ලංකාවේ නීතිය අනුව ළමයා යනු වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ය. පූර්වාදර්ශ තුළින් සමාජගත වන මෙම දරුවා පිළිබඳව වර්තමානයේ දී අසන්නට දකින්නට ලැබෙනුයේ ශෝචනීය සිද්ධීන් දාමයකි. නිවැරදිව චිත්තවේග කළමණාකරණය කරගත නොහැකිව අසරණ වන දරුවා නිබඳවම සෘණාත්මක චර්යා රටාවකට අනුගත වීම එම කණගාටුවට හේතුවයි. වයස 16ට අඩු පාසල් දැරියන් තම පෙම්වතා සමග ලැගුම්හල් වෙත යෑම, දැරිවියන් ගැබ් ගැනීම, ලිංගික අපයෝජනයට ලක් වීම, මහල් තුනකින් පැන සියදිවි නසා ගැනීම, දැරිවියන් පැහැරගැනීම, දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමු වීම යනාදිය මෙම ව්‍යසනයේ ප්රතිඵලයන් බවට පත්ව ඇත. එබැවින් ශ්‍රී ලාංකේය දරු පරපුර මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීම පිළිබඳව අපගේ අවධානය දැඩිව යොමු විය යුතු යුගයකයි අප ජීවත් වන්නේ.මෙම ව්‍යසනය උග්‍ර වීමට බලපාන හේතු පිළිබඳව සලකා බැලිය යුතු අතර, වග කිවයුතු වැඩිහිටියන් ලෙස මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අප විසින් සලකා බැලිය යුතුමය.
දවසක් මුළුල්ලේ විවිධ වෘත්තීන්හි යෙදෙන දෙමාපියන් රාත්‍රියේ නිවසට පැමිණෙන තුරු දරුවන් තාක්ෂණික මෙවලම් හා උපකරණ හරහා තම කාන්සිය මගහරවා ගනී. දෙමාපියන් නිවසට පැමිණි පසුව ද කායික මානසික අපහසුතාවයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන වැඩකටයුතු හා එදිනෙදා සිදුවීම් පිළිබඳව දරුවා සමග කතා කිරීමට අවස්ථාවක් සලසා නොගනී. ඇතැම් විට මේ නිසා දෙමව්පියන් පිළිබඳව දරුවන්ට ඇති වනුයේ වෛරී සහගත සිතිවිලිය. සෙනෙහස ආදරය ලබාදිය යුතු කාලවකවානුවක අවධානය ආදරය රැකවරණය නොලැබෙන විට දරුවා වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ මෙවැනි අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹේ. සමාජයේ රුදුරුඇස් වලට මේ දරුවා ගොදුරු වන්නේ පවුල තුළ පවතින මෙම අහිතකර අයෝග්‍ය වාතාවරණය නිසාවෙනි.මෙය උක්ත සඳහන් ව්‍යසනයට උග්‍ර කරවන ප්‍රධානතම සාධකයකි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග ප්‍රවණතාවයක් බවට පත්වූ ඔන්ලයින් අධ්‍යාපනය තුළ දරුවාට දුරකථන ලැප්ටොප් හා අන්තර්ජාල පහසුකම් නැතිවම බැරි මෙවලම් බවට පත් වීම දෙවනි කාරණයයි. ගුරුවරුන් ච online හරහා ඉගැන්වීම නිසා පාසල් පද්ධතිය තුළින් ද මේ සඳහා ලැබුනේ රුකුලකි. මුලදී දරුවන් මේ නවීන තාක්ෂණයට හුරු වීමට උත්සාහ ගනිමින් අධ්‍යයනය සිදු කරන ලදී. දෙමව්පියන්ගේ ද නිරන්තර අවධානය මේ සඳහා යොමු විය.නමුත් පසුකාලීනව මෙම මෙය සාමාන්‍යකරණය වීමත් සමඟ සමග දරුවා නිදහසේ අන්තර්ජාලය නැරඹීමට අවස්ථාව හිමිකර ගත් අතර දෙමාපියන්ගේ අවධානය ද ටිකෙන් ටික ගිලිහෙනු දක්නට ලැබිණ. පාලනයකින් තොර සමාජ ජාලා හරහා නොගැලපෙන ලිංගික ඡායාරූප හා වීඩියෝ නැරඹීමට දරුවා ආකර්ෂණය වූයේ නොදැනුවත්වම ය. කුතුහලයෙන් පිරි දරුවා මෙවැනි දේ ප්‍රායෝගිකව අත්හදා බැලීමට පෙළඹෙන්නට විය. මේ සඳහා විවාහක අවිවාහක ඕනෑම පිරිමි පුද්ගලයකු තෝරා ගැනීම මෙහි භයානක ප්‍රතිඵලය විය.නවීන පන්නයේ දුරකථනය ඉස්තරම් වර්ගයේ ඇඳුම් සපත්තු නවීන මෝටර් රථය ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාවක් තරම් චොකලට් වූ රන් ආභරණයක් යනාදිය මෙම ගනුදෙනුවට ප්‍රමාණවත් විය.
