“A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ අද තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ ලාංකේය ජනතාවගේ අත මිට සරු කරවන අර්තාපල් වගාව පිළිබඳව යි.

අර්තාපල් යනු ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාරයක් මෙන්ම බෝගයක් වේ.ඒ නිසා මෙහි විශේෂ වැදගත්කමක් තිබේ. ලංකාවේ නුවර එළිය ප්‍රදේශයේ වසරකට හෙක්ටයාර 5000ක පමණ අර්තාපල් වගාව සිදුකරනු ලබන අතර මීට අමතරව තවත් හෙක්ටයාර 3000ක පමණ ලංකාවේ වෙනත් ප්‍රදේශ වල ද වගාකෙරේ. ඒ අනුව ලංකාවේ සමස්ථ අර්තාපල් නිෂ්පාදනය හෙක්ටයාර 8000 ක් පමණ වේ. මෙම ප්‍රමාණය ලංකාවේ සමස්ථ පරිභෝජනය සදහා ප්‍රමාණවත් නොවේ. සාමාන්‍යයෙන් ලංකාවේ පරිභෝජනයට වසරකට අර්තාපල් මෙට්‍රික්ටොන් 23000ක් පමණ අවශ්‍යවේ. මේ අනුව අර්තාපල් මෙට්‍රික්ටොන් 15000ක් පමණ වසරකට විදේශයෙන් මෙරටට ආනයනය කෙරේ.කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය සමග එක්වී හැකිතාක් අර්තාපල් ආනයනය කිරීම සීමාකරමින් මෙරට තුලම අවශ්‍ය තරම් අර්තාපල් නිෂ්පාදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.
එමෙන්ම මෙතෙක් කාලයක් අර්තාපල් කියූ සැනින් මතකයට නැගෙන්නේ සීතල කදුකරයේ නුවරඑළිය, වැලිමඩ වැනි ප්‍රදේශවල සරුසාර ලෙස සිදුකරන අර්තාපල් වගාවන් පිළිබඳවයි. නමුත් A-Park Sri Lanka කෘෂිකාර්මික විප්ලවය නිසාම එලෙස සීතල කදුකරයට සීමා වූ අර්තාපල් වගාව දැන් යාපනය ප්‍රදේශයේ ද ඉතා සාර්ථක අන්දමින් සිදුකෙරෙමින් පවතී.කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විදේශීය ආධාර මත පදනම්ව මෙම වගා ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වී ඇත.
වසරේ වැඩි කාලවකවානුවක් දැඩි වියලි කාලගුණයක් පවතින යාපනය ප්‍රදේශයේ ඉතාම සරුසාර අන්දමින් අර්තාපල් වගාව සිදුකිරීමට අනිවාර්යයෙන්ම ක්‍රමවත් ලෙස සකස් කරන ලද ජල කළමණාකරන පද්ධතියක් තිබියයුතු බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.ඒ නිසාම යාපනයේ අර්තාපල් වගා බිම්වලට ජලය සැපයීමට “low pressure drip irrigation “ නමින් හදුන්වන ක්‍රමවේදයක් භාවිතා වේ.මේ මගින් සිදුවන්නේ අඩු පීඩනයක් යටතේ සෑම පැළයක් අසලටම බිංදු වශයෙන් ජලය ගෙන යනු ලබයි.පැරණි ක්‍රමය යටතේ උදෑසන සිට රාත්‍රී කාලය දක්වා අවස්ථා කිහිපයකටම ජලය සැපයීමට සිදු වූවත් මෙම නවීන ජල සැපයුම් ක්‍රමය යටතේ දිනකට පැය 1-2 ත් අතර කාල පරාසයක් තුල පමණක් ජලය සැපයීම ප්‍රමාණවත් වේ.ඒ ආකාරයෙන් දින 4ට වරක් ජලය සම්පාදනය කල යුතුය.
