ස්වභාදහමේ අපූර්වත්වය දැක බලා ගැනීමට හැකි සංචාරක ගමනාත්තය බෙහෙවින් මේ රට තුල ඇත. ඒ අපූරු ස්ථාන දැක ගැනීමෙන් මානසික සුවයක් ඕනෑම කෙනෙකුට එන බව නම් කිව යුතුම වේ. මෙවර අපගේ travel with Sandu තුලින් සූන්දරත්වයෙන් විදහාපාන කුඩා ගමක් පිළිබඳ තමයි කියන්නේ.

සංචාරකයින්ගේ අවධානය ලබා ගන්නා ආකර්ෂණීය මෙම කුඩා ගම්මානයේ සුන්දර හුදකලා මංපෙත් ඕනෑ තරම් තිබේ. රක්වාන සිට සූරියකන්ද දක්වා කිලෝමීටර් 16 ක දුරක් ඇති අතර මෙම මාර්ගය සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත. ඉතා සෞම්‍ය දේශගුණයක් මෙන්ම මනරම් කඳුවලින් වට වී ඇති මෙම සුන්දර ගම්මානය මීදුම සහිත පරිසරයක් සහිත ප්‍රදේශයක් ලෙසින් හඳුනාගත හැකිය.
ස්ප්රිංවුඩ් වතුයාය හරහා කඳු සහ දිය ඇලි හරහා ද සමහර විට කුඩා දහඅට වංගුව ලෙස හැඳින්වෙන උස් රූස්ස ගස් මැදින් වැළමිට වංගු 10කින් මාර්ගය සකස් කර ඇත.මනරම් තේ වතු සහ දැඩි බෑවුම් සහිත කඳු සහිත මෙම මාර්ගය දෙපස ඇති ස්වභාවික කුඩා දිය පහරවල් වලින් ගලා යන දිය දහරා සුන්දර දසුනක් සපයයි. ඒ වගේම රක්වාන පසු කළ පසු හදපාන් ඇල්ල මෙන්ම තවත් කුඩා දිය ඇලි සහ ජල තටාක කිහිපයක් ද දැක ගත හැකිය.

ඔබ මේ සඳහා රත්නපුර හෝ බදුල්ල ප්‍රදේශයෙන් පැමිණෙන්නේ නම් පැල්මඩුල්ල සිට කහවත්ත හරහා රක්වාන නගරයට පැමිණ රක්වාන සිට සූරියකන්දට පැමිණෙන විට පාරේ දකුණු පස කුඩා තේ වත්තක් මැද නාම පුවරුවක් ඇත. එතැන් සිට එය ඉතා අබලන් දුෂ්කර කඳුකර මාර්ගයකි. ඔබ ගාල්ල, මාතර සිට පැමිණෙන්නේ නම් දෙනියාය හරහා සූරියකන්දට පැමිණ සූරියකන්ද දකුණු ප්‍රදේශයට පැමිණීමට සම්මත මාර්ගයක් ඇති අතර, එම මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට මෙම ස්ථානයට ළඟා විය හැකිය.
කඳු වැටිය දෙසට යාම adventure එකකි. ඒ experience එකක් ලබා ගැනීමට දුෂ්කර මාර්ගය තෝරා ගැනීම සුදුසු වේ. යතුරුපැදි හරහා එය ගමන් කිරීමටද තීරණය කරන්නේ නම් මීටර 500ක් පමණ ගිය පසු තවදුරටත් ඉදිරියට යතුරුපැදිවල යෑමට තරම් මගක් නොමැත. ඒ නිසා මාර්ගයෙන් පයින් ගමන් කිරීමට සිදුවේ. අඩි 5ක් පමණ පළල ගල් වැටි, පස් බොරළු පිරි මාර්ගයේ යෑමට ඇත. ඉන් පසු මනරම් කඳු වැටියක් පෙනෙන අතර එම මාර්ගයේ එම කඳු මුදුනටම යා හැකිය.
මෙම ප්‍රදේශයේ දිවියා, ගෝනා, මුවා මෙන්ම අධික විෂ සහිත සර්පයන් ද සිටින අතර කූඩැල්ලන් ද බෙහෙවින් සිටී. මෙම ගම්මානය සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇති අතර හිමිදිරි පෙදෙස(Morning side) සූරිය කන්ද ඇසුරු කරමින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය හිමිදිරි පෙදෙස(Morning side) ලෙස හඳුන්වනු ලබන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතී ඇති නිසාවෙනි. පරිසරයේ කාලගුණය හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස් වන අතර නිතරම මීදුමෙන් අහසම වැසී ඇති සුන්දර පෙදෙසකි. මෙහි දී හත්මාලේ ඇල්ල , බෝඹුරු ඇල්ල වැනි දිය ඇලි බොහොමයක් මෙම සූරියකන්ද ගම් පෙදෙස තුලදී දැක ගැනීමට හැකිය.
මනරම් සහ සාමකාමී ගම් පියසක් වන මෙය දෙස් විදෙස් සංචාරකයන්ට ද නිදහසේ සංචාරය කිරීමට හැකි ගම් පියසකි. එහි විස්මිත ස්වභාවික සෞන්දර්යය, විවිධ වන සතුන් සහ පොහොසත් ජෛව විවිධත්වයෙන් යුතුව ඇති මනරම් පරිසර භූමියකි.
සටහන – සඳුපමා ගමගේ
