
මේ වෙසක් මාසයයි. ගෙවුනේ අප්‍රේල් අවුරුදු මාසයයි. අපේ රටේ බහුතරයක් වූ බෞද්ධයෝ විශේෂයෙන්ම තම වැඩිහිටි ඥාතීන් බැහැදැකීම සදහා, සුව දුක් විචාරීම පිණීස තම ආර්ථික හැකියාව මත යමක් රැගෙන තමනට අවැසි ඥාතීන් බැහැදැකීම අප්‍රේල් සහ මැයි මාස වලදී චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබයි. ඒ සදහා අදාල පාර්ශවය සිරගතව සිටියද ඔවුන් හමුවීමට යෑම ඇතැම් ශ්‍රී ලාංකිකයෝ කටයුතු කරනු ලබති. මෙහිදී සිරගතව හෝ රිමාන්ඩ් ගතව සිටින සිටින ඥාතීන් බැලීම සදහා ආහාරයට යමක් රැගෙන යන්නේ බන්ධනාගාර තුල කුසට අහරක් මිසක, රසට අහරක් නොලැබෙන බව, 1905 ජුලි 16 ඇරැඹි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන දන්නෝ දනිති. ඊට ප්‍රධානතම හේතුව විය හැක්කේ, විශාල ආහාර ප්‍රමාණයක් එතරම්ම අත්දැකීම් නොමැති පිරිසක් විසින් සැකසීමත්, ආහාර සදහා අවැසි කුළුබඩු ප්‍රමාණවත් පරිදි නොයෙදීම හෝ යෙදියයුතු කුළු බඩු ගැන එතරම් දැනුමක් කෝකි පාටියට (බන්ධනාගාරය තුල ආහාර සකසන කණ්ඩායම කෝකි පාටිය ලෙසත් ඔවුන් සකසන බත් කල්දේරම් බත් ලෙසත් හැදින්වේ) නොතිබීමත්ය. බොහෝ බන්ධනාගාර වල දර යොදා ආහාර සැකසෙන අතර පසුගියදා බන්ධනාගාරගතව සිට ජනාධිපති සමාව ලැබූ අයෙකු විසින් සිදුකල ආන්දෝලාත්මක ප්‍රකාශයක් මේ බව තහවරු කරන ලදී.

මෙකී තත්වය යටතේ දවසකට දෙවරක් රැඳවියන් බැලීමට, ආහාර ලබාදීමට අවකාශ ලැබුනද ඒ ගෙන යනු ලබන ආහාර රැඳවියන් අතට පත්වන්නේ අකාරුණිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. විශේෂයෙන් අවුරුදු වෙසක් නත්තල් ආදී නිවාඩු දිනවල අමුත්තන් රැසක් රැඳවියන් හමුවට පැමිණෙන අවස්ථාවන්හිදී බන්ධනාගාර කාර්යය මණ්ඩලය කාර්යය බහුල වන අවස්ථා එලැඹෙන බැවින් එවැනි අවස්ථා වල ඔවුන් ආහාර ලබාදීම සදහා ලබාදෙනු ලබන වේලාවද සීමා කරනු ලබයි.
අමුත්තන් විසින් රැගෙන එනු ලබන ආහාර බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා පරීක්ෂා කර බලා රැඳවියන්ට ලබාදීම සිදුකරන්නේ ආහාර තුල සඟවා මත්ද්‍රව්‍ය ඇතුළු බන්ධනාගාර තුලට රැගෙන ඒමට අවසරයක් නොලඳ දේවල් පවා රැගෙන ඒමට අමුත්තන් ලෙසින් පැමිණෙන පාර්ශව කටයුතු කිරීම හේතුවෙනි. මේ ආකාරයට පරීක්ෂා නොකර, එවැනි සීමාවන් නොපනවා, එසේ කටයුතු නොකර බන්ධනාගාර තුල විනය හා ආරක්ෂාව පවත්වා ගැනීම අපහසු කටයුත්තකි. විශේෂයෙන්ම බන්ධනාගාරගතවූවන් බහුතරයක් යම් යම් ඇබ්බැහිවීම් වලට ගොදුරු වූවන් වන අතර එහි සිටින ඇතැම්හු පස් පවින් පවා වැලකුණූ පිරිස් වෙති.
