අද කාන්තා දිනයයි. ඉතින් කාන්තා ඔබට ඔබ ගැන හැගෙන්නෙ කුමක් ද?ඔබට දිනයක් පමණක් වෙන් කිරීම තුලින් ඔබගේ වටිනාකම ගණනය කල හැකිද?
කාන්තාවන් වෙනුවෙන් එක් දිනයක් වෙන් කිරීම වෙනුවට වසරේ දින 365 අවධානය යොමු විය යුතුය යන මතයේ මම සිටිමි. සමාජයේ කාන්තාවට ඇති වැදගත්කම සිහිපත් කිරීම සඳහා දිනයක් අවැසි නම් ජාත්‍යන්තර කාන්තා දිනය ඊට සුදුසුය. කාන්තාව යනු විශාල සමාජ භූමිකාවක් ඉටු කරන්නියකි. එබැවින් ඇය සිහි කිරීම අරබයා දිනයක් වෙන් කිරීම අවශ්‍යතාවකි.
ලොව පළමු කාන්තා ජන නායිකාව බිහි කළ රට ලෙස අදටත් ශ්‍රී ලංකාව ලෝ සුපතල ය. මේ වන විට ලෝකයෙහි බලවත් යුරෝපීය රටවල් වල පවා රාජ්‍ය නායකත්වය දරන්නේ කාන්තාවන් ය. ආසියාවේද එසේම ය.
තොටිල්ල පදවන අත ලොව රජයන යුගයක් වර්ථමානයේ බිහිවි ඇත. කාන්තාව ලෝක මට්ටමින් දිනා ගත් ජයග්‍රහණ බොහෝය. ඊට බලපෑ එකම හේතුව ඇය වෙනුවෙන් දිනයක් වෙන් කිරීම යැයි සඳහන් කළ නොහැකිය. එසේවුවද කාන්තාවගේ තත්ත්වය සියයට සියයකින් දියුණු වී ඇතැයි කිව නොහැකිය. ලොව සෑම රටකම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව කාන්තාව අඩු සැලකිල්ලට තවමත් ලක් වෙමින් සිටින්නීය.
එක් එක් රටවල ඇති සංස්කෘතියේ ස්වභාවය හා මිනිසුන්ගේ ආකල්ප අනුව එම වෙනස කොතරම් වේගයකින් සිදු වන්නේද යන්න තීරණය වෙයි.කාන්තාවන්ට මුහුණ දීමට බොහෝ ප්‍රශ්න සමාජය තුල ඇත.අතීතයේ පටන් කාන්තාවට එනම් ආසියාතික සමාජය තුල පමණක් නොව,යුරෝපා වැඩවසම් යුගය තුල පවා කාන්තාවන් දෙවනි පන්තියේ ලා සැලකුණි.පිරිමි පාර්ශවය භුක්ති විදින බොහොමයක් වරප්‍රසාද කාන්තාවන්ට අහිමි විය.අධ්‍යාපනය හා ජන්ද බලය ඉන් කිහිපයකි.වර්ථමානයේ දී මේ තත්වයන් වෙනසකට ලක් කරමින් කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගනිමින් සමාජය තුල වඩා වැදගත් ස්ථානයක් හිමි කරගෙන තිබේ.දියුණු යැයි අප හඳුන්වන බොහෝ රටවල වුව එකම රැකියාව කරන කාන්තාව හා පුරුෂයා ලබන වේතනවල විශාල වෙනස්කම් තිබේ. පිරිමියාට සාපේක්ෂව කාන්තාව අඩු වැටුපක් ලබයි. ලංකාවේ විධිමත් අංශයේ රැකියාවල එවැනි තත්ත්වයක් දැකිය නොහැකිය. පොදුවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව අඩු වරප්රසාදිත තත්ත්වයක සිටින්නේ යැයි කිව හැකිය.