වගා කටයුතු සදහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන නිසාම පසේ තිබෙන සංඝටක මොනවාද යන්නත් පසේ අන්තර්ගත නොවන නමුත් වගාවට අවශ්‍ය සංඝටක මොනවාද යන්නත් කල්තියා හදුනා ගැනීමට හැකියාව පවතින නිසා මෙම ජල කළමණාකරන පද්ධතිය ඔස්සේම අදාල සංඝටක වගාවට එක් කිරීමට පුළුවන.මේ අනුව වගාව පුරාම ජලය,පොහොර ඉසීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනුවට වඩාත් ඵලදායි ලෙස ජලය සහ පොහොර එකවර වගාවට යෙදීමට හැකිවේ.ඒ අනුව මෙම වගා බිම් වල පස සහ ජලය යන අංශ දෙකම මනාව කළමණාකරනය කර තිබෙනු දක්නට ලැබේ.පැරණි ක්‍රමවේදය යටතේ අක්කරයකට අර්තාපල් බීජ හොන්ඩර 12ක් පමණ යොදයි. නමුත් නවීන තාක්ෂණික ක්‍රමවේදය මුසු වූ වත්මන් ගොවිබිම් වල අක්කරයකට අර්තාපල් බීජ හොන්ඩර 28ක් පමණ යොදනු ලැබේ.නව්‍යකරණය වූ මෙම වගා බිම් වලින් ඉහල අස්වැන්නක් ලබාගත හැකි වන්නේ කෙසේද යන්න මේ අනුව ඔබට පැහැදිළිවනු ඇතැයි සිතමි.

මේ අයුරින් වගා කටයුතු සිදු කිරීමේදී අර්තාපල් පැල සදහා එක්වන ජලය රත්වීම වැලැක්වීමට වගාබිම් වල භාවිතා වන ජල නල සදහා සුදු පැහැති බටයක් එක් කරයි.එමගින් හිරු එළිය නැවත පරාවර්තනය වන අතර. අල්ට්‍රා කිරණ වැනි සූර්යා ලෝකයේ පවතින අහිතකර කිරණ වර්ග මෙම බටයට උරා නොගනී. ඒ නිසා මෙමෙ බටය තුලින් ගමන් කරන ජලය රත්වීමකට ලක්නොවේ.ඒ අනුව මෙම වගා බිම්වල සිටුවා තිබෙන සෑම අර්තාපල් පැලයකටම සිසිල් ජලය පමණක් ම ලැබේ. වගා බිම් සකස් කිරීමේදී පොළිතින් වැස්ම භාවිතා කරන නිසා වගා බිමට එක්වන ජලය වාෂ්පීකරණයට ලක්වීම බොහෝ දුරට අවම මට්ටමක පවතී.ඒ නිසාම වගාව සදහා සැපයෙන ජලයෙන් වැඩි ප්‍රමාණයක් අර්තාපල් පැල සදහාම ලබා ගැනීමට හැකියාව ලැබේ.වගා බිම් සදහා පොළිතින් ආවරණ භාවිතා කිරීමෙන් ලැබෙන තවත් වාසි සහගත තත්වයක් වන්නේ වල් පැලෑටි හට නොගැනීමයි.
ඒ නිසා වල් පැලෑටි ඉවත් කිරීම වෙනුවෙන් අමතර කාලයක්, ශ්‍රමයක්, මුදලක් වැය කිරීමට ගොවියාට සිදු නොවේ.ඒ නිසාම වගාව සදහා කෘමි සතුන්ගෙන් වන හානියද ඉතා අවම මට්ටමක පවතී.