බන්ධනාගාර තුලට රැගෙන එන ආහාර කුඩා සංඝටක වලට කඩා හෝ පරීක්ෂා කිරීමට හැකි නම් එසේ කිරීමට බන්ධනාගාර සේවකයින් කටයුතු කරන්නේ කිසියම් නුසුදුසු දෙයක් බන්ධනාගාර තුලට ගියහොත් සිදුවන හානිය කොතෙකක්දැයි හොදින්ම දන්නා බැවිණී. ඒ නිසාම ආහාර පාර්සලය කූරු ගා බලා (පරීක්ෂණ අවසන් වනවිට ආහාර වේල කලවම්ව පවතී) පරීක්ෂණ සිදුකරයි. ආහාර තුල සඟවා අවි ආයුධ මත්කුඩු ආදිය රැඳවියන් අතරට නොගියාම නොවේ. ඇතැම් විට බන්ධනාගාර නිලධාරීන්ම මෙවැනි අනුමත නොවූ ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට රැගෙන ගිය අවස්ථා මාධ්‍ය වාර්ථාකර තිබුණී.
නමුත් අප අවදානය යොමු කල යුතුව ඇත්තේ රැඳවියාට රැගෙන යන බත් පත, බිස්කට් පැකට්ටුව, වතුර බෝතලය විවෘත නොකර, පේර ගෙඩිය ඇපල් ගෙඩිය නොකපා රැඳවියාට ලබාදීය හැකි ක්‍රමයක් ස්ථාපිත කිරීමටයි. ඒ සඳහා අදාල අංශ එතරම් අවදානයක් නොදක්වන්නේ බන්ධනාගාරගත වූවන්ට සිවිල් අයිතිවාසිකම් අහිමි බැවිණී. සරලවම කිව හොත් චන්ද අයිතිය අහිමිවන බැවිණි. මෑතදී බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ සිනමා රංගන ශිල්පියෙකු මෙන්ම සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ පුද්ගලයාද නිදහස ලැබුණු පසු සිරකරු සුබ සාධනය සම්බන්ධයෙන් යමක් ඉටු නොකිරීම ද ගුජුප්සා ජනක සිදුවීමක්. බන්ධනාගාර විෂය සම්බන්ධයෙන් අමාත්‍යවරු කීපදෙනෙක්ම සිටියද මේ ගැන මෙතෙක් සෘජු අවදානය නොකීරීම ඒ ඒ අමාත්‍යවරුනට රැඳවියන් ගැන අවබෝධයක් නොමැති කමට උදාහරණයකි.
කෙසේ වුවද (වැලිකඩ) බන්ධනාගාර වල බිත්තිවල මාර්ගයට පෙනෙන්නට සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න සදහන්ව තිබුණද ඔවුනට මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කරනවාදැයි යන්න බන්ධනාගාරගත වූවෙකු මිස වෙනෙකකු නොදන්නා තරම්ය. මීට වඩා කාර්ය බහුල ගුවන් තොටුපල වැනි ස්ථාන වල මගීන් ගුවන් ගත වන හා දිවයින පැමිණෙන ස්ථාන වල SCANNER යොදවා සෑම දෙයක්ම පරීක්ෂා කෙරෙන රටේ සිරකරුවනට පහසුවක් වීමට අප පසුබට වන්නේ ඔවුනට එවැනි පහසුකම් කුමකටදැයි හෝ එවැනි පහසුකම් සදහා විශාල මුදලක් වැය කිරීම රටට සෘජු ප්‍රතිලාබයක් නොලබන බැවිණි. (ප්‍රභූ පෙලන්තියේ අයෙකු බන්ධනාගාර වුවහොත් ආහාර වෙනත් ක්‍රම මගින් රැඳවියාට ලැබීමට සලස්වන බව පැවසේ)
ආරක්ෂක හේතු මත ජංගම දුරකථනයක් හෝ කැමරාවක් බන්ධනාගාර තුලට රැගෙන යෑමට අවසර හිමි නොවෙන අතර කැමරාවක් සහිතව මාධ්‍යකරුවෙකු හෝ වෙනත් අයෙකු කිසියම් හෝ කටයුත්තකට අභ්‍යන්තරයට ගියහොත් ඔහු හෝ ඇය සමඟ ආරක්ෂක රැකවලකු අදාල අය ගැන පසු විපරමින් පසුපසින් යනෙනා බැවින් බන්ධනාගාරය තුල ඇති සත්‍ය තත්වය විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම් වරයාවත් නොදන්නා තත්වයක් රට තුල පවතී. එම හේතුවෙන් රැඳවියන්ගේ ආහාර පරීක්ෂා කරන ආකාරයේ ජායාරූපයක් අන්තර් ජාලයේ වත් නොමැත.
