ලාංකීය කලාව තුළ බොහෝ දෙනා අතර නිරන්තර කතාබහ කෙරෙන කලා තරු අතරින් විටෙක ගායන ශිල්පියෙක් ලෙසත් තවත් අවස්ථාවක සමාජ සුබසාධන කටයුතු වලත් මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසත් කටයුතු කරන බොහොම සුවිශේෂී පුද්ගලයකු අද අපට මුණගැසුණා.
“මට ඔයා මගේ පණ වගේ ළඟ නැතත් මගෙ ළග වගේ” ප්‍රේක්ෂක ආදරය දිනා ගත් මේ ගීතය නිර්මාණය වී අවුරුදු 13ක කාලයක් ඉක්මව ගොස් ඇති නමුත් අදටත් සැමගේම හදවතේ රැඳි ගීතයක් බවට එය පත් කිරීමට එහි ගායකයා සමත් වී තිබීම ඉතාමත් සුවිශේෂයි.
ඉතින් මෙවර මා කතාබහට ආරාධනා කළේ ඒ සොඳුරු කලා තරුවටයි. ඔහු නමින් සමීර වීරවර්ණ යි.
කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?
ඉතාමත් හොඳින් කාලය ගත වෙනවා. ගොඩක් අයගේ ආදරය ලබමින් ව්‍යාපාර කටයුතු, සංගීත කටයුතු වගේම සමාජ සේවාවන් ඉතාමත් හොඳින් කරගෙන යනවා.

ඔබ අලුතින් release කළ ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
අලුත්ම ගීතය “ෂූරප්පර”.ඒක මගේ දෙවෙනි ගීතය. ෂූරප්පර කියන්නේ මට ආදරය කරපු කෙනාට කියපු නම.ඒ ගීතයට වඩාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “මට ඔයා මගේ මගෙ පණ වගේ” ගීතය වගේම ගොඩක් අය ෂූරප්පර ගීතයටත් ආදරය කරනවා පිටරටින් පවා මට සුභ පැතුම් වෙනවා.මේ ගීතය නිසා ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.මම හිතනවා මේ ගීතය නිසා කාලයක් තිස්සේ අහිමි වෙලා තිබුණු ජනප්‍රියත්වය නැවත හිමි වීම වගේම අහිමි වුණු ආදරය ජනතාවගෙන් නැවත ලැබීම කියන කාරණා ෂූරප්පර ගීතය හරහා සිදු වුණා කියලා.

ඇතැම් නිර්මාණ කල්ගත වෙත්ම රසිකයන්ට අමතක වෙනවා. නමුත් ඔබේ “මට ඔයා මගෙ පණ වගේ” ගීතයට තවමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඔබ හිතන විදිහට ඒ ඇයි?
“මට ඔයා මගෙ පණ වගේ” ගීතය නිර්මාණය වෙලා දැනට අවුරුදු 13 ක් වගේ ගතවෙනවා.ටීවී රේඩියෝ වල අදටත් ජනප්‍රිය ගීත ලැයිස්තුවේ මේ ගීතය Play වෙනවා.එයට හේතුව නම් මටත් හිතාගන්න බැහැ.ඒක මගේම ජීවන අත්දැකීමක් ආශ්රයෙන් නිර්මාණය වූ ගීතයක්.මේක ගීතයක් විදිහට ලොවට දායාද කරනවට වඩා මම මගේ ආදරවන්තිය වෙනුවෙන් ලියූ ගීතයක්.එයත් හේතුවක් වෙන්නට ඇති ඒ ගීතය මෙච්චර කල් පවතින්නට.
ඔබ අවුරුදු 10න් පහළ cancer රෝගී දරුවන් සඳහා සිදුකරන ඒ සමාජ සේවාව කුමක්ද?
අවුරුදු 10න් පහළ cancer තියෙන පුංචි බබාලට cancer hospital එකේ කිමෝ ප්‍රතිකාර කරනවා. එහිදී එයාලගේ කට ඇතුළේ අසාත්මිකතා වගේ තුවාල ඇතිවෙනවා. එවිට එයාලා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශය වෙන්නේ කැඳ වර්ග සහ පිටි වර්ගයක්. කැඳ වර්ග hospital එකෙන් ලබා දෙනවා. නමුත් නිර්දේශිත පිටි වර්ගය මිල අධික වෙනවා. සතියක් පාවිච්චි කළ හැකි පිටි ටින් එකක් රුපියල් 4660ක් වෙනවා. මේ පිටි ටින් ලංකාවේ මිලදී ගන්න අඩුයි.