A-Park Sri Lanka කෘෂිකාර්මික විප්ලවය යටතේ උතුරු පළාතේ අර්තාපල් වගාව ඉතා සාර්ථක අන්දමින් එලෙස සිදුවෙද්දී කදුකරයේ ප්‍රදේශ වල අර්තාපල් බීජ නිෂ්පාදනය මෙතෙක් පැවති ක්‍රමවේදයෙන් මිදී නවීන තාක්ෂණය සමග මුසුවූ වටිනා ආරම්භයක් සනිටුහන් කර තිබේ. ඒ අනුව IUB3 කෘෂි පාරිසරික කලාපයට අයත් වැලිමඩ බදුල්ල දිස්ත්‍රික්කයටයත් වන අතර ඊසානදිග මෝසම් වැස්ස මෙම කලාපයට ඉතා හොදින් ලැබේ. එමෙන්ම 1700mm පමණ වාර්ෂික වර්ෂාපතනයක් නිරිතදිග මෝසමින් ද ලැබේ.එමෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි4500 ක පමණ උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇත.මෙම බීජ අර්තාපල් වගාව ඕනෑම ප්‍රදේශයක සිදුකල නොහැකි අතර ඉහතින් සදහන් කල පාරිසරික තත්වයන් සහිත ප්‍රදේශවල පමණක් මෙය සිදුකල යුතුවේ.
A-Park Sri Lanka ව්‍යාපෘතිය යටතේ හදුන්වාදෙන නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගනිමින් මෙමෙ ප්‍රදේශවල ජනතාව මේ වනවිට ඉතා සාර්ථක අන්දමින් බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භකර තිබේ.එමෙන්ම වගා කටයුතු සදහා අවශ්‍ය මෙවලම් බොහොමයක් ද G1,G2,G3 වැනි ඉතාම උසස් තත්වයේ බීජ අර්තාපල් ද මෙම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ගොවීන්ට ලබා දී ඇත.දළ වශයෙන් බීජ අල පෙට්ටි 16 න් අල හොන්ඩර 250ක් පමණ ලබාගත හැකිය.ඉන් වෙළදපොලට 60% ක ප්‍රමාණයකුත් 40% බීජ අල සදහාත් වෙන්කරනු ලබයි. මේ අන්දමින් ඉතා සාර්ථක ලෙස වැලිමඩ ප්‍රදේශයේ ගොවි බිම්වල බීජ අර්තාපල් නිෂ්පාදනය සිදුකෙරේ.මේ නිසාම විදේශයෙන් බීජ අර්තාපල් ආනයනය සදහා යන වියදම ඉතිරිකර ගැනීමට හැකිවීම ම මේ වන විට රටේ ඇති වී තිබෙන දුෂ්කරතාවයට යම් අස්වැසිල්ලක් වනු ඇත.
මේ ආකාරයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලංකාවේ අර්තාපල් ගොවීන්ට අවශ්‍ය තරම් බීජ අර්තාපල් ඔවුන්ගේ ක්ෂේත්‍ර වලම වගාකර අනෙකුත් ගොවීන්ට අලෙවි කිරීමේ ව්‍යාපෘතිය නිසා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමට ද ගොවීන් වැඩි පිරිසකට අවස්ථාව සැලසේ.එමෙන්ම මෙමෙ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අතර නවීන තාක්ෂණය ද භාවිතා කිරීමට සියලු කටයුතු සූදානම් ව පවතී.ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් ගොවිපල වල තිබෙන හරිතාගාර
වල නිෂ්පාදනය වන මූලික පරම්පරාවේ බීජ එසේත් නොමැතිනම් “පටක රෝපණ තාක්ෂණයෙන් “ලබා ගන්නා කුඩා බීජ ” mini tubers” ගොවීන් අතට පත්කර ගොවීන්ගේ ක්ෂේත්‍ර වලදී මෙම බීජ ගුණනය කර එම බීජ අනෙකුත් ගොවීන්ට බීජ අර්තාපල් වශයෙන් ලබාදීම සිදුකරයි.
