2022 වසරේ ඇති වූ සමාජ ආර්ථික අර්බුදය හමුවේ උග්‍ර වූ ප්‍රධාන ගැටලුවකි ළමා මන්දපෝෂණය. පෝෂණය ලබා ගැනීමේදී පවතින ඌණතාවයන් හෝ අධි පෝෂණ මට්ටම්, හෝ අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයන්ගේ අසමතුලිතතාවයන් මන්දපෝෂණය යන්නෙන් අදහස් වේ. මෙම තත්ත්වය මානව ප්රාග්ධනයේ ඵලදායීතාවය මත සෘජු බලපෑමක් ඇති කරන අතර එය දිගුකාලීනව ආර්ථික වර්ධනය පසුගාමී කරවන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සියයට 20ක් ආසන්නයේ පවතින අතර 1986 සිට ක්‍රියාවට නංවන ලද පෝෂණ වැඩසටහන්වල දුර්වලතා හා දිගුකාලීනව පවතින ආදායම් විෂමතා හේතුවෙන් ළමා මන්දපෝෂණය දුරලීමෙහිලා අත්කරගෙන ඇති ප්‍රගතිය මන්දගාමී මට්ටමක පවතී.එබැවින් පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය තුරන් කරලීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත.
මේ දක්වා පැවැති රජයන් විසින් මන්දපෝෂණය දුරලීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හදිසි සමාජ ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් මේ සම්බන්ධයෙන් දැනට පවතින වැඩසටහන් වල දුර්වලතා සඳහා විසඳුම් යොදමින් කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්ති සම්පාදනය අත්‍යවශ්‍ය වේ.ඒ සඳහා සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාත්මක කිරීම, දැනට පවතින වැඩසටහන් පුළුල් කිරීම වැනි කෙටි කාලීන විසඳුම් මඟින් ආහාර මිල ගණන් ඉහළ යෑමෙන් ආදායමට වන බලපෑමට විසඳුම් ලබාදිය හැක. අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සුබසාධන වැඩසටහන් ක්‍රමවත්ව ඉලක්ක ගත කළ යුතුය. රාජ්‍ය මූලිකත්වයෙන් කරන පෝෂණ මැදිහත් වීම් සඳහා රාජ්‍ය මූල්‍ය සීමිත අවකාශයක් හමුවේ අවදානමට ලක්විය හැකි අංශවල කුසගින්න අවම කිරීමට මිත්‍ර රටවල ආධාර සපයන නියෝජිතායතන සමඟ පාරදෘශ්‍ය තාවයකින් යුතුව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රජා මුළුතැන්ගේ වැනි ප්‍රජාපාදක වැඩසටහන මඟින් ඌණ පෝෂණයට හේතු වන ගැටලු බොහොමයකට විසඳුම් දෙන පොදු වේදිකාවක් නිර්මාණය කර ප්‍රවර්ධනය කළ යුතුය.එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් දක්වා ඇති මාතෘ හා ළමා පෝෂණය වැඩි දියුණු කිරීමේ දිගු කාලීන උපායමාර්ග ලෙස ආහාර සැපයුම් පද්ධති ,සෞඛ්‍ය පද්ධති ,ජල හා සනීපාරක්ෂක පද්ධති, අධ්‍යාපන හා සමාජ ආරක්ෂණ පද්ධති මත පදනම් ව ක්‍රියා කළ යුතුය. පවුල් සඳහා වඩාත් පෝෂණීය ආහාර තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. දැරිය හැකි මිලක් යටතේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට රටේ ආහාර පද්ධතිය පරිවර්තනය කළ යුතුය.
නවෝත්පාදන හා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඉහළ නැංවීම හා සමගාමීව කෘෂි අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, පසු අස්වනු හානිය අවම කිරීම, කෘෂි අංශයේ එකතු කළ අගය ඉහළ නැංවීම, පුළුල් පරාසයක ආහාර ප්‍රභේද වර්ධනය, සමෝධානික බෝග වගාව ප්‍රචලිත කිරීම, කාලගුණයට ඔරොත්තු දෙන ආහාර බෝග හඳුන්වාදීම, ආනයන රැඳියාව අඩු කිරීම, කෘෂි අංශයේ සහනාධාර හා බදු ප්‍රති තුලනය කිරීම, හදිසි ආහාර අර්බුද තත්ත්වයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් පරිදි ආහාර ස්වාරක්ෂක තොගයක් පවත්වාගෙන යෑම යනාදිය සිදුකළ යුතුය.
මහජනතාවට හිතකර පෝෂණ පිළිවෙත් දියුණු කිරීමට දායක වීමට අමතරව සෞඛ්‍ය අංශය පෝෂණ සේවාවන් සඳහා ප්‍රවේශය පුළුල් කළ යුතුය. වඩාත් අවදානම් ප්‍රජාවන් සඳහා මූලික පෝෂණ package හදුන්වා දිය යුතුය. කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමටත් එතුලින් නව ආදායම් උත්පාදන ව්‍යාපෘති පුළුල් කිරීමෙන් කුටුම්බවල පෝෂණ අවදානම් මගහරවා ගැනීමටත් ක්‍රියාකළ යුතුය.
ආර්ථික අර්බුදය මධ්‍යයේ ළමා මන්ද පෝෂණයට අදාළ ව නිර්මිත අවදානම් වල පුළුල් හා දිගු කාලීන බලපෑම සැලකිල්ලට ගනිමින් ලංකාවෙන් ළමා මන්දපෝෂණය තුරන් කරලීමට ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කළ යුතුය. මේ සඳහා සෞඛ්‍ය පද්ධතිය හා ආහාර සැපයුම් පද්ධතිය ඇතුළු ආර්ථිකයේ සියලුම සියලුම පාර්ශවකරුවන්ගේ සාමූහික ප්රයත්නය ඉතා වැදගත්ය. එවිට පවතින පෝෂණ වැඩසටහන් වල ධාරිතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට හැකි වනු ඇත. එමගින් පෝෂණය සඳහා ළමුන්ට ඇති අයිතිය සුරක්ෂිත කරලීමට දත්ත කේන්ද්‍රීය කරගත් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සහතික කළ හැක.
සටහන –
සකුන්තලා රැටියල