එක අම්මා කෙනෙක් ආවා, ඒ දරුවාට පිටි එක දෙන්න කියලා අවුරුදු 2ක් වෙනවාලු. ඒත් අවුරුද්දටම එක පිටි එකක් වගේලු ගන්න ලැබුණේ. ඉතින් මම තවත් කිහිප දෙනෙකුත් එකතු කරගෙන මේ පිටි ටින් ලබා දීම සිදු කරනවා සමාජ සත්කාරයක් විදිහට .ගොඩක් වෙලාවට උදේට මගේ ව්‍යාපාරික ස්ථානයට වයස අවුරුදු 10න් පහළ පුංචි දරුවෝ එයාලගේ අම්මලත් එක්ක ඇවිත් ඉන්නවා පිටි ටින් අරගෙන යන්න. මම සාමාන්‍යයෙන් එක් අයෙකුට අවම මාස දෙකකට සෑහෙන්න රුපියල් 20,000ක පමණ කිරි පිටි පැක් එකක් ලබා දෙනවා. මම හිතනවා අපි රැස්කරගත දේ මේ විදිහට බෙදලා දෙන්නත් ඕනේ කියලා. ඒක එක්තරා ආකාරයකට මේ ආත්මයට නැතත් ලබන ආත්මයට හරි එකතු කරගන්නා වූ පින් කුසලයක්.
සමාජ සුබසාධන කටයුතු වල නිරත වීමට විශේෂ හේතුවක් තියෙනවද?
වර්තමානයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මගේ සුභසාධන කටයුතු දැක්කට මම ඒවායේ නිරතවන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. මේක සෑහෙන කාලයක ඉඳන් සිදුවෙන දෙයක්. මට මුදල් නොමැති කාලයේ අනෙක් අය සුබසාධනයේ යෙදෙනවා දැකලා මම සතුටු වුණා.දැන් මම යම් ස්ථාවරයකට පැමිණ තිබෙනවා. ඒ නිසා ඒවා සිදු සිදුකරගෙන යාමට මට හැකියාවක් තියෙනවා. නැති කෙනාට ඇති කෙනා තමාට හැකි අයුරින් ඉතුරු කර ලබාදෙන විට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. ලෝකය ලස්සන කරන්න මම කරන වෑයමක කොටසක් විදියට තමයි මම මේ සමාජ සත්කාර හඳුන්වන්නේ.

වර්තමාන සමාජය තුළ බොහෝ පුද්ගලයින් සමාජ සේවයේ යෙදෙනුයේ ජනප්‍රිය බව උදෙසා. ඔබ ඒ ගැන දරන මතය?
සාමාන්‍යයෙන් කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්.සමාජ සුභසාධනය කරන්නේ ජනප්‍රියත්වය උදෙසා ද?එයින් පසුව ඡන්දය ඉල්ලීම සඳහා ද? කියල. කාට හරි එහෙම හිතෙනවා නම් ඒක සාධාරණයි ඒක එකිනෙකාගේ දැක්ම අනුව තීරණය වන දෙයක්.පොඩි කාලේ අපි අහලා තියෙනවා පිං පොත් ලියනවා කියලා.දුටුගැමුණු රජතුමා පවා පිං පොතක් ලියලා තියෙනවා. එදිනෙදා තමන් කරන පින් පොතක සටහන් කරගෙන මරණ මංචකයේදී ඒක කියවනවා.ජීවිතයෙන් කවදාක හරි සමුගන්න ලැබෙන අවස්ථාවක ඉතාමත් සැනසීමෙන් සමුගන්න පිං පොතක ලියනවාට වඩා මම කැමතියි ඒවා FB එකේ Share කරගන්න.එයින් ගොඩක් අයට ඒ පින් අනුමෝදන් කරගන්නත් ලැබෙනවා.ගොඩ දෙනෙකුගේ මතය තමා පේන්න පින් කරන්න ඕනේ නෑ කියන එක. හැබැයි මගේ තර්කය තමයි අපි හංග හංග පින් කරන්න ඕනෙ නැහැ කියන එක. ගොඩක් අය හංග හංග කරන්න ඕන දේවල් පේන්න කරලා, පේන්න ඕන දේවල් හංග හංග කරනවා.කවදාහරි ජීවිතයෙන් සමුගන්න දවසකට මට පින් පොතක් කියවන්න ඕන වුණොත් මම කරන්නේ මගේ FB එක බලන එක.අනෙක් අරමුණ තමයි මගේ මේ දේවල් බලලා තව අයව පිනට යොමු කරන එක.අපේ ව්‍යාපාරික ප්‍රජාව මම මේ කරන දේවල් දැකලා,ඒ අයත් තව වැඩි වැඩියෙන් මේවා සිදු කරන්න පටන් ගත්තොත් ඒක දුප්පත් මිනිසුන්ගේ විශාල ජයග්‍රහණයක් කියල කියල මම හිතනවා.
