නළුවෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිස අද වනවිට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව මනා ලෙස හසුරුවමින් සිටින සොඳුරු කලාකරුවෙකුට මම අද කතාබහට ආරාධනා කළා. වෙස්, හේලි, දාම්, කියාදෙන්න ආදරේ තරම්, Bio නාට්‍යයන් අධ්‍යක්ෂණය කළ ඔහු, නමින් ධනුශ්ක රත්නායක යි. මේ ඔහු අප සමග ඔහුගේ කලා ජීවිතය ගැන දැක්වූ අදහස් ය.

කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?
මේ දවස් වල Bio ටෙලිනාට්‍යයේ අවසාන සීසන් එකේ රූගත කිරීම් වල නිරත වෙනවා. ඊට අමතරව අලුතින් අධ්‍යක්ෂණය කරන C.U ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සූදානම් වෙනවා. ඒ දෙකට අමතරව, රංගන ශිල්පියෙකු ලෙස එක් චරිතයක් සඳහා මේ වෙද්දි සූදානම් වෙමින් ඉන්නවා.
වඩාත්ම කැමති රංගනයට ද? අධ්‍යක්ෂණයට ද?
මම ක්ෂේත්‍රයට පිවිසුණේ රංගනයෙන්. ඒ නිසා මට රංගනය ගැන විශේෂ ඇල්මක් තියෙනවා. හැබැයි මම පුද්ගලිකව වඩාත් කැමති කතන්දර කියන්නට. ඒ නිසා මං හිතනවා මම වඩා අධ්‍යක්ෂණයට කැමතියි කියලා..
නිවේදකයෙක් වෙන්න ආස කරපු ඔබ අද අධක්ෂකවරයෙක්.ආපු ගමන් මග ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම සතුටුයි. මේ ආපු ගමන් මග දිහා ආපහු හැරිලා බලද්දි, මේක සුව පහසු ගමනක් නෙවෙයි. බාධක දුෂ්කරතා රැසක් මැද්දෙ තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම ඒක පුද්ගලිකව කට්ටක් විදියට දකින්නෙ නෑ. මොකද තමන් ආස දේ වෙනුවෙන් කැපකිරීම් කිරීම කියන්නේ කට්ටක් වෙන්න විදිහක් නැහැ. නමුත් ආපහු හැරිලා බලද්දී ලොකු සතුටක් තිබෙනවා.

ඔබේ මුල්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය “මෞනයාගය” ඒ ගැන කිව්වොත් ?
ඔව් මෞනයාගය මගේ පළමු අධ්‍යක්ෂණය. ආපහු හැරිලා බලද්දි ඒ ගැන මට විශේෂ සතුටක් තියෙනවා. ඒත් එක්කම ඒ කාලෙ හිටපු ධනුෂ්ක රත්නායකට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියන එකත් දැනෙනවා. හැබැයි ඕනම ගමනක පළමු පියවර තමා වැදගත්ම පියවර. ඒ නිසා මෞනයාගය ගැන මම සිහිපත් කරන්නේ ඉතා ආශාවෙන්.
ඔබ තුළ සිටින දක්ෂ ඡායාරූප ශිල්පියා ඔබ තුළින් මග හැරිලද?
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසීමත් එක්ක, ඡායාරූපකරණය යම්තාක් දුරකට මග හැරුණා. ඕනම ශිල්පයක දක්ෂතා දක්වන්නට නම්, සතතා අභ්‍යාසය කියන්නේ අනිවාර්ය දෙයක්. මමත් කැමති නැහැ මා තුළ සිටින ඡායාරූප ශිල්පියා වියැකී යනවට. ඒ නිසා නැවත ඡායාරූප ශිල්පය කෙරෙහි අවධානයක් යොමු කරන්න ඕන කියලා මට හිතෙනවා.
ඔබේ “වීණාවී ” නාට්‍ය පාසල පිළිබඳව කතා කරමු.
වීණාවී නාට්‍ය පාසලේ මූලික අරමුණ තිර මාධ්‍ය සඳහා රංගන ශිල්පීන් බිහි කිරීම. දක්ෂතා දක්වන ශිල්පීන්ට අවස්ථාව ලබා දීම ද සිදු කරනවා. මේවනවිට නාට්‍ය පාසලේ කටයුතු ඉතා හොඳින් සිද්ධ වෙමින් තියෙනවා. මේ දිනවල මගේ ටෙලි නාට්‍ය කිහිපයකම නාට්‍ය පාසලේ ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂතා බලා ගන්න හැකියාව තියෙනවා. මං හිතනවා නාට්‍ය පාසල සඳහා හොඳ ඉල්ලුමකුත් මේ වෙද්දි ඇතිවී තියෙනවා කියලා.

ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ ඔබේ අදහස මොන වගේ ද?
ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන මට තියෙන්නේ මිශ්‍ර අදහසක්. ඉතා හොඳ ටෙලිනාට්‍ය බිහිවෙන අතරතුරම, ගුණාත්මකභාවයෙන් අඩු ටෙලි නාට්‍යයක් බිහි වෙමින් තිබෙනවා. නමුත් තරුණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්, වෙනස් මානයන් ඔස්සේ වෙනස් ආකාරවල කතන්දර ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරමින් ඉන්න අයුරු අපිට දැකගන්න ලැබෙනවා. ඒ නිසා මම ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ අනාගතය ගැන අසුබවාදී චිත්‍රයක් දකින්නේ නැහැ. මං හිතන්නේ අපි තවදුරටත් ශානරීය ටෙලි නාට්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එය දැන් ආරම්භ වී තිබෙනවා.
ඔබ සිතන ආකාරයට ලංකාවේ නාට්‍ය කලාවේ වෙනස් විය යුතු තැන් මොනවාද?
මං කලිනුත් සඳහන් කලා වගේ, එකම වට්ටෝරුවේ ටෙලිනාට්‍ය වෙනුවට විවිධ ශානර වල වෙනස් හැඩතලයන් ගත් නිර්මාණ බිහිවීම මීට වඩා සිද්ධ විය යුතුයි. ඒ වගේම ටෙලිනාට්‍ය ශිල්පීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන ආකාරයෙන් කර්මාන්තමය ලෙස ප්‍රමිතිගත විය යුතුයි.
සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවක් තියෙනවද?
අනිවාර්යෙන්ම සිනමාවට අවතීර්ණ වීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා තිර පිටපත් කිහිපයක් ද මේ වෙද්දි සූදානම් කරගෙන ඉන්නවා. මං හිතන්නේ වැඩිකල් නොගොස් මගේ සිනමා නිර්මාණයක් දැක ගැනීමට හැකි වේවි.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?
මුලදී සඳහන් කළ ආකාරයට,Bio ටෙලි නාට්‍යයේ අවසාන අදියර තමා මේ වෙද්දී රූගත වෙමින් තිබෙන්නේ. ඊට පස්සේ C.U නමින් ටෙලි නාට්‍යයක රූගත කිරීම් ආරම්භ වෙනවා. තිලංක නිරංජන බංඩාරගේ පිටපතකට රූගත කිරීම් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා.
සංවාදය
පෙවින්ද්‍යා රශ්මි