නිරතුරුවම මාධ්‍ය තුළ නරඹන ටෙලිනාට්‍ය හා රූප රචනා නිසා සිහින ලෝකවල ජීවත් වෙන ලාංකීය දුවාදරුවන් පැය කිහිපයක් දින කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ඉහතින් සඳහන් කළ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගනී. උපරිම විශ්වාසයෙන් තම සහකරු සමඟ ලිංගිකව එක්වීමට තානායම් කරා යන දරුවන්ට අවසානයේදී අත්වෙන්නේ දැරිය නොහැකි ඉරණමකි.

ලිංගික අධ්‍යාපනය පිළිබඳව පාසල් විෂය නිර්දේශය තුළ ප්‍රමාණවත් පරිදි සුදුසු වයස් සීමාවන් තුල ඇතුලත් කර නොතිබීම මෙම ව්‍යසනයට තවත් හේතු සාධකයකි. විෂය නිර්දේශය ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන කාලච්ඡේදය තුළ ශිෂ්‍යයාගේ පැවැත්මට අවශ්‍ය සාමාජීය දැනුම ලබා දීමටවත් ගුරුවරයාට ප්‍රමාණවත් කාලයක් නොමැති වීමෙන් මෙය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත.විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ දහම් අධ්‍යාපනයට පවා යොමු නොවන දරුවාගේ ආධ්‍යාත්මික කුසලතා වර්ධනයට අවස්ථාවක් සලසා නොගැනීම මෙහි තවත් සෘණාත්මක පැතිකඩකි.මේ නිසා දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වන අතර ඒ වටා ගොනුව ඇති අනෙකුත් සාදාචාරාත්මක නොවන ක්‍රියාකාරකම් හි නිරත වෙති
මෙවැනි බාල අපරාධ සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවීම නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම හා ඒ සදහා පවතින දේශපාලන අධිකාරියේ බලපෑම මෙම ව්‍යසනය අඛණ්ඩ පැවැත්මට හේතු සාධක වේ.මෙවැනි සිද්ධීන් පිළිබඳව සමාජ මාධ්‍ය හා රූපවාහිනිය මාධ්‍ය මගින් දිගින් දිගටම සිදු කරන හෙළිදකරන හෙළිදරව් කිරීම් තුල වැරදි පුරුදු දර්ශයක් ලබන දරුවා මෙවැනි දේ සඳහා ස්වයං පෙලඹවීමක් සිදු වනු දක්නට ලැබේ.
ළමා අයිතිවාසිකම් සම්බන්ධව දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම,පවතින නීති නිවැරදිව ක්‍රියාත්මක නොවීම,දේශපාලන මැදිහත්වීම් මත නීතියේ රැහැනට හසුවන පුද්ගලයන් නිදහස් වීම මෙම ව්‍යසනය අඛණ්ඩව වර්ධනය වීමට තවත් හේතුවකි.
ඉහත ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව අවදානය යොමු වී ඇති අතර මේ වන විට රජයේ යම් යම් මැදිහත්වීම් ද සිදුවෙමින් පවතී. එය සාධනීය ප්රවණතාවයකි.දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම අනිවාර්යය කිරීම ,පෙර පාසැල් දරුවන්ගේ සිට සුදුසු වන පරිදි ලිංගික අධ්‍යාපනය ලබා දීම ඒ අතර පැසසිය යුතු යෝජනාය.මීට අමතරව දරුවන් කෙරෙහි දෙමාපිය අවධානය ,රැකවරණය ,ආදරය, සෙනෙහස, සහානුකම්පනය වැඩි කිරීම, පාසල හා වෙනත් පොදු ස්ථානවල දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම වැඩිහිටියන්ගේ පරම වගකීම බවට පත් විය යුතුය.තමාගේම දරුවන් නොවූවත් සමාජයේ සියලුම දරුවන් තමාගේ යැයි සිතා කටයුතු කිරීම වගකිවයුතු වැඩිහිටියන්ගේ වගකීමකි.රටේ අනාගත දරු පරපුර බේරා ගැනීමට පාසැල් මට්ටමින් දරුවන් හා දෙමව්පියන් ඉලක්කගත කර වැඩසටහන් සංවිධානය කළ යුතුය.සමාජ මාධ්‍යය හා රූපවාහිනී මාධ්‍ය හරහා මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දිය යුතුය.ඒ අනුව පවතින රජයට පමණක් මේ සඳහා තනිව සටන් කළ නොහැක.මෙය ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකීය සමස්ත ජනතාවම අත්වැල් බැඳගත යුතුව ඇත.එවිට යහපත් හෙටක් උදා වනු නිසැකය.
සටහන –
සකුන්තලා රැටියල
