බැවින් පරලොව වශයෙන් දුගතිගාමී වීමට හේතු කාරණාවක් වන අතර එබඳු මානයෙන් උමතු වූ පුද්ගලයන් සමාජමය වශයෙන් ද පහත් තත්වයකට ඇද වැටෙයි.
ස්ත්රීන්ට, සුරාවට සහ සූදුවට ලොල්ව උපයන ධනය විනාශ කර ගැනීම යනු සූත්‍රයෙහි සඳහන් අටවන පිරිහීමේ දොරටුවයි. ඉහත සඳහන් කරුණු එකකට හෝ යමෙක් ඇබ්බැහි වී නම් එයින්ම මහත් වූ විනාශයක් ඇති කරයි. ධන හානිය සහ ලෙඩ රෝගවලට ආකරයක් වීම යන ආදීනවයන්ට මුහුණ දීමට ඔහුට සිදුවෙයි. අධ්‍යාත්මිකව පිරිහීමට පත්ව ඇති එම පුද්ගලයා යාචකයෙකුගේ තත්වයට ඇද වැටීමට එය හොඳින්ම ප්‍රමාණවත් ය.
සිය බිරියගෙන් සතුටු නොවී වෛශ්‍යාවන් කරා යාම ද පිරිහීමට කරුණක් ලෙස දක්වා ඇත. පවුල් ජීවිතයේ ආරවුල් ඇති වී අසතුට ඇති වීම, ධනය හානි වීම හා විවිධ සමාජරෝග ආදිය ඇතිවීමට මෙය හේතු වෙයි. එය සමාජමය වශයෙන් ඇති වන්නා වූ පිරිහීම වන අතර ඊළඟ භවයේදී දුගතිගාමී වීමට හේතුවන බැවින් අධ්‍යාත්මික පිරිහීමක් වශයෙන් ද මෙය හැඳින්විය හැකිය.
මහලු වූවෙක් තරුණියක ආවාහ කොට ගෙන දිවා රෑ නොනිදා ඇය රැකීම තවත් එක් පිරිහීමේ දොරටුවකි. වයස් පරතරය ඉතා විශාල වූ දෙදෙනෙකු අතර සිදුවන විවාහය බෙහෙවින් ගැටළු සහිතය. මහලු පුද්ගලයෙක් ඉතා ලාබාල තරුණියක් ආවාහ කර ගත් විට ඇය කෙරෙහි ලොල් බැවින් නිරතුරුව ඇයව ආරක්ෂා කළ යුතු ය. එයින් කිසි විටෙක අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති නොවන අතර මහත් වූ වෙහෙසක් පමණක් ම දැරීමට සිදු වෙයි. එසේම සමාජයේ අවඥාවට ලක්වීම ද සිදු වන්නකි. එබැවින් මෙයද පිරිහීමේ දොරටුවකි.
මස්මාංශ සහ මත් පැන් ආදියට ලොල් වී ධනය වියදම් කරන්නකු ආධිපත්‍යයේ තැබීම එකොළොස්වන පිරිහීමේ දොරටුවයි. මෙහිදී පිරිහීමට පත් වන්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු ආධිපත්‍යය දරණ ආයතනය හෝ රාජ්‍යයද පිරිහීමට පත්වෙයි. ඔහුගේ මුළු ජීවිතයම මස්මාංශ සහ මත්පැන් බවට පත් වන බැවින් වෙනත් කරුණු පිළිබඳ වෙහෙස වීමට ඔහු උනන්දු නොවීම පමණක් නොව ඒ සඳහාම සියලු ධනය වියදම් කිරීම නිසා ධනයෙන් ද පිරිහීමට පත්වෙයි.
ක්ෂත්රිය කුලයේ උපන් නමුත් අල්ප ධනයක් ඇතිව රාජ්‍යය පැතීම යන මෙම කරුණ සූත්‍රයෙහි සඳහන් කර ඇති අවසාන පිරිහීමේ දොරටුවයි. මෙයින් අදහස් කරන්නේ තම හැකියාවේ තරමට යමක් බලාපොරොත්තු විය යුතු බවයි. හැකියාවක් නොමැති යමකට උත්සාහ දැරීමෙන් ද පුද්ගලයා පිරිහීමට පත්වෙයි.
මෙම පිරිහීමේ කරුණු බුද්ධ කාලයට පමණක් නොව වර්තමානයට ද බෙහෙවින් වලංගු වන බව අප තේරුම් ගත යුතුය. එය මැනවින් දන්නා වූ පුද්ගලයා මේවායෙන් මිදී යහපත් වූ ජීවිතයක් ගත කොට මරණින් මතු සුගතියට පැමිණෙන්නේය-
සම්පාදනය
ආචාර්ය පූජ්‍ය දම්පේ විජිතරතන හිමි,
පීඨාධිපති,
බෞද්ධ අධ්‍යයන පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය,
මානෙල්වත්ත,
කැළණිය
