හීං මදුරුතලා (Ocimum tenuiflorum)
දේශීය ඖෂධීය ශාක අතරින් පඳුරක් ආකාරයට වර්ධනය වන හීං මදුරුතලා ඉතාමත් කුඩා ශාකයකි. Lamiaceae කුලයට අයත් මෙම ශාකයෙහි වර්ග 160ක් පමණ ඇති අතර ප්‍රධාන වශයෙන් මහ මදුරුතලා (Ocimum gratissimum) සහ හීං මදුරුතලා (Ocimum tenuiflorum) යනුවෙන් වර්ග දෙකක් ඇත. මෙය හින්දු භක්තිකයින් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි.

සියළු මදුරුතලා ශාකවල ඇති වාෂ්පශීලී සුගන්ධ තෙල් නිසා ආවේණික සුවඳක් ඇත. වාතය පිරිසුදු කිරීමේ සුවිශේෂී ගුණයක් පවතින හෙයින් මෙය නිවෙස් ආශ්‍රිතව බහුලව රෝපණය කරන අතර මදුරු විකර්ශක හා විශබීජනාශක වේ.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පමණක් නොව සිද්ධ, යුනානි වැනි වෛද්‍ය ක්‍රම තුළ ද භාවිතා වන මෙම ඖෂධය විශාල පරාසයක රෝග සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි. ඒ අනුව මැලේරියාව, ජ්වර, ශ්වසනනාල ප්‍රදාහ, ඇසේ සුද, අම්ලපිත්ත, හෘදරෝග, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්රිත රෝග, රුමැටික් රෝග, කාංසාව, කැස්ස, හතිය, අජීර්ණ, ආතරයිටිස්, ප්‍රවාහිකා, හික්කාව, වමනය, බඩේ කැක්කුම්, කොන්ද කැක්කුම්, වට පණු රෝගය හා චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරයි. දේශීය වශයෙන් ගෙඩි-වණ හා සර්පවිෂ චිකිත්සාවේදී මෙම ශාකය බහුලව යොදා ගෙන ඇත.

2023 දී ප්‍රකාශිත Herbs, Spices and their Roles in Nutraceuticals and Functional Foods ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මෙම ශාකයට ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රති ආසාත්මිකතාව, විශබීජනාශක, ව්‍රණනාශන, වේදනානාශක, පිළිකානාශක, ජ්වරහර, රුධිර පීඩන යාමන, ආතතිය නැති කිරීමේ හැකියාව, දියවැඩියා මර්දන, ප්‍රතිශක්තිමූර්ඡක යන හැකියාවන් ද හෘද් – ආමාශ – අක්මා – වකුගඩු ආරක්ෂක ගුණ ආදී හැකියාවන් ද ඇති බව පෙන්වා දී ඇත. මෙම ශාකයේ ඉහත භාවිතයන් බොහෝමයක් පර්යේෂණාත්මකව තහවුරු කර ඇත.
2019 ප්‍රකාශිත Nutraceuticals and Natural Product Pharmaceuticals ග්‍රන්ථයේ Optimizing Performance Under High-Altitude Stressful Conditions Using Herbal Extracts and Nutraceuticals පර්යේෂණ පත්‍රිකාව අනුව මෙහි ඇති ගුණ මඟින් මානසික ආතතිය පාලනය කළ හැකි බව දක්වා ඇත. 2021 හි ප්‍රකාශිත Stem Cells and Aging කෘතියෙහි Traditional medicine for aging-related disorders: Implications for drug discovery පර්යේෂණ පත්‍රිකාව අනුව මෙහි ඇති රසායනික සංයුතිය හා ප්‍රතිඔක්සිකාරක හැකියාව හේතුවෙන් සමේ තෙතමනය පවත්වා ගැනීම, සම රැළි වැටීම අඩු කිරීම, සම මෘදු කිරීම සිදු කරන අතර ප්‍රදාහාත්මක තත්ව වලදී මෙන්ම තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමටත් මෙම ශාකය භාවිතා කළ හැකි බව දක්වා ඇත.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