බන්ධනාගාරගතවීම වත්මන් සමාජරටාව තුල පසුගාමී තත්වයක් නිසා නිදහස්වන කිසිදු පාර්ශවයක් රැඳවියන්ගේ අභිවෘද්ධිය උදෙසා කිසිදු පියවරක් නොගන්නා සුළුය. එබැවින් සිරකරුවන් යනු මූලික අයිතිවාසිකම් පවා කෘර ලෙස අහිමිව ගිය පිරිසකි. මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිරකරු සුබ සාධන නිලධාරීන් හා පිහිටුවා ඇති සංවිධාන හා නිලයින් දරණ උත්සාහයක් නොමැති තරම්ය. අපේ රටේ බන්ධනාගාර ගතවූවන්ගේ ආහාර හා දියුණු රටවල බන්ධනාගාර ගතවූවන්ගේ ආහාර සහ ඒවා සැකසීම අහසට පොලව මෙනි.
වරෙක මා තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි සුනාමි තත්වයකදී මාතර ඇතුළු මුහුද ආසන්නයේ ඇති සිරකරුවන් ආරක්ෂිත ස්ථාන ගත කිරීම ගැන විමසීමේදී ලද පිලිතුර කුඩා දරුවෙක් ලබාදෙන පිලිතුරක් වැනිය. ඒවා ප්‍රශ්ණයට කිසිසේත්ම ප්‍රායෝගිකව නොගැලපේ. අප සිරකරුවන්ද මනුෂ්‍යයෝය යන්න දැඩි අවබෝධයකින් සිතා කටයුතු කල යුතුව ඇත. බන්ධනාගාර කොමසාරිස් වරුනද දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වුවද, රැඳවියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා නම් මෙකී තත්වය වෙනස්වීමට හැකිව තිබුනේ මිට බොහෝ කලකට පෙරදීය. නමුත් දැන් දැන් හෝ මෙකී තත්වය මානව හිතවාදීව බැලීමට නිලධාරීන්ට සිත් පහල විය යුතුව ඇත. රට තුල පවතින බැරෑරුම් සහගත තත්වය යටතේ අවම වශයෙන් විදේශිය හෝ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපාදන මත මෙවැනි සුබ සාධන කටයුත්තකට අවදානය යොමු කිරීමට වෙසක් මසදී ඔබේ සිත් පහන් වේවා!
මේ දිනවල පවතින අධීක උෂ්ණත්වයද රැඳවියන්ට ඉතාමත් දැඩිව බලපානු ඇත. එවැනි තත්වයකදී නීතිය නවන නිලධාරීන්ගේ අගය රැඳවියන්ට දැනෙනු ඇත.
ජනතාවාදී ප්‍රායෝගික පුද්ගලයින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පමණක් නොව, ජනපති අගමැති ධුර වලට පමණක් නොව, විෂය භාර අමාත්‍ය ධූරයට පත්වන තුරු සිරකරුවනට අවශ්‍ය මෙවැනි මූලික පහසුකම් නොලැබෙනු ඇත.
එරන්දන හේමවර්දන