සාමාන්‍යයෙන් සම්ප්‍රදායික සමාජයේ කාන්තාව සැලකෙන්නේ ගෘහස්ථ ව රැදීසිටිමින් ස්වාමිපුරුෂයාගේ සහ දරුවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කරන්නියක් ලෙසය. එම හඳුනා ගැනීම කාන්තාවට අවාසිසහගතය. ඒ හේතුවෙන් සමාජයේදී කාන්තාවට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ.විශේෂයෙන් වර්ථමානයේ මාධ්‍ය තුල ඉදිරිපත් වන පුවත් වලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ට සිදුවෙන විවිධාකාර වූ ගැටුලු,ලිංගික බලපෑම්,පහර දීම්,ස්ත්‍රී දූෂන,අපචාර,අපයෝජන,මරාදැමීම් ආදී වූ පුවත් වාර්තා කරයි.වාර්තා නොවන මෙවැනි පුවත් තව බොහෝ ඇත. මෙයට මූලීක හේතුව වන්නෙ සමාජය තුල කාන්තාවට නිසි තැනක් නොලැබීමයි.විශේෂයෙන් කාන්තාවක් වූ පමණින් ඇය නිවසටම කොටු වි සිටිය යුතු නැත.එලෙස කොටු වී සිටින ගැහැණියකට තම විශේෂතා,හැකියා හදුනාගෙන වත්මන් සමාජයට ගැලපෙන පරිදි හැඩගැසීමට අවස්ථාවන් හිමි නොවේ.
අතීතයේ මෙන්ම අද ද අධ්‍යාපනය තුලින් කාන්තාව ඉදිරියට පැමිණිය ද අධ්‍යාපන පද්ධතිය තුල කාන්තාව බලගන්වන කිසිදු සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නොමැති වීම විශාල ප්‍රශ්නයක් බවට පත්වී ඇත.මන්ද යත් කාන්තාව යනු මෘදු මොලොක් සිත් ඇති තැනැත්තියක් බවට පොදු සමාජ පද්ධතිය තුල පවතින පුහු ආකල්පය පෝෂණය කිරීම උදෙසා වත්මන් අධ්‍යාපන පද්ධතිය ක්‍රියාකරන බැවිනි.

වර්තමානයේ බොහෝ කාන්තාවන් සම්ප්‍රදායික සමාජය තුලින් උරුම කර දුන් සීමාවන් කඩාදමා තම අරමුණු වලට යෑමට ක්‍රියාකරයි. එහිදී ඔවුන් තමන්ගේ වටිනාකම් හදුනාගෙන පුරුෂයෙක් මත යැපීම පසකලා තමාගේ ශක්තියෙන් ව්‍යාපාරයක්,රැකියාවක් කිරීමට කටයුතු කරයි.ඒ අතර තුර ඔවුන් තම කුටුම්බය තුල තම යුතුකම් වගකිම් ඉටුකිරීමට වගබලා ගනි.එහෙත් ඇතම් පුරුෂයන් ගැහැණියගේ එම ස්වාධීන නැගිසිටිම බිදෙහෙලා දැමීමට බොහො දේ කරයි. විශේෂයෙන් කාන්තාවකට තනිව ගමනක් ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර විවිධාකාර වූ පුද්ගලයන්ගෙන් වාචික,මානසික හෝ ශාරීරික හිංසනයන් ද ඇතම් විට මරණය පවා ද උරුම වේ.මේ තත්වන් සහිත සමාජයක ගැහැණියකට නැගිසිටිමට,ගැහැණියකට ස්ථාවර වීමට අවශ්‍ය වන්නේ කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන් කිරිම පමණක් ම ද?කාන්තා දිනය තුල කාන්තාවගේ වටිනාකම් මෙන්ම කාන්තාව ගැන විවිධාකාර පුරසාරම් ගොතනවා විතරක් සිදුකිරීම ප්‍රමාණවත් ද?
ඇත්තෙන්ම සිදුවිය යුත්තේ කාන්තාවට නිසි ගෞරවය සමාජය තුලින් ලබා දී පුරුෂයන්ට මෙන්ම කාන්තාවට ද සමාජය තුල සමානාත්මතාවය ලබාදීමයි.එසේ නොමැතිව කාන්තා අයිතිවාසිකම්,කාන්තා ප්රඥප්ති,කාන්තා දින තේමා එලිදැක්වීම් ආදී ප්‍රායෝගික නොවන දේ තුලින් කාන්තාවට නිසි වටිනාකමක් ලබා දිය නොහැක.
එස්.කේ.ඒ.චරිතා ලක්මිණි සමරවික්‍රම
ජනසන්නිවේදන (ගෞරව)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