සීතාඑලියේ පිහිටා තිබෙන බීජ හා රෝපණ අංශයේ ශාකාගාරය තුල පටක රෝපණ තාක්ෂණයෙන් බීජ අල නිෂ්පාදනය කිරීමේ ආරම්භය සනිටුහන් කරනු ලැබේ.අර්තාපල් බීජ අල නිෂ්පාදනය කරන විට ඔවුන්ට අවශ්‍ය මූලික රෝපණ ද්‍රව්‍ය ලෙස “පෙර මූලික කුඩා බීජ” නිෂ්පාදනය කරන මෙම ශාකාගාරයේ පටක රෝපණයෙන් සැකසෙන අර්තාපල් මව් ශාක වලින් පෙර මූලික බීජ අල සකසා මේවායින් ලබා ගන්නා අර්තාපල් කුඩා පැල “එරෝපොනික් තාක්ෂණය” ට අනුව සිටුවා ගැනීම මගින් G-Zero අල නිෂ්පාදනය කරනු ලබයි.මෙම සියල්ල විද්‍යානුකූල පසුබිමක් තුල සිදුවේ.G-Zero අල නැවත වගාකර G1 පරම්පරාවේ අල නිෂ්පාදනය කරනු ලබයි. මේ ආකාරයෙන් නිපදවන අර්තාපල් බීජ වටිනාකමින් ඉහල වන අතරම දැනට අර්තාපල් බීජ ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට මේ යටතේ හැකි වී තිබේ.
නමුත් මෙය ලංකාවේ වගාකටයුතු සදහා ප්‍රමාණවත් නොවේ.බීජ අර්තාපල් ප්‍රමාණය ලක්ෂ 90 දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබුනොත් ලංකාවේ දැනට පවතින අර්තාපල් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවනු ඇත.මේ ආකාරයෙන් නිෂ්පාදනය වන G1,G2,G3 ලෙස ගොවීන් අතට පත්වන අර්තාපල් බීජ ගොවීන් විසින් වගාවට යොදාගනී.ගොවීන් අර්තාපල් බීජ වගා කිරීමට යොදාගන්නා භූමිය පවා නිර්දේශ කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශ වලිනි.බීජ අර්තාපල් නිෂ්පාදනය සදහා යොදා ගන්නා පස. පාංශු රෝග සහ නෙමටෝඩාවන් සහිතද යන වග තහවුරු කරගතයුතු වේ.ඒ අනුව තෝරාගත් බිම් ප්‍රදේශ පරීක්ෂා කර ඒවායින් පාංශු නිර්දේශ ලබාගනී.පාංශු නිදර්ශ ලබා ගැනීමේදී භූමියේ ස්වභාවය, බෑවුම, මීට කලින් වගාකල බෝග මොනවාද? යනාදී කරුණු ගැන සැලකිලිමත් වියයුතු වේ.අනතුරුව මෙම පාංශු නිදර්ශ විද්‍යාගාරයට රැගෙනවිත් එ තුල බැක්ටීරියා විට්‍රොමැරීමේ රෝගකාරකය තිබේද යන්නත් නෙමටෝඩාවන් සිටීද යන්නත් පරීක්ෂාකරනු ලබයි.
අනතුරුව පාංශු සංරක්ෂණ ක්‍රම යොදාගනිමින් පස ආරක්ෂා කරගෙන සාර්ථක වගාවක යෙදෙන ගොවීන් ඉදිරි බීජ අර්තාපල් අස්වැන්න පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කරනු ලබයි.මෙසේ වගාකරනු ලබන බීජ අර්තාපල් වල සුවිශේෂීතාවය වන්නේ ලෙඩරෝග අවම වීමත් ඉහල අස්වැන්නක් ලබාගැනීමට හැකිවීමත් ය.අනෙක් අතට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන තවත් අගනා ප්‍රතිලාභයක් වන්නේ මෙමෙ ගොවි බිම් කරා යාමට ඇති මාර්ග ආදිය පුළුල් වී යටිතල පහසුකම් සංවර්ධනය වීමයි.මේ අන්දමින් A-Park Sri Lanka කෘෂිඅංශ නවීකරණ ව්‍යාපෘතිය තුලින් රටේ ආර්ථික සංවර්ධනයටත් ගොවි ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමටත් ලබාදෙන දායකත්වයේ උපරිම ඵල නෙලාගනිමින් ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත්වනු දැකීම අප සැමගේ එකම අපේක්ෂාවයි.
-සටහන-
එච්.කේ.පී.පී.හපුආරච්චි
සංවර්ධන නිලධාරී