ඔබේ ව්‍යාපාර කටයුතු ගැනත් කියමු.
මම සමීර ඔටෝ ට්‍රේඩර්ස් නමින් කාර් සේල් තුනක් නුගේගොඩ හා කොහුවල අවට පවත්වාගෙන යනවා.ලියාපදිංචි කරන ලද වාහන මගේ ආයතනයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
දියුණු වෙන්න ආසාවෙන් ඉන්න තරුණ තරුණියන්ට දෙන්න තියෙන පණිවුඩය කුමක්ද?
මේ ලෝකේ කවුරුත් ඉපදෙනම විට දියුණු වෙලා උපදින්නේ නැහැ. ගෙනාපු දෙයකුත් නැහැ. හැබැයි ලෝකය හැර දාලා යන දවසට ඒ උත්තරයම අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. දියුණු වෙන්න ආස කෙනෙක්ට මම මෙහෙම කියන්නම්. කෙනෙකුට අවශ්‍යයි නම් දියුණු වෙන්න එයාගේ හිතේ නිතරම තියෙන්න ඕනේ දියුණු වෙන්න ඕනා කියලා. හරියට ගැහැනු ළමයෙකුට ආදරය කරන පිරිමි ළමයෙකු ඒ ගැහැනු ළමයව ලබාගන්න ඕනා කියලා නිතර නිතර හිතලා අවසානයේ දී කොහොමහරි ලබාගන්නවා වගේ. අන්න ඒ වගේ තමාට අවශ්‍ය දේ තමාගේ හිතේ තියෙන තියෙන්න ඕනා. ඒක උදේටත් දවල්ටත් රෑට නින්දෙදිත් මෙනෙහි කරන්න ඕනා.දියුණු වෙන්න ඉන්න කෙනෙක් තමන් ලඟ තියෙන ආදායම වැඩි කරගන්න ක්‍රමයක් ගැන හෝ වියදම අඩුකරගන්න ක්‍රමයක් ගැන හිතන්න ඕනා. ඒක තමා දියුණු වෙන්න කෙනෙකුගේ Basicම ක්‍රමය.

ඔබේ ඉදිරි කලා වැඩකටයුතු මොනවාද?
අලුත්ම ගීතයක් නිර්මාණය කරන්න මට කාලය ලැබිලා තියෙනවා. “කඳුළු හිනැහුණ ඒ කතාවේ” කියලා මගේ ජීවන අත්දැකීමක් ඇසුරින් මම ලියපු ගීතයක්.ඒ සඳහා මෙලඩියත් මම නිර්මාණයකොට අවසන්. දැන් එහි වීඩියෝ නිර්මාණය පිළිබඳව චාරුක දුෂ්මන්ත එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. එහි සංගීත කටයුතු සුගත් හෙට්ටිආරච්චි විසින් නිර්මාණය කළා. තව නොබෝ කාලයකින් කඳුළු හිනැහුන ඒ කතාව මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන්.මගේ යහළුවන් හමුවුණාම මම ගායනා කරන ගීත අතර ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරය තියෙන ගීතය ඒක.ඉතින් මම ඒ ගීතය එළිදක්වන්න ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
සටහන
පෙවින්ද්‍යා රශ්මි.
